එක රැයෙන් අපේ ජීවිත වෙනස් වෙන්න පුළුවන් -සුදර්ශන් රවීන්ද්‍රන්


 

ජීවිතයේ එක දවසක් හෝ නාට්‍යය නරඹන ඔබට නම් මාධවන් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. හැබැයි මාධවන්ට ජිවය දෙන්නේ කවුද කියන වග නම් ඔබ දැන ගන්න කැමැත්තක් තියෙන බව අපි දන්නවා. සිංහල නාට්‍යය කලාවට අලුතින් එකතු වුණු මේ හැඩකාර තරුණයා නමින් සුදර්ශන් රවීන්ද්‍රන්. සුදර්ශන් ගැන සිංහල පුවත්පතක පළවන පළමු ලිපිය. ඒ නිසාම ජිවිතේ පටන් ගත්ත තැනින්ම කතාව පටන් ගන්න හිතුවා.


පාසල් යන කාලේ කොහොම චරිතයක් ද?


මගේ උපන් ගම නුවර, ගලහ දෙල්තොට. පාසල් ගියේ දෙල්තොට මලෙයිමහල් හින්දු සෙන්ට්‍රල් කොලේජ් එකට. පාසල් කාලේ මම ක්‍රිකට් සෙල්ලම් කළා. 100 /200 සහ 400 ධාවන ඉසව්වල මම තමයි හැමදාම චැම්පියන් වුණේ. මට පොඩි කාලේ ඉඳන් පොඩ්ඩක් රඟපාන්න කැමැත්තක් තිබ්බා. මගේ ලොකුම විනෝදාංශය වුණෙත් ෆිල්ම් බලන එක.


පාසල් වේදිකාවේ අත්දැකීම් නැද්ද?


එකම එක අත්දැකීමක් තියෙනවා. ඒ මම හත වසරේ වගේ ඉන්නකොට පාසල් නාට්‍යයක රජතුමාගේ චරිතයට මට කතා කළා. ඒකත් මට ලැබුණේ රජතුමාගේ චරිතය කරන්න හිටිය ළමයා අසනීපයෙන් හිටිය නිසා. එයා නැති නිසා මට රජ චරිතය දුන්නා. මම ගෙදර ගිහින් හරි සතුටින් කිව්වා මට තමයි රජ චරිතය ලැබුණේ කියලා. රජතුමාගේ ඔටුන්න බ්‍රිසිල් බෝර්ඩ් අරගෙන කපලා රෙඩි කළා. ගොඩක් ආසාවෙන් හිටියත් පහුවදා බලද්දී රජ චරිතය කරන්න හිටිය ළමයා ඇවිත්. ඒ නිසා මට දුන්නේ සේවකයෙක්ගේ චරිතය. ඒ නිසා මට මාරම දුකක් ආවා. එතැනින් පස්සේ මම පාසල් වේදිකාවේ කිසිම දෙයකට ගියේ නැහැ.


එහෙමනම් පාසල් කාලේ අමතක නොවන මතක ඇති?


ඔව්. මම පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක කෙනෙක් වුණා. උසස් පෙළ කරන කාලේ ළමයි එක්ක රණ්ඩු වෙන චරිතයක්. උසස් පෙළ පළමු අවුරුද්දෙන් පස්සේ මම පාසලේදී රණ්ඩු වුණු නිසා මාව පාසලෙන් අස් කළා. මම උසස් පෙළ ලිව්වේ පුද්ගලිකව අයදුම් කරලා. ඒ සිදුවීම මට දෙවිදිහකට බලපෑවා. එකක් තමයි මම රණ්ඩු වෙලා ගහගෙන ප්‍රින්සිපල්ගේ කාමරේ ඉස්සරහ ඉන්නකොට මගේ නංගි දුවගෙන එනවා අම්මාට ස්ට්‍රෝක් එකක් ඇවිත් හොස්පිටල් නවත්තලා කියලා. මගෙන් ගුටි කාපු ළමයාගේ අම්මා දුවගෙන එනවා තමන්ගේ පුතා හොස්පිටල් එක්කගෙන යන්න. ඒ සිදුවීම් දෙකම එකම දවසේ වුණේ. එදා මට මාර විදිහට හිතට අවුල් වුණා. මම ඊට පස්සේ ඉස්කොලේ ගියේ නැහැ. මම උසස් පෙළ ප්‍රයිවෙට් කරලා ප්‍රතිඵල එන්නත් කලින් කොළඹ ආවා.


කොළඹ ආවේ අරමුණක් ඇතිවද?


නැහැ. මට ගෙදර වගකීමත් පැවරුණා. අම්මා මාස දෙකක් විතර කෝමා තත්ත්වයේ ඉඳලා සුව වුණේ. අම්මා නුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගත්තේ. ඒ වෙනුවෙන් මුදල් අවශ්‍ය නිසා මම තනියම තීරණය කරලා තමයි කොළඹ ආවේ රස්සාවක් හොයාගෙන. ඒ වෙද්දී මගේ තාත්තත් කොළඹ හෝටලයක කැෂියර් විදිහට වැඩ කළේ. තාත්තා දැන ගන්නෙත් මම කොළඹ ආවට පස්සේ. මට තිබ්බා මගේ ජීවිතේ මම ම හදා ගන්න ඕනේ කියන සිතුවිල්ල.


කොළඹ ජිවිතේ ලෙහෙසි වුණාද?


මම කොළඹ ගැන දන්නෙත් නැහැ. මට සිංහල කතා කරන්නත් බැහැ. මම ඇවිත් බැස්සේ කඩවතින්. එතැනින් බැහැල එඩේරමුල්ල පාරේ ගෙවල්වලට කතා කරලා නවතින්න තැනක් හොයාගත්තා. ඒ ගෙදර දවසක් ඉන්නකොට තාත්තට ආරංචි වෙලා කෝල් කළා. තාත්තට කිව්වා නම් මේ ගමන එන්න වෙන්නේ නැහැ. මගේ ලොකු තාත්තා රත්‍රං බඩු හදන්නේ. ඒ නිසා මට ඉන්න කිව්වෙත් ලොකු තාත්තගේ පට්ටලේ වැඩ කරගෙන. මම ඒකට ඇත්තටම කැමැති නැහැ. පස්සේ තාත්තාගේ යාළුවෙක්ගේ ගෙදර බෝඩිමකට ගියා. ඊට පස්සේ ජොබ් කිහිපයක් කළා. මම මුලින්ම වැටුපක් ගත්තම ඒ වැටුපෙන් භාගයක් තාත්තාට දීලා තාත්තගේ ආශිර්වාදය ගත්තා. ඊට පස්සේ මම කළේ ඇඳුම් කිහිපයක් ගත්ත එක. ඒ ගත්ත සුදු කමිසයක් අදටත් මගේ ගාව තියෙනවා. මම ආසාවෙන් හිටියා කොළඹ ඇවිත් කොළඹ හෝල් එකකින් ෆිල්ම් එකක් බලන්න. අපි ගමේ ඉන්නකොට කටුගස්තොටටම එන්න ඕනේ හෝල් එකේ ෆිල්ම් එකක් බලන්න නම්. ගමේ ඉන්න කාලේ තුන්පාරක් විතරයි හෝල් එකේ ෆිල්ම් බලලා තිබ්බේ. කොළඹ ඇවිත් මුලින්ම බැලුවේ විජේ රඟපෑ කත්ති (Kaththi) ෆිල්ම් එක. එතැනින් පස්සේ මම රැකියාවක් කළා ශ්‍රී ලංකා ටෙනිස් ඇසෝෂියේෂන් එකේ කස්ටමර් සර්විස් කෙනෙක් විදියට. එතැනට ආවේ ඔක්කොම ශ්‍රී ලංකාවේ ඉහළ ‍ෙපළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අය. එතැනදී තමයි මම සිංහල සහ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ.


කොහොමද කලාවට එන්න පාර හැදෙන්නේ?


තාත්තා වැඩ කරපු හෝටලයට ශක්ති ටීවී එකේ බාලා කියන කැමරාමන් ඇවිත් තිබ්බා. එයා ඉන්දියාවේ කෙනෙක්. තාත්තා එක්ක කතා කරද්දී කියලා තියෙනවා මෙහෙම ශුට් එකක් කරනවා කියලා. තාත්තා මගේ ගැන ඔහුට කියලා තිබුණා. තාත්තා තමයි මගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය අරන් දුන්නේ. තාත්තා ඉන්දියාවේ මදුරෙයිහි කාලයක් හිටියා. තාත්තගේත් හීනයක් තිබ්බා සිනමාවට එන්න. තාත්තගේ හිතේ ආසාවක් තිබ්බා මම සිනමාවට එන්න ඕනේ කියලා. මම බාලා අයියාට කෝල් කරලා ගියා. ඒ ගියාම මාව දැක්කම එයාට කියවුණා “මම හිතුවේ නැහැ රවිට මේ තරම් ලස්සන කොල්ලෙක් ඉන්නවා කියලා“. තාත්තගේ වචනේ අහක දාන්න බැරි නිසා මට කෝල් එකක් දෙන්න කියන්න කියලා තිබ්බේ. ඊට පස්සේ මට කිවුවා නෙගටිව් රෝල් එකක් තියෙන්නේ කරන්න කියලා. ඒ වෙනකම් මම කවදාවත් කැමරාවට මුහුණ දීලා නැහැ. marupadiyum තමයි මගේ මුල්ම නාට්‍යය වුණේ. ඒක දැකලා ශක්ති ටීවී එකේ මැනේජ්මන්ට් එකෙන් මාව හොයලා තිබ්බා. මට කෝල් කරලා කිව්වා ශක්ති ටීවී එකේ ඉන්ටර්ව් එකකට එන්න කියලා. ඒක ඉවර වුණාම මගෙන් ඇහුවා ප්‍රසන්ටර් කෙනෙක් විදිහට වැඩට එන්න කැමතිද කියලා. එතකොට මම ඒ ගැන දන්නෙම නැහැ. ඒ නිසා මම ඇහුවා ඒක කොහොමද කරන්නේ කියලා. මම කිවුවා මම ට්‍රයි කරන්නම් කියලා. එතකොට වැඩ කළා දර්ශනා කියලා කෙනෙක්. එයාට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම ස්ක්‍රීන් ටෙස්ට් 20කට වඩා ගියා. මම ජොබ් එක කරන අතරේ ප්‍රසන්ට්න් කරන්න ගියා. මාව විශ්වාස කරලා දුන්න වැඩේ නිසා මම කොහොම හරි මේ ලැබුණු අවස්ථාව ගැන හිතලා ඒකට පුරුදු පුහුණු වුණා. තාත්තා කිවුවා දෙපැත්තේම කකුල තියන් ඉන්න එපා. එක පැත්තක් තෝරාගෙන යන්න කියලා. ජොබ් එකෙන් අයින් වෙලා ශක්ති ටීවී එකේ ෆුල් ටයිම් වැඩ කළා. ඒ කාලේ දර්ශන් තවරාජා සහ මම එකට වැඩ කළේ. එයා තමයි මගේ හොඳම යාළුවා. අපිට ඕනේ වුණා මුල්‍යමය අතින් ස්ථාවරත්වයක් හදා ගන්න. මම යාළුවෙක් එක්ක ස්ට්‍රීට් ෆුඩ්ස් බිස්නස් එකක් පටන් ගත්තා මසාලා චිකන් හවුස් කියලා. ඔය අතරේ මට ඕනේ වුණා සිනමාව ගැන ඉගෙන ගන්න. මම 2021 ඉන්දියාවට ගියා.


කොහොමද ඉන්දියාවේ ගත කළ කාලය?


නුවර ඉඳන් මම කොළඹට ආවා වගේම, කිසිම හැඳුනුම්කමක් නැතුව මම ඉන්දියාවට ගියා. එහෙත් පොඩි කාමරයක් අරන් සිනමාව ගැන හොයලා බැලුවා. එහෙ ඉන්න කාලේ පොඩ්ඩ පොඩ්ඩ මම ඉන්දියාවේ චැනල්වලට ගියා. ඒ වෙද්දී ෆිල්ම් තුනක් කරපු අධ්‍යක්ෂවරයෙක් මට හම්බවුණා. එයා එයාගේ අලුත් නිර්මාණයේ වැඩ පටන් ගන්න ලෑස්ති වෙලා හිටියේ. එයත් එක්ක මාස තුනක් වැඩ කළා. ඒ කාලය තුළ මම ප්‍රායෝගිකවම ඉගෙන ගත්තා කොහොමද ඉන්දියාවේ ෆිල්ම් එකක් කරන්නේ කියන එක. අද වෙද්දී ඒ අධ්‍යක්ෂවරයා මගේම සහෝදරයෙක් වගේ. සිනමාව කියන්නේ දීර්ඝකාලින සිදුවීම් මාලාවක්. එක රැයෙන් අපේ ජීවිත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒකට අපි රෙඩි වෙලා ඉන්න ඕනේ. මම අවුරුදු දෙකක් ඉන්දියාවේ හිටියා. ඒ කාලය තුළ මම ඉන්දියාවේ දැවැන්ත චරිත එක්ක හොඳ සම්බන්ධතා ගොඩනඟා ගත්තා. මම දැවැන්ත නිර්මාණ කිහිපයක වැඩ කරලා අත්දැකීම් ගත්තා. සුළු චරිතත් රඟපෑවා.


සිංහල නිර්මාණයකට දායක වෙන්න කොහොමද ඇරයුම් ලැබෙන්නේ?


මම ඉන්දියාවේ ඉන්න කාලේ මට දුරකතන ඇමතුමක් ආවා ලලිත් රත්නායක මහතාගෙන්. මම මුලදී එතරම් කැමැත්තක් තිබ්බේ නැහැ. මට කිවුවා මෙහෙම චරිතයක් තියෙන්නේ කියලා චරිතේ ගැන ස්ක්‍රිප්ට් එක ගැන පොඩි විග්‍රහයක් කළා. ඊට පස්සේ මම කැමති වෙලා ජීවිතයේ එක දවසක් කියන නාට්‍යයේ මාධවන්ගේ චරිතය කරන්න ලංකාවට ආවා.


කොහොමද ජිවිතයේ එක දවසක් නාට්‍යයේ කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය?


මම සිංහල නාට්‍යයක් කරන පළමු අවස්ථාවනේ. මම ගොඩක් උත්සාහ කළා සිංහල හරියටම කතා කරන්න. ඒකට මට ගොඩක් උදවු කළා නයනතාරා. ඊට අමතරව කලණි දොඩන්තැන්න අක්කා, පුබුදු අයියා ඒ හැමෝම මට උදවු කළා. අධ්‍යක්ෂවරයා මට හොඳ සහයෝගයක් දුන්නා.


සිංහල තව නිර්මාණවලට ඇරයුම් ලැබුණාද?


මේ දිනවල සිංහල චිත්‍රපටයකට ඇරයුම් ලැබිලා තියෙනවා. සාකච්ඡා මට්ටමේ නිසා ඒ ගැන ඉදිරියේදී වැඩි විස්තර කියන්නම්. ඒ එක්කම මම දැන් සුප්‍රීම් ටීවී එකේ ලංකාවේ පළමු වතාවට සිංහල නාළිකාවක සඳුදාට ලයිව් ටැමිල් ෂෝ එකක් කරනවා. මේ වෙද්දී මට ඉන්දියානු ප්‍රඩක්ෂන් තුනක් ලැබිලා තියෙනවා. එකක් නෙට් ෆිලික්ස් එකට කරන වෙබ් සීරියස් එකක්, අනිත් දෙක ෆිල්ම් දෙකක්.


අනාගත බලපොරොත්තු මොනවද?


මගේම ප්‍රඩක්ෂන් හවුස් එකක් මම මේ වෙද්දී පටන් ගත්තා Spark ප්‍රඩක්ෂන් හවුස් නමින්. මට කවදා හරි ලංකාවේ ටැමිල් හෝ සිංහල ෆිල්ම් එකක් කරන්න අදහසක් තියෙනවා. ඒ එක්කම මම ඉන්දියාවේ ෆිල්ම්වල රයිට්ස් අරගෙන ලංකාවට බෙදාහැරීමේ කටයුත්ත කරන්න ඉන්නවා. මම සිනමාව පැත්තෙන් දිගු ගමනක් යන්න ඉන්න නිසා මගේම ප්‍රඩක්ෂන් හවුස් එකක් තියෙන එක කොහොමත් හොඳයි.


අනුෂා රණසිංහ



Previous Post Next Post