ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණේ ආදරේ නිසා-තිවංකා නානායක්කාර




තිවංකා නානායක්කාර කියන්නෙ පුංචි තිරයේ වෙළෙඳ දැන්වීම් තුළින් දකින්න ලැබෙන සුන්දර යුවතියක්. ඇය විටින් විට ප්‍රේක්ෂකයන් අතරට ටෙලි නිර්මාණ හරහාත් දැක ගන්න ලැබෙනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන අලුත්ම ටෙලි නාට්‍යයක් “මීයා”. මීයා නාට්‍යයේත් තිවංකා හරි අපූරු චරිතයක් කරනවා. ඒ ගැන වගේම තිවංකාගේ ජීවිතේ තොරතුරු ගැන අපි කතා කළා.


මුල්ම නිර්මාණය මොකක් ද?


මුලින්ම කළේ වෙළෙඳ දැන්වීම්. වෙළෙඳ දැන්වීම් ඉන්න අතර අවුරුදු දෙකක් වගේ යද්දී තමයි දෙරණ නාළිකාවේ මිහි කියන නාට්‍යයට අවස්ථාව ලැබුණේ. මිහි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කළේ. මිහි අධ්‍යක්ෂණය කළේ තුෂාර තෙන්නකෝන්. ඔහු තමයි මගේ ටෙලි නාට්‍යය ජීවිතේ පළමු අධ්‍යක්ෂවරයා. ටීවි එකෙන් දකිනවට වඩා නාට්‍යයක වැඩවෙන්නෙ කොහොමද කියන එක මම මිහි නාට්‍යය තුළින් ඉගෙන ගත්තා. ඒකෙන් පස්සෙ තමයි නාට්‍යයවලට ආසාවක් ආවේ. එතැනින් පස්සෙ මට කරන්න පුළුවන් කියලා හිතෙන නාට්‍යය කිහිපයකට සම්බන්ධ වුණා.


මුල්ම අත්දැකීම කොහොමද දැණුනේ?


ඩ්‍රාමාවල මුල්ම අත්දැකීම මිහි ටෙලි නාට්‍යය. මිහි ගොඩක්ම රූගත කළේ රිවස්ටන්වල. මාස 8ක් තිස්සෙ කොටස් 50ක ප්‍රමාණයක් රූගත කළා. අපි ජීවත් වෙන්නෙ නාගරික පරිසරයක නිසා ට්‍රිප් එකක් ගියත් ගන්න බැරි තරම් අත්දැකීම් ගොඩක් ඒ කාලය තුළ ගත්තා. ඒ ගෙවපු කාලය ජීවිතේ අමතක නොවන කාලයක්. මගෙ පළමු නාට්‍යය තුළින්ම එවැනි සුන්දර පරිසරයක රූගත කෙරුණු පරිසරය ගැනම කියැවෙන මිහි නාට්‍යය වීම ගැනත් මම සතුටු වෙනවා. මමත් පරිසරයට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ නිසා මම ලබපු වාසනාවක් විදියටයි මිහි නාට්‍යය දකින්නෙ.


මේ වෙද්දි නිර්මාණ කීයකට දායකවෙලා තියෙනවද?


ටෙලිනාට්‍යය හතරක් කරලා තියෙනවා. මම කමර්ෂල්වලට තමයි ගොඩක් කැමති. මේ වෙද්දි වෙළෙඳ දැන්වීම් 15ක් වගේ කරලා තියෙනවා. මගේ පෞද්ගලික කටයුතු සහ ඉගෙනීම් කටයුතු එක්ක නාට්‍යයවලට වෙන් කරන්න පුළුවන් කාලවේලාව අඩුයි. ඒ නිසා මට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් මට කාලවේලාව කළමනාකරණය කර ගන්න පුළුවන් නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


අලුත්ම නාට්‍යය මීයා. ඒක නොවැම්බර් 11වෙනිදා ඉඳන් ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක් වෙයි. ඒ විදියේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණු පළවෙනි අවස්ථාව. මම ඉතාම ආසාවෙන් හිටියේ මෙවැනි නිර්මාණයකට දායක වෙන්න. මම කලින් කරපු නිර්මාණ වලට වඩා වෙනස්ම වැඩක්.


කොහොමද මීයා නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ?


මජිත් එස්. උයන්ගොඩ කියන කැමරා අධ්‍යක්ෂවරයා එක්ක මම වෙළෙඳ දැන්වීම් වල වැඩ කරලා තියෙනවා. එයා තමයි මාව මේ චරිතයට යෝජනා කරලා තිබුණේ. කලනි අක්කා මට කතා කරලා මාව සම්බන්ධ කර ගත්තා. ඊට පස්සෙ චින්තන අයියා තමයි මේ නාට්‍යයේ මොකක් ද වෙන්නෙ, කතාව මොකක් ද, කොහොමද කතාව ගලාගෙන යන්නෙ සහ මට මොකක් ද කරන්න තියෙන්නේ කියන පැහැදිලි කිරීම කළේ. ඒකෙන් පස්සෙ මට ආස හිතුණා කාලින මාතෘකාවක් එක්ක සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් කතාවක් නිසා සහ මෙහි ඉන්න කාස්ටින් එක නිසා. ක්ෂේත්‍රයේ ප්‍රවීණ දැනුමක් සහිත නළු නිළියන් පිරිසක් හිටියේ. ඔවුන් එක්ක වැඩ කරන්න ලැබීමත් එක හේතුවක් වුණා මේ නාට්‍යය භාර ගන්න. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අධ්‍යක්ෂ චින්තන ධර්මදාස සහ මුවිදු විනෝ ඇතුළු සියලුම කණ්ඩායම. මේක රෑ දවල් නොබලා කරපු ලස්සන නිර්මාණයක්. මගේ චරිතයේ නම එමා. ලංකාවේ වෙන සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය වුණ කතාවක්. ඒ කතාවට පිටරටක ඉගෙන ගන්න ගැහැනු ළමයෙක් සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන දේයි මගේ චරිතය ඇතුළේ තියෙන්නේ.


ආදරේ දකින්නෙ කොහොමද?


මගේ ජීවිතේ කැමතිම මාතෘකාව ආදරේ. ආදරේ පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් ගත්ත හැම තීරණයක්ම මට සතුටක් ගෙන දුන්නා. මම අද ඉන්න තැනට එන්න ලොකුම හේතුව වුණේ ආදරේ. ආදරේ ගැන කතා කරන්න එක ලිපියක් මදි. මම දකින්නෙ ආදරේ මේ විශ්වයේ තියෙන බලගතු දෙයක් විදියට. ආදරේට කරන්න පුළුවන් දේවල් අසීමිතයි. මගේ ජීවිතේ නම් ගොඩක් දේවල් වෙනස් වුණේ ආදරේ නිසා. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මගේ ජීවිතේට නම් ආදරේ සුබවාදී විදියට ගලාගෙන යනවා. අපේ ආදර කතාවට දැන් අවුරුදු 8ක් සම්පූර්ණ වෙනවා. විවාහය ගැන හිතලා තියෙනවා. නමුත් දැන්මම නෙවෙයි. අපේ සැලසුම් ඉලක්ක සහ අරමුණු තියෙනවා. ඒ දේවල් සම්පූර්ණ කරගෙන විවාහය ගැන හිතනවා.


පෙම්වතා ගැන කිව්වොත්


නමින් ඔහු දසුන් සුබසිංහ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැළී ඉන්නෙ.


ජීවිතේ ගත්ත හරිම තේරීමද?


ඔව්. මම හිතන්නෙ මගේ ජීවිතේ ගත්ත හොඳම තේරිම ආදරේ. අද මම දෙයක් කරගෙන තියෙනවා නම් සහ අද මම තැනක ඉන්නව නම් එ ආදරේ නිසා.


දසුන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


එයාගෙන් ලැබෙන සහයෝගය ගැන වචනයෙන් විස්තර කරන්න බැහැ. ජීවිතේ ඇතුළේ සහ කලාව ඇතුළේ සියලු සැලසුම් එයාගේ. එයා තමයි හැමදේම ප්ලෑන් කරන්නෙ. මට තියෙන්නේ එයාගෙ ප්ලෑන් එකට අනුව වැඩ කරන්න විතරයි. එයත් එක්ක ගනුදෙනු කරන එක වැඩ කරන එක සහ ජීවත් වෙන එක හරි ලේසියි. එයා නැතුව මම ශූටින් ගිය එක දවසක්වත් නැහැ. මම කැමරාවක් ඉස්සරහ ඉන්න හැම අවස්ථාවකම එයා කැමරාව පිටුපස ඉන්නවා. මේ වෙනකම් මම කරපු හැම වැඩකම හැම තැනකම මම දන්න කට්ටියටත් වැඩිය දසුන්ව දන්න පිරිස වැඩියි. සමහර වෙලාවට එයාගෙන් තමයි මාව කට්ටිය හඳුනාගන්නෙ. මම ශූටින් ගියාම කට්ටිය අහන්නෙ කෝ දසුන් කියලා. එයා මම වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්නෙ.


දිගටම රඟපාන්නද කැමැත්ත?


ඔව් දිගටම රඟපානවා. ඒකට මම ආසයි. නමුත් මේ මගේ වෘත්තීය නෙවෙයි. දැන් මම රංගනය ගැන ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නෙ නැතුව කිසිම දෙයක පැවැත්මක් තියාගන්න බැහැ. ඒ නිසා ඉගෙන ගනිමින් හොඳ ලස්සන නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මට තියෙන්නේ ජනප්‍රිය වීමේ ආසාවක් නෙවෙයි. කලාව ඇතුළේ හොඳ වැඩක් කරන්න සහ දක්ෂතම කෙනෙක් වෙන්නයි ආස. ඒ නිසා ජනප්‍රිය කියන කැටගරි එකට වඩා දක්ෂතම කියන කැටගරි එකට යන්න ආස. ඒ වෙනුවෙන් කලාව ඇතුළේ දෙයක් කරන්නයි උත්සාහ කරන්නෙ.


අනූෂා රණසිංහ



Previous Post Next Post