‘සන් කරමි’ මිනිස්සුන්ගේ හදවත්වලට ආමන්ත්‍රණය කරන කතාවක් - ශ්‍යාම් ප්‍රනාන්දු




ඔබ නැතුව ඔබ එක්ක, ප්‍රේමය නම්, පහ සමත්, දැවෙන විහඟුන්, ගාඩි, ප්‍රාණ වැනි සිනමා නිර්මාණ, බකමූණා වීදි බසී, හිතල ගත්තු තීරණයක්, නැතුව බැරි මිනිහෙක් ආදී වේදිකා නාට්‍ය හා අප්පච්චී, රාවණ, සී රජ වැනි ටෙලි නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ සම්මානනීය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු ලාංකික හදවත් දිනාගත් ජනප්‍රිය චරිතයකි. නළුවකු ලෙස සිනමා කලාවට ප්‍රවිෂ්ට වූ ඔහු රචකයෙකු ලෙසත්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ජනතා ප්‍රසාදයට පත්වන්නේ ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘සන් කරමි’ චිත්‍රපටය තුළිනි. නිර්මාණවේදියෙකු ලෙස ඔහුගේ මේ අත්දැකීම ඔහු අප සමඟ බෙදා ගත්තේ මේ ආකාරයෙන්.


ප්‍රේක්ෂකයා ඔබව හඳුනාගන්නේ සහ ඔබ ප්‍රේක්ෂක ජනාදරයට පත් වෙන්නේ නළුවෙක් විදියට. නමුත් දැන් ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මෙම ක්ෂේත්‍රයට පිවිසෙන්න යම් හේතුවක් තිබුණද?


මම කැමති ප්‍රේක්ෂකයා මාව Story Teller  කෙනෙක් විදියට හඳුන්වනවා නම්. මොකද මේ කලා ගමන ආරම්භ කරන්න හේතුවුණ මුල්ම කාරණාවත් ඒකම තමයි. රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න කලින් මම ගුරුවරයෙක්. ළමයි එක්ක එකතු වෙලා creative  වැඩ කරන්න තිබ්බ උනන්දුවේ ප්‍රතිඵලයක් විදියට තමයි නළුවෙක් විදියට ප්‍රේක්ෂකයා මාව වැලඳගන්නේ. නමුත් අලුත් අලුත් දේවල් කරන්න කලින් මම ඉගෙන ගන්න ඕනි කියලා හිතුණා. ඒ නිසා තමයි මම මුලින්ම සෝමලතා සුබසිංහ මහත්මියගේ Play House  එකට එකතු වෙන්නේ. ඒ ආපු ගමනෙදි තමයි අතරමග මම නළුවෙක් වෙන්නේ. ඒත් මගේ ලොකු අරමුණක් තිබුණා Story Teller  කෙනෙක් විදියට ප්‍රේක්ෂකයා අතරට එන්න. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මම මේ චිත්‍රපටය නිර්මාණ ක්‍රියාවලියට එකතු වෙන්නේ. සාමාන්‍යයෙන් නළුවෙක් නිළියක් කිව්වම දීර්ඝ කාලයක් ක්ෂේ්‍ත්‍රය තුළ ඉන්න අමාරුයි. තමන්ට නිර්මාණවලට දායක වන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම් ක්ෂේ්‍ත්‍රයෙන් ඉවත් වෙන්න වෙනවා. ඒත් මම හිතනවා Story Teller  කෙනෙක් විදියට මේ ක්ෂේ්‍ත්‍රයේ මට යම් පැවත්මක් තියෙනවා කියලා.


සිනමා කලාව කියලා කියන්නේ ලෝකයේ ප්‍රබල කලා මාධ්‍යයක්. ඒ අතර ලංකාවේ සමකාලීන සිනමා නිර්මාණයන් බිහිකිරීමේදී ඊට මූලික කරගනු ලබන තේමාවන් පිළිබඳ ඔබේ අදහස කුමක්ද?


යම් නිර්මාණයක් බිහි කිරීමේදී ප්‍රේක්ෂකයින් කියන්නේ ඉතාම වැදගත් කොට්ඨාසයක්. කතාවේ ගුණාත්මක භාවය වගේම නිර්මාණකරුවා ඒ පිළිබඳවත් ලොකු අවධානයක් යොමු කරන්න ඕනි. චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී නිර්මාණකරුවන් හිතනවා මෙම නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයා අතර යම් කතිකාවතක් ගොඩනඟනවාද නැතිනම් වෙළඳ සමාජයේ වටිනාකමක් ගොඩනගනවාද කියන එක ගැන. දැන් ලංකාවේ මෑත කාලීන චිත්‍රපට බොහොමයක් නිර්මාණය වුණේ, කොළඹ ඉන්න කලා සමාජය පමණක් ඉලක්ක කරගෙන. ඒ හා බැඳුණු තේමාවන් තමයි බොහෝමයක් චිත්‍රපට තුළින් එළියට ආවේ. ඒ නිසා අපි යම් නිර්මාණයක් කරනවා නම් තේමාව පිළිබඳ ලොකු සැලකිල්ලක් දක්වන්න ඕනි කියන එක තමයි මගේ අදහස.


ඒ අතරින් ඔබේ අලුත්ම චිත්‍රපටය වන ‘සන් කරමි’ චිත්‍රපටයේ තේමාව සුවිශේෂී වෙන්නේ කොහොමද?


මම මේ නිර්මාණය කරන්නේ ලංකාවේ කලා සමාජය වෙනුවෙන්ම නෙමෙයි. මේ තුළ තියෙන්නේ බුද්ධිමත්ව කරන ආමන්ත්‍රණයකට වඩා හදවතින් කරන ප්‍රකාශනයක් හා සම්බන්ධ වීමක්. මම හිතනවා බුද්ධියෙන්ම චිත්‍රපටයක් ආමන්ත්‍රණය කරනවට වඩා, ඊට හදවතින් සම්බන්ධ වෙන්න පුළුවන් නම් හැඟීම්බර වෙන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා. මට ඕනි වුණෙත් මගේ චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයා ගුරුවරයෙක්, තාත්තා කෙනෙක්, දරුවෙක් විදියට මේ චිත්‍රපටය එක්ක බැඳීලා එය රසවිඳීනව දකින්න.


 


‘සන් කරමි‘ චිත්‍රපටය තුළ වස්තූ බීජය ගොඩනැඟුණේ කොහොමද?


මෙම සිදුවීමට පාදක වුණ මගේ ජීවිතයේ සිදුවීම් පෙළක් තිබෙනවා. ඇත්තටම මේ චිත්‍රපටය බැලුවම මම කොතනද ඉන්නේ කියන එක ඔබට පේනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ පෞද්ගලික අත්දැකීමක් පොදු අත්දැකීමක් බවට පත් කරන්න තමයි මට ඕනි වුණේ. මීට රංගනයෙන් දායක වුණ දරුවා ඇත්තටම මගේ පුතා. එයාව පාසලට ඇතුළත් කරන්න ගිහිල්ලා වුණ සිදුවීම් පෙළක් තමයි චිත්‍රපටයට පාදක වෙන්නේ. එයා පාසල්වලට ඇතුළත් කරද්දී ඒ  interview වල කතා කළේ නෑ. ඒත් ඇත්තටම එයාට කතා කරන්න බැරි ප්‍රශ්නයක් තිබුණේ නෑ. අපි කතාවටත් කියනවනේ අවශ්‍ය තැනදි පමණක් අවශ්‍ය දේ කතා කළාම ඇති කියලා නේද? ඉතින් පෞද්ගලිකව මට ඒ රිදුණ තැන මම කතාවක් විදියට ඔබට කියන්න උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ.


 


ගහක අරටුව කියල කියන්නේ එහි පැවැත්ම ශක්තිමත් බව රැඳෙන තැන. චිත්‍රපටයක් තුළ චරිතත් ඒ හා සමානයි. ඔබේ මේ නිර්මාණය තුළ චරිත තෝරා ගැනීම ඔබට කෙතරම් අභියෝගයක් වුණාද?


සත්‍ය සිදුවීමක් ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන එන නිසා චරිත තෝරා ගැනීම සම්බන්ධයෙන් මට ගොඩක් සැලකිලිමත් වෙන්න වුණා. ඇත්තටම මට මෙතනදි ඕනි වුණේ, ප්‍රේක්ෂකයා වැඩිපුර දැකපු නැති පුද්ගලයන් තුළින් චිත්‍රපටයේ චරිතවලට ප්‍රාණවත් බවක් එක් කරන්න. ප්‍රධානම කාරණාවක් තමයි මේ තුළ මගේ චරිතය නිරූපණය වීම. ඒක නිසා මම හිතන විදිය හොඳීන් දන්න කෙනෙක් චිත්‍රපටියේ ‘තාත්තගේ‘ චරිතය නියෝජනය කරන්න ගන්න එක හොඳයි කියලා හිතුණා. ඇත්තටම මට මාව මටත් වඩා හොඳට පෙන්නන්න පුළුවන් නළුවෙක්ව දැක්කා වගේ හැගීමක් චිත්‍රපටය නරඹද්දී දැනුණේ. මේ චිත්‍රපටය තුළ එන චරිත, වීර චරිත කරන්න මට උවමනාවක් තිබුණේ නෑ. චරිතය හැඟුම්බර කරනවට වඩා චරිතය තුළින් ප්‍රේක්ෂකයා හැඟීම්බර කරන්න තමයි මට ඕනි වුණේ.


චිත්‍රපටය කියල කියන්නේ පිරිසකගේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ප්‍රේක්ෂකයා හමුවට එන නිර්මාණයක්. ඒ වගේම ‘සන් කරම්’ චිත්‍රපටය සාර්ථක කරගන්නත් ඔබත් සමඟ බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. ඔවුන්ගෙන් ඔබට ලැබුණු දායකත්වය මොන වගේද?


කණ්ඩායමක් විදියට එකතු වෙලා චිත්‍රපටය නිර්මාණය කරද්දී හැදුණ ඒ බැඳීම ගොඩක් වටිනවා. හේතුව මාත් එක්ක එකතු වෙලා වැඩ කරපු හැමකෙනා තුළම මෙය සාමූහික වැඩක් කියන හැඟීම තිබුණා. හැමෝම එකට වැඩ කරද්දී කවුරුවත් කාවවත් පාලනය කරන්න උත්සහ කළේ නෑ. හැමෝම පොදු එකඟතාවයකින් වැඩ කරන්න හුරු වෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි නිර්මාණශීලී විදියට ඒ හැමෝගෙම උපරිම දායකත්වය චිත්‍රපටයට ලැබුණා. සමහර අය ලාබය බලාපොරොත්තු වෙන්නේ නැතුව අපට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මේ නිර්මාණය කරද්දී මට ඕන වුණ දෙයක් තමයි, මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්න තරුණ පරම්පරාවේ නිර්මාණශීලී දායකත්වය මෙයට ලබා ගන්න එක. මම නිතරම ළමයි එක්ක වැඩ කරපු කෙනෙක් නිසා බයක් නැතිව ඔවුන් පිළිබඳ විශ්වාසයක් තියන්නටත් මට පුළුවන් වුණා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක, කලා අධ්‍යක්ෂක, ඡායාරූප අධ්‍යක්ෂක, ඒ විතරක් නෙමෙයි සහකාර අධ්‍යක්ෂක කියන හැමෝම අලුත් පරම්පරාව නියෝජනය කරන අය. අලුත් අයට මේ ක්ෂේත්‍රයේ ඇවිත් වැඩ කරන්න අවස්ථාව සලසලා දෙන එක අපේ වගකීම. නැතිනම් ඔවුන්ට මේ ක්ෂේත්‍රයේ පරිණත වෙන්නට තිබෙන කාලය තව දුරයි කියන එක තමයි මගේ අදහස. ඒ නිසා ඔවුන් වෙනුවෙන් මේ ක්ෂේත්‍රය තුළ යම් විශ්වාසයක් ගොඩනඟන එක මගේ අරමුණක් වුනා.


 


ඔබගේ නිර්මාණය ලංකාවේ මෙන්ම, ලෝකයේ සිනමා උළෙල කිහිපයකම ප්‍රදර්ශනය වීමත් සමඟ සුළු ප්‍රේක්ෂක පිරිසකට නැරඹීමට අවස්ථාව ලැබුණා. ඒ තුළින් ඔබට ලැබුණු ප්‍රතිචාර මොන වගේද?


මම හිතුවටත් වැඩිය හොඳයි. කලින් කිව්ව වගේ මේ චිත්‍රපටය තුළ මම අරමුණු කරගත්තේ බුද්ධිමත් සමාජය නෙමෙයි. එක් අතකින් මෙහි හතුරාත් බුද්ධිමත් සමාජය. නළුවෙක් විදියට චිත්‍රපටක් බලනවට වඩා රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක් විදියට ප්‍රේක්ෂකාගාරයේ හිඳගෙන චිත්‍රපටය නැරඹීම මට වෙනමම අත්දැකීමක් වුණා. මේ චිත්‍රපටය සාර්ථක ද අසාර්ථක කියලා මම තීරණය කළේ  script  එක ලියද්දී මම අරමුණු කර ගත් තැන් වල ප්‍රේක්ෂකයා ඒ විදියටම ප්‍රතිචාර දක්වනවා මගේ ඇස් දෙකෙන්ම දකිද්දී. මම හිතපු ගනුදෙනුව මිනිසුන් එක්ක එනවා කියලා දැනෙන කොට ඇත්තටම මට ලොකු සතුටක් දැනුණා. චිත්‍රපටය නරඹලා එද්දී ප්‍රේක්ෂකයන් දෙදෙනෙක් මට දැක්වූ ප්‍රතිචාරයන් අදටත් මගෙ මතකයේ තියනවා. ඒ අතර ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් කියපු කතාවක් තමයි “මුල ඉඳන් මේ ෆිල්ම් එක බලද්දී මගේ ඔළුව තිබ්බේ Technology system  එක පැත්තේ. ඒත් ෆිල්ම් එකේ මැදකට යද්දී මම බූරුවෙක් වගේ ඇඬුවා“ කියලා. ඒත් එක්කම ඉතාලියේ මේ චිත්‍රපටය ප්‍රථම වරට ප්‍රදර්ශනය කරපු අවස්ථාවේ එය නැරඹූ එක් මවක් හඬමින් මගේ ළඟට ඇවිත් කිව්වේ ඇයත් මෙවැනිම සිද්ධිකට මුහුණදුන් බව. ඇත්තටම මේ චිත්‍රපටය තුළින් කියවෙන්නේ ළමයෙක්ගේ ආබාධයක් ගැන නෙමෙයි. සාමාන්‍ය ළමයෙක්ගේ සාමාන්‍ය නොවන හැසිරීමක් ගැන. මට ඕනි වුණෙත් චිත්‍රපටයේ මොනයම් දුර්වලතා තිබුණත් එළියේ සමාජය තුළ මේ පිළිබඳ යම් කතිකාවතක් නිර්මාණය කරන්න. ඉතින් මට ලැබුණ ප්‍රතිචාර එක්ක හිතෙනවා, මම යම්තාක් දුරට හෝ සාර්ථකයි කියලා.


අවසාන වශයෙන් මෙම නිර්මාණය නැරඹීමට උනන්දුවෙන් සිටින ප්‍රේක්ෂකයාට ඔබ ලබා දෙන පණිවිඩය කුමක් ද?


මේ මාසේ අන්තිම නැතිනම් ලබන අවුරුද්දේ මුල්ම මාසය තුළ මෙම චිත්‍රපටය ජනතාව අතරට එන්න නියමිතයි. මම කලින් කිව්ව වගේ මෙය අපේ පන්තියේ කතාවක්. ඉතින් මම හිතනවා මිනිසුන්ගේ හදවත්වලට ආමන්ත්‍රණය කරන නිර්මාණයක් විදියට මෙය ඔවුන්ගේ ජනාදරයට පත් වෙයි කියලා.




Previous Post Next Post