සැමදා ඔබ ළඟ ඉන්නම් ලයිව් ඉන් කොන්සර්ට්ටුව ගැන කුමාරසිරි කියන කතාව

 


“අනූව දශකයේදී සංගීත ක්‍ෂේත්‍රයට පිවිස මෙරට ගීත කලාව දිග්විජය කළ ප්‍රවීණ ගායන ශිල්පී කුමාරසිරි පතිරණ තම දෙවැනි සජීවී ප්‍රසංගය එළැඹෙන 19 වැනිදා සවස 6.40ට BMICHහිදී පවත්වනු ලබයි. ‘සැමදා ඔබ ළඟ ඉන්නම් වසර 33යි ගීත 33යි’ ලෙස නම් කර ඇති මෙම ප්‍රසංගය පිළිබඳ කුමාරසිරි පතිරණ ගායන ශිල්පියා සමඟ කළ සම්මුඛ වීමකුයි මේ.” ඔබ හැමදාම අලුත් දේවල් ලංකාවේ කලා ක්‍ෂේත්‍රයට සහ රසිකයන්ට හඳුන්වා දුන් කෙනෙක්. 


මොකක්ද මේ කරන්න යන අලුත් වැඩේ?


මගේ සංගීත දිවියට මේ වනවිට වසර 33ක් වෙනවා. එම නිසා මට හිතුණා ඒ වෙනුවෙන් ප්‍රසංගයක් කළ යුතුයි කියලා. සාමාන්‍යයෙන් යම් ක්‍ෂේත්‍රයකට වසර 33ක් පිරුණාම දෙයක් කරනවා අඩුයි. අපි දකින්නේ අවුරුදු 20ක් අවුරුදු 25ක් අවුරුදු 50ක් වගේ වසර ප්‍රමාණයක් ගියාම තමයි සමහරු එය සමරන්නේ. නමුත් මට සිතුණා වෙනස් දෙයක් කරන්න ඕන කියලා. ඒ අනුව තමයි මම මේ ප්‍රසංගය සංවිධානය කළේ. මේ ප්‍රසංගයට ගීත 33ක් ඇතුළත් වෙනවා. ඒ ගීත 33 ම ගී පද, ගී තනු සහ සංගීතය නිර්මාණය කළේ මම. ඒක මම හිතන්නේ ලංකාවේ කිසිම කෙනෙක් කරපු නැති දෙයක්. සමහර විට වාර්තාවක් වෙන්නත් පුළුවන්.


මෙම ප්‍රසංගයේ තවත් අලුත් දේවල් බොහොමයක් සිදුවෙනවා කියලා අපට ආරංචි වුණා. ඇත්තද ඒක?


ඔව්. මේ ප්‍රසංගයේ මාත් එක්ක මගේ ලොකු පුතා සිනෙත් පතිරණ සහ මගේ දියණිය සත්මානි පතිරණ ගීත ගායනයෙන් එක්වෙනවා. එය ඉතාම නැවුම් අවස්ථාවක් කියන්න පුළුවන්. මට හරිම සතුටුයි ඒ ගැන. ඒ දරුවන් දෙදෙනාම දැනටත් කලා කටයුතුවල නිරත වෙලා ඉන්නවා. මේ ප්‍රසංගය ඔවුන් දෙදෙනාගේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලා මම සිතනවා. ඇත්තටම මේක අපේ පවුලේ වැඩක් කිව්වොත් නිවැරදියි. මගේ දරුවන් සියලු දෙනාත් මගේ බිරියත් මට විශාල සහායක් මේ වෙනුවෙන් ලබා දෙනවා. ඒ පිළිබඳ ඒ සියලු දෙනාටම මම කෘතඥ වෙනවා.


ඔබ ගීත විශාල ප්‍රමාණයක් ගායනා කළ ගායකයෙක්. ඒ ගීතත් බොහෝම ජනප්‍රියයි. ඒ අතරින් කොහොමද ගීත 33ක් තෝර ගත්තේ?


එය ඉතාම අසීරු වුණා. මම ගීත 400කට එහා ගායනා කරලා තිබෙනවා. මගේ පළමුවැනි කැසට් පටය “පිවිතුරු හද ළඟ” කියන කැසට් පටය නිකුත් වෙන්නේ 1990දී. ඉන්පසු “සිහිනයකි ඔබේ ආදරේ”, “හිරුසඳු පවා හඬාවී”, “පිපි මල් මිටක්”, “ඔච්චරටම ආදරයක්” වගේ කැසට් පට ගණනාවක් මම නිකුත් කර තිබෙනවා. මේ හැම කැසට් පටයකම ගීත රසිකයන් ඉතා ආදරයෙන් වැලඳ ගත්තා. ඒ නිසා ඒ සියල්ල අතරින් මගේ ජනප්‍රිතම ගීත 33ක් මම මේ ප්‍රසංගය සඳහා තෝරගෙන තිබෙනවා. ඒ ගීත මොනවාද කියලා ප්‍රසංගය නරඹද්දී රසිකයන්ට දැන ගන්නට ලැබෙයි. මම පසුගියදා මගේ මුහුණු පොත හරහා මගේ ජනප්‍රියම ගීත මොනවාද කියලා රසිකයන්ගෙන් විමසුවා. එයට ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළයි. සිතා ගන්න බෑ එහෙම රසිකයන් පිරිසක් මට ඉන්නවාද කියලා. විශාල රසිකයන් පිරිසක් එම පෝස්ට් එකට ප්‍රතිචාර දක්වලා තිබුණා.


මෙම ප්‍රසංගයට ඔබට සහාය දෙන අනිකුත් පිරිස ගැනත් මතක් කරමු?


මේ ප්‍රසංගයේ සංගීතය මෙහෙයවන්නේ සරත් ද අල්විස් මහත්මයා. එතුමා මගේ


දීර්ඝකාලීන මිතුරෙක්. ඒ වගේම මේ ප්‍රසංගයට වාදන ශිල්පීන් 18ක් සම්බන්ධ වෙනවා. මට අවශ්‍ය වුණේ ලස්සන සංගීතයක් එක්ක මේ ප්‍රසංගය රසිකයන්ට ලබා දීමයි. ෆුල් ඔකෙස්ට්‍රා ශෛලියේ සංගීත ප්‍රසංගයක් එදාට රසිකයන්ට දැකගන්නට පුළුවන්. ප්‍රසංගයේ නිවේදන කටයුතු කරන්නේ ප්‍රවීණ නිවේදන ශිල්පීන් දෙපළක් වන ඉන්ද්‍රසිරි සුරවීර සහ තිසංක ගමගේ කියන මා සහෘදයන් දෙපළයි. නර්තනයෙන් නිරෝෂා තලගල සහෝදරිය ප්‍රමුඛ යූ ඩාන්සර්ස් නර්තන කණ්ඩායම ප්‍රසංගයට සහාය ලබා දෙනවා.


වසර 33ක් පිරෙන ගමන්මගේ ආරම්භයත් මතක් කරමු?


ඇත්තටම මම සංගීත ක්‍ෂේත්‍රයට ආවේ ඉතා කුඩා අවධියේදී. මම සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් ලෙස තමයි කරළියට පැමිණියේ. එතකොට මම පාසල් යනවා. මගේ සංගීත දිවියේ ආරම්භය 1979 දක්වා දිවෙනවා. නමුත් මගේ ස්වතන්ත්‍ර නිර්මාණ දිවියට මේ වනවිට වසර 33ක් පිරිලා තිබෙනවා. ඒ වෙනුවෙනුයි මම මේ දැවැන්ත ප්‍රසංගය රසිකයන්ට ලබාදෙන්නේ. මේක මෙගා ගණයේ ප්‍රසංගයක් කිවුවොත් නිවැරදියි.


90 දශකය කියන්නේ ඔබත් සමඟ සමකාලීන ගායන ශිල්පීන් රැසක් රටට දායාද වුණු අමරණීය යුගයක්. ඔවුන්ගෙන් මේ ප්‍රසංගයට ලැබෙන සහාය කොහොමද?


ඒ පිළිබඳව මතක් කළ යුතුමයි. ඒ යුගයේ පැමිණි කිසිදු ගායන ශිල්පියකුගේ, ශිල්පිනියකගේ කුහකත්වය කියන දේ ගෑවිලාවත් තිබුණේ නැහැ. අපි අදටත් ඉන්නේ සහෝදරයෝ වගේ. ඒක මම හැමදාම කියන දෙයක්. ඒ යුගයේ ආපු සිංදු ටික බලන්න. කොච්චර ලස්සනද ඒ සිංදු. ඉතින් ඒ වගේ සහෝදර ශිල්පීන්, ශිල්පිනියන් සමඟ කටයුතු කරන්න ලැබීම භාග්‍යයක්. ඔවුන් තමයි මට මෙහෙම ප්‍රසංගයක් කරන්න කියලා ආරාධනා කළේ. හැම තිස්සෙම මට දුරකථනයෙන් කතා කරලා මේ ප්‍රසංගයට අවශ්‍ය දේවල් පිළිබඳ ඔවුන් විමසනවා. අපේ භාෂාවෙන් කියනවා නම් 90 සෙට් එක මට මාර විධියට උදවු කරනවා මේ වැඩේට.


මේ ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම පිළිබඳවත් රසිකයන් දැනුවත් කළොත්?


කොට්ටාව, මහරගම, පිළියන්දල, කිරිබත්ගොඩ සරසවි පොත්හල්වලින් ප්‍රසංගයේ ටිකට්පත් වෙන් කරගන්න පුළුවන්. ඊට අමතරව 076-7883611 කියන මගේ දුරකථන අංකයටට කතා කරලත් ටිකට්පත් වෙන් කර ගැනීමට රසිකයන්ට අවස්ථාව තිබෙනවා.


ඔබේ අලුත් නිර්මාණ ඉදිරියේදී රසිකයන්ට දැකගන්නට පුළුවන් වෙයිද?


අලුත් නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී එන්න තිබෙනවා. 2024 වසර මට තීරණාත්මක වසරක් කියන්න පුළුවන්. මගේත් මගේ දරුවන්ගේත් නිර්මාණ කිහිපයක්ම එම වසරේදී රසිකයන්ට ලබාදෙන්න සූදානමින් සිටිනවා. විශේෂයෙන්ම මගේ දියණිය සත්මානිගේ ගීත කිහිපයක් ඉදිරියේදී නිකුත් වන්නට නියමිතයි. ඒ වගේම පවුලේ නිර්මාණත් රසිකයන්ට ඉදිරියේදී දැකගන්නට පුළුවන් වෙයි.


අවසාන වශයෙන් ඔබේ ප්‍රසංගය ගැන සහ රසිකයන්ට මොනවද කියන්න තිබෙන්නේ?


අද මම යම් තත්ත්වයක සිටිනවා නම් ඒ මගේ ආදරණීය රසිකයන් නිසයි. තවත් මේ වගේ ප්‍රසංග කිහිපයක්ම ඉදිරියේදී රසිකයන්ට ලබා දෙන්න මම බලාපොරොත්තුවෙන් සිටිනවා. එම නිසා මට ආදරය කරන සියලු රසිකයන්ගෙන් මම ඉල්ලන්නේ එළැඹෙන 19 හවස 6.00 වෙද්දී BMICH එකට ඇවිත් මගේ ගීත ශ්‍රවණය කරන්න කියලයි. රසිකයන්ට නැවුම් අත්දැකීම් කිහිපයක්ම ලබාදෙන්නටත් මම එදාට සූදානම් වෙලා ඉන්නවා.


ඒ වගේම මගේ සහ මගේ ආදරණීය දරුවන්ගේ නිර්මාණ Ear Mind සහ Emkids කියන යූ ටියුබ් නාළිකා ඔස්සේද රසිකයන්ට නැරඹිය හැකියි. ඒ වගේම අවසාන වශයෙන් කියන්න තිබෙන්නෙත් මගේ ප්‍රසංගය බලන්න මට ආදරය කරන හැමෝටම එන්න කියලායි.


ක්‍රිෂාන් පතිරත් ජයසූරිය




Previous Post Next Post