මම ආදරවන්තියක් ඒත් එයා ලංකාවේ නෑ - පියුමාලි ප්‍රසාදිනී එදිරිසිංහ




පියුමාලි.... මේ දිනවල ''හැඩකාරි'' එක්ක ගොඩාක් සමීපයි කියලයි ආරංචිය...?


ඔව්. ''හැඩකාරි'' ගීතය ගායනා කරන්නේ නදීමාල් පෙරේරායි. මේ ගීතය රූප රචනා අධ්‍යක්ෂණය කළේ කසුන් හෙට්ටිආරච්චි. ගීතය පදරචනා කළේ මාලිනි ලියනගේ. සංගීතවත් කළේ පසන් ලියනගේ. ඉතින් මම රූප රචනාවෙන් දායකත්වය ලබලා දෙන ''හැඩකාරි'' ගීතයට අද හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගීතයට මට අහම්බෙන් වගේ තමයි සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඊට පෙර මම දායක වුණ වෙළෙඳ දැන්වීමක කැමරාවෙන් දායකත්වය ලබලා දුන්නු අයියා කෙනෙක් තමයි මේකට මාව යෝජනා කරලා තිබුණේ. අවසානයේදී මෙම ගීතයේ කණ්ඩායමත් කැමැතිවෙලා මම ''හැඩකාරි'' ගීතයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදාවුණා.


Q මීට පෙර පියුමාලි සම්බන්ධ වුණු නිර්මාණ මොනවාද...?


මේ මගේ මුල්ම රූපරචනා නිර්මාණයයි. මීට පෙර මම වෙළඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වුණා. වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්නත් පෙරම මම 2016 අවුරුද්දේ රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයෙන් පළමු ස්ථානය දිනාගන්නට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මම අවුරුදු කිහිපයක්ම කිසිම නිර්මාණයකට දායක වුණේ නැහැ. අවුරුදු කිහිපයකට පස්සේ මම වෙළඳ දැන්වීම් කිහිපයකින් නැවත මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා.


 අවුරුදු කුමාරි තරගයකින් ජයග්‍රහණයන් ලැබුවාට පසුව විවිධ නිර්මාණවලට දායකත්වය ලබාදීමට පියුමාලිට ආරාධනා ලැබුණේ නැද්ද...?


ආරාධනා ලැබුණා. හැබැයි අවුරුදු කුමරි තරගයට ඉදිරිපත් වෙද්දීත් මම පාසැල් අධ්‍යාපනය ලබන සිසුවියක්. ඒ වෙද්දිත් මම පාසැලේ ශිෂ්‍ය නායිකාවක්. අවුරුදු කුමාරි තරගයට පමණක් ඉදිරිපත් වෙන්න මට පාසලෙන් අවසරය ලැබුණා. ඉතින් ඒ ජයග්‍රහණයෙන් පස්සේ මම නැවතත් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යෙදෙව්වා.


Q පියුමාලි ඉගෙනගත්ත පාසැල මොකක්ද?


මම ඉගෙන ගත්තේ සපුගස්කන්ද විශාඛා බාලිකා විදුහලෙයි. පාසැලේදී මම කලාවට ගොඩක් ලැදි කෙනෙක්. පාසැලේ වැඩි කාලයක් මම පාසැල් වේදිකාවට යෙදෙව්වා. මම උසස් පෙළ කලා අංශයෙන් නැටුම්, සිංහල, මාධ්‍ය යන විෂයයන් හැදෑරුවා. පාසැලේ තිබුණ හැම උත්සවයකදිම නර්තනයෙන් දායක වුණා. ඒ අතරේ ක්‍රීඩා කටයුතුත් කළා.


පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?


පුංචි කාලේ ඉඳන්ම මම නර්තන ගුරුවරියක් වෙන්න ආසා කළා. හැබැයි උසස්පෙළ හදාරණ කාලයේදී මාධ්‍ය ක්ෂේත්‍රයෙන් වැඩකරන්නට ලොකු ආසාවක් ඇතිවුණා. කලාවට එන්න ආසා කළා. අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙද්දී වුණත් ඒක මගේ කැමැත්තෙන් ඉදිරිපත් වුණ දෙයක්. තරගයට අයදුම්පත පවා දැම්මේ මමමයි. මට හිතෙන විදිහට මේ තරගයේදී අඩුම වයසෙන් තරගයට ඉදිරිපත් වුණෙත් මමයි.


 පියුමාලි... පවුලේ විස්තර ටිකක් කියන්න....


මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි. මම පවුලේ වැඩිමලා. මගේ තාත්තා සේවය කළේ යුද හමුදාවේ. දැන් ඔහු විශ්‍රාමිකයි. තාත්තාගේ රුකියාවත් එක්ක තාත්තාට පුංචි කාලේදී අපි එක්ක වැඩිපුර කාලය යොදවන්න ලැබුණේ නැහැ. ඔහු දුෂ්කර රාජකාරි කළා. ඒ නිසා දැන් අපිත් එක්ක තාත්තාට ඉන්න කාලය ලැබිලා තිබෙනවා. තාත්තාත් කලාවට හරි කැමැතියි. මම කලාවට සම්බන්ධ වෙනවට තාත්තාගෙන් කිසිම තහංචියක් නැහැ.


මේ වෙද්දි පියුමාලිට රංගනයට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා නේද...?


ඔව්. මේ වෙද්දී මම ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ ටෙලිනාට්‍ය දෙකම අධ්‍යක්ෂණය කරන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතායි. ඒ ටෙලිනාට්‍ය දෙකම ප්‍රධාන චරිත දෙකක්. මම මුලින්ම වෙළඳ දැන්වීම් කළේ. ඒ වුණාට ටෙලිනාට්‍යයක රඟපාද්දී ඒක වෙනම කලාවක්. කිසිම දෙයක් දන්නේ නැතිව රංගනයට එකතු වුණ මට ශිවා සර් හැමදේම කියලා දුන්නා. ඒ ලබාගත්තු දැනුම ගොඩක් වටිනවා. ඒ නිසා ශිවා සර්ව ගෞරවයෙන් මතක් කරනවා.


පියුමාලි ආදරවන්තියක්ද?


ඔව්. මේ වෙද්දී මම ආදරවන්තියක්. එයා විදෙස්ගත වෙලයි ඉන්නේ. ඒ නිසා මමත් ලංකාවේ ඉන්නා තුරු කලා කටයුතු කරන්නට බලාපොරොත්තුවක් තිබෙනවා. කලාවේදී මට තව බොහෝ දේවල් ඉගෙනගන්න තිබෙනවා. මම තවමත් කලාවට ආධුනිකයි. මම කලාවට ආදරෙයි. විදෙස් රටක හිටියත් මම ආදරය කරන ඔහුත් මාව හොඳින් තේරුම් අරගෙන ඉන්නේ. එයත් කලාවට ආදරෙයි.


I දි්ශානි ජයමාලි




Previous Post Next Post