ඇයයි මමයි එකම ගමේ එකම පාසලේ අපි ඒ කාලේ ඉඳලා හොඳ යාළුවෝ - රොඩ්නි වර්ණකුල




ඕනෑම කෙනෙකුට නළු නිළියෝ වෙන්න පුළුවන්. ඒත් රංගධරයෙක් වීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. පාසල් වේදිකාව කලාවට තිඹිරිගෙය කරගත් ඔහුගේ රංගනය උපන්නෙත් සජීවී මාධ්‍යක් වූ වේදිකා නාට්‍ය කලාව තුළින්. ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිළෙති නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට ආ ඔහු එදා සේම අදත් වේදිකාවට අවශ්‍යම පුරුකක්. ඔහු කාගෙත් හිත් තුළ උඩින්ම ඉන්න රොඩ්නි වර්ණකුල. මේ කතාබහ ඔහු හා ඔහුගේ කුටුම්බය ගැනයි.


ලොකු පොඩි කාගෙත් හිතේ ඉන්න රොඩ්නිව මේ දවස්වල කතුරු මිතුරු තුළින් දකින්න ලැබෙනවා. ප්‍රතිචාර කොහොමද ..?


ගිරිරාජ් කෞශල්‍යගේ කතුරු මිතුරු තිරගත කළා. පසුගියදා දින 50ත් පසු කළා . බොහෝ දෙනෙක් හෝල් එකට ඇවිත් පෝලිම්වල ඉඳලා ටිකට් අරන් බැලුවා කියනවා. සමහරු ටිකට් ඔන්ලයින් ඕඩර් කරලා බැලුවා ෆිල්ම් එක ලස්සයි කියලා ප්‍රතිචාර දක්වනවා. කාලෙකට පස්සේ හොඳට හිනා වුණා පවුල් පිටින් ඇවිත් නැරඹුවා. ඩබල් මීනින් නැති කතාවක් කියලා ප්‍රතිචාර ලැබෙනවා. මට සතුටුයි ගිරා එක්ක වැඩ කරන්න ලැබුණු එකට. ගිරාගේ නිර්මාණ තුනටම මම සම්බන්ධ වුණා. කතුරු මිතුරුත් ඒ වගේ ලස්සන නිර්මාණයක් කියන්න පුළුවන්


රොඩ්නි වර්ණකුල කියන්නේ එදත් අදත් දරුවන්ගේ හිත් ගත් රංගන ශිල්පියෙක් ..?


මම පොඩි දරුවන් වෙනුවෙන් වැඩ කරන නිසා වෙන්න ඇති දරුවන්ගේ හදවතේ ඉන්නේ. පෙර පාසල්, පාසල් දරුවන්ගෙ කලා කටයුතුවලට මම සම්බන්ධ වෙනවා. ඉස්සර ඉඳලම මට දරුවෝ ආදරේ කරනවා. මගේ නිර්මාණ බලලා ප්‍රතිචාර දක්වන්නේ වැඩිපුර දරුවෝ. ඒක හරිම සතුටට කාරණාවක්


දශක හතරක කාලයක් ඔබත් එක්ක වැඩ කළ ජයලත් මනෝරත්නයන් කතුරු මිතුරු එක්ක සම්බන්ධ වුණා. ඔහු නැති අඩුව වැඩිපුර දැනෙන්න ඇති ළඟම හිතවතෙක් හැටියට ..?


මනෝ අයියව මට හැමදාම මතක් වෙනවා මේ චිත්‍රපටය එක්ක. මම 81 අවුරුද්දේ වේදිකාවට සම්බන්ධ වෙන්නේ තාරාවෝ ඉගිළෙති නාට්‍ය එක්ක. එතැනදි තමයි මට මුලින්ම මනෝ අයියා මුණගැහෙන්නේ. අවුරුදු ගාණක් පුරා අපි එකට වැඩ කළා. නාට්‍යවලට යද්දී බස් එකේ යන්නේ. එතකොට මම තමයි පොඩි එකා. මනෝ අයියා බස් එකේ යන එන ගමනුත් නාට්‍ය ගැන කතා කරන්නේ රඟපෑම් ගැන. මම ඒවට ඇහුම් කන් දීලා එයින් ඉගෙනගත් දේ බොහෝයි. දැනුම් සම්භාරයක් ඔහු සතුව තිබ්බා. ඔහු වැනි ප්‍රවිණයින්ගේ ඇසුර එක්ක තමයි මම රංගනය ගැන ඉගෙන ගත්තේ. එනිසා ඔහුව අමතක කරන්න අමාරුයි


ඒත් දැන් පරම්පරාව දුවන්නේ ජනප්‍රියත්වය පස්සේ නේද?


ජනප්‍රිය වෙන්න උත්සාහ කළාට වරදක් නැහැ. ඒත් රංගන ශිල්පීන් විදිහට දක්ෂතා පවත්වාගෙන යන්න ඕන. හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙමින් දක්ෂතා දියුණු කර ගන්න ඕන. වේදිකාව කියන්නේ ගමනක් යන්න පුළුවන් හරි තැනක්. ඒත් දැන් ළමයි ඒ ගැන හිතන්නේ හරි අඩුවෙන්. පෙනී හිටින්න විතරයි ආස. ඒත් අපේ කාලේ එහෙම නැහැ. හැමදාම මොනවා හරි ඉගෙන ගන්න උත්සාහ ගත්තා.


ටෙලි නාට්‍ය තුළින් දකින්න නැත්තේ ස්වයං වාරණ දාගෙන ඉන්න නිසාද , එහෙම නැත්තම් ආරාධනා අඩුකමද..?


මම ටෙලිනාට්‍යට වඩා වේදිකාවට ආදරේ කරනවා. මට ඕන වේදිකාව පෝෂණය කරන්න. මම ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වෙන්නේ ඉතාම අඩුවෙන්. 2016 පස්සේ සම්බන්ධ වුණේ නැහැ. ආරාධනා ලැබෙනවා . නමුත් මම දීර්ඝ නාට්‍යවලට ආස නැහැ. කෙටි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. හොඳ වැඩක් කියලා හිතුණොත් විතරයි මම සම්බන්ධ වෙන්නෙ. ඒ වගේම කියන්න ඕන ටෙලිනාට්‍ය සිස්ටම් එකට මම එච්චර කැමති නැහැ ඒ නිසා නිහඬව ඉන්නවා කියන එකත්.


කලාකරුවෙක් හැටියට එය ආර්ථිකයට බලපාන්නේ නැද්ද ..?


ආර්ථිකයට හරියට බලපානවා. ඒත් මම හිඟන්නෙක් නෙමෙයි. කාටවත් අත නොපා ජීවත් වෙන්න මම ලැබෙන මුදල් කළමනාකරනය කර ගන්නවා. මුදල් ඕන තරම් තිබූ පළියට සියල්ල වෙන්නෙ නැහැ. මම හරිම අල්පේච්ච ජීවිතයක් ගත කරන්නේ. ලැබෙන විදිහට කාට හරි උදව් කරමින් මේ ජීවිතේ සතුටින් ජීවත් වෙනවා


කලක් කලාව එක්ක ගනුදෙනු කළ කෙනෙක් විදිහට ඔබට පුළුවන් පුංචි තිරයට හොඳ නිර්මාණ දයාද කරන්න ..?


කිසිම අදහසක් නැහැ. තේරුමක් නැති දෙයක් හැටියට දකින්නෙ පුංචි තිරයට නිර්මාණ මම කරන එක. මම වේදිකාවේ මිනිහෙක්. ඒ නිසා සාරංගා නැවෙන් ඇවිත් වගෙ වෙනස්ම ආකෘතියකට වේදිකා නාට්‍යයක් කරන්න හිතාගෙන ඉන්නවා. මම කලින් කිව්වා වගේ වේදිකාවට තමයි මම කැමැති හා ආදරේ. එතන ගොඩක් දේවල් කරන්න පුළුවන් . මට තියෙන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්.


පාසලේදි හමු වූ යුවතිය මිතුරියක් කරගෙන පසුව ඇයව බිරිඳක් කරගත්තා, මුල් කාලේ අපහසුතා කොතරම් තිබුණත් ඔබව අත නොහැර ඔබේ කලා ජීවිතයට හයියක් වූ ඈ ගැනත් කියමු…?


මගේ ආදරණීය බිරිඳ ඉරානි සුබසිංහ. ඉරානියි මමයි එකම ගමේ එකම පාසලේ එකම පන්තියේ හිටියේ. මගේ හොඳම මිතුරියක්. ඒ කාලෙත් මම පාසලේ කලා කටයුතුවලට සම්බන්ධ යි. ඒවායින් ජයග්‍රහණය කරලා තියෙනවා. මගේ අම්මට ඕන වුණේ මම රෝගීන් සුවපත් කරන දොස්තර කෙනෙක් වෙන්න. ඒත් වෙන පැත්තකට මම යොමු වුණේ. කලාවට සම්බන්ධ වෙලා නිර්මාණවලින් දකිද්දී අම්මත් සතුටු වුණා. ඒ වගේම තමයි ඉරානි මිතුරියක් විදිහට මට උදවු කළා සහාය දුන්නා. ඊට පස්සේ තමයි අපි පෙම්වතුන් වෙන්නේ. ඊට පස්සේ එකවහලක් යට ජීවත් වෙන්න ඈ මට සුදුසුයි කියලා දැනුන නිසා විවාහ කරගත්තා. අපි විවාහ වුණේ 89 අවුරුද්දේ මැයි මාසේ 27. අවුරුදු 34ක් කියන්නේ පොඩි කාලයක්ද. දරුවන්ගේ දරුවනුත් එක්ක සීයයි ආච්චියි වෙලා මේ ගෙවන ජීවිතේ සම්පූර්ණයි කියලා හිතෙනවා. එයා මාත් එක්ක හරි සතුටින් සියල්ල දරාගෙන ජීවත් වුණා . එදා වගේම අදටත් මගේ කලා ජීවිතේ මට ඕන විදිහට කරගෙන යන්න නිදහස දීලා ඈ මට සහාය දෙනවා.


ඇතැම් ජනප්‍රිය තරු ජනප්‍රිය වීමත් එක්ක අතීතය යට ගසා අලුත් ජීවිතේ මේන්ටේන් කරගෙන යනවා. කොයිම මොහොතකවත් හිතුණේ නැද්ද ඔබේ ජනප්‍රිය ජීවිතේට ඈ මදිපාඩුවක් කියලා ..?


ඇය මාත් එක්ක හිටියේ මම ජනප්‍රිය වෙන්න කලින්. ජනප්‍රිය වුණා කියලා මට අමුතුවෙන් හදාගන්න ජීවිතයක් අවශ්‍ය වුණේ නැහැ. මම ජීවිතේ තේරුම් ගත් කෙනෙක්. මගේ අම්මා තාත්තා දරිද්‍රතාවයෙන් පෙළෙනවා මම අත් වින්දා. අදටත් මම පරණ ජීවිතේට පයින් ගහලා නැහැ. මම කවුද මම කොහොමද හිටියේ මම කොහොමද ආවේ මේ ගමන කියලා තේරුම් ගත්තොත් ජීවිතේ ගෙනියන්න ලෙහෙසි යි වගේම අමුතු විදිහට ජීවත් වෙන්න ඕන නැහැ ඔක්කොම හංගගෙන. ඒවා පුහුමාන්න. අද මෙහෙම හිටියට හෙට මොනවා වෙයිද දන්නෙ නැහැ . අධිමාන්නයෙන් ඇයි ජීවත් වෙන්නෙ. මම ඉන්නෙ අභිමානයෙන්. ඒ වේදිකා නළුවෙක් විදිහට විතරයි. ඒ නිසා මට ඇයව අඩුවක් විදිහට පෙනුණේ නැහැ . පවුල් ජීවිතේට අවශ්‍ය සුදුසුකම් ඈට තිබුණා. ඒ නිසයි අපි පවුලක් හැටියට සතුටින් ජීවත් වෙන්නෙ.


දරුවෝ ඔබ වගේ කලාවෙන් දකින්න නැහැ , ඇයි ඒ..?


ලොකු දුව ප්‍රසංගිකා වර්ණකුල. එයා විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව නර්තනයට දක්ෂයි. රැජිනි සෙල්වනායගම් ගෙන් ඉගෙන ගත්තේ නර්තනය ගැන . පොඩි දුව සමාධි වර්ණකුල. එයත් විවාහ වෙලා දරුවෙක් ඉන්නවා. එයා මේකප් ආර්ට්ස්ට් කෙනෙක්. නාට්‍ය කිහිපයක මේකප් ආර්ටිස්ට් කෙනෙක් විදිහට වැඩ කළා. පුතා ඉරෝන්. පුතා නාට්‍ය දෙක තුනක රඟපෑවා. කොහොම වුණත් මගෙ දරුවෝ ලොකුවට කලාවට සම්බන්ධ නැහැ.


ඔබේ ජීවිත කතාව ලියලා ඉවර වෙන්නේ කවදාද කියලත් කියමු..?


මගේ හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක් තමයි මගේ ජීවිත කතාව පොතකට ගේන එක. ඒ කටයුත්ත කරන්න තවම බලාපොරොත්තුවෙන් ඉන්නව. හැකි ඉක්මනින් කෘතිය අවසන් කරලා ජනගත කරන්න බලාපොරොත්තු වෙනවා.




Previous Post Next Post