බයෙන් කළාට නොහිතපු තරම් ලොකු ප්‍රතිචාරයක් ලැබුණා-නතාෂා පෙරේරා



ඇයගේ නම ඇසූ පමණින් අසූවේ හා අනූව දශකයේ උපන් අයට සිය ළමා විය පිළිබඳව අතීතකාමය ඇවිස්සෙනු ඇත. සුළඟක් වී මම යනවා අප්පච්චි කොහොමද මං අල්ලන්නේ කියා ගැයූ ඉමිහිරි හ‍ෙඩ් අයිතිකාර ළපටි දැරිවිය අනතුරුව දඟ මල්ලෙහි එළිසබෙත් වෙමින් බාල තරුණ මහලු කොයි කාගෙත් හදවත්වල නොමැකෙනා සුන්දර අවධියක් පිළිබඳව මතක සටහන් ඉතිරි කරන්නට සමත් විය. කාලයත් සමඟ ඇය කලාවෙන් තරමක් දුරකට අෑත් වුවද ඇයගේ ජනප්‍රියත්වය නම් කිසි කලෙකත් අඩු නොවිණි. එයට හොඳම උදාහරණය වන්නේ වසර ගණනකට පසුව ඇගේ හඩින් ගැයූ ඔබ තරම් ගීතයේ කාන්තා අනුවාදනය යූටියුබ්හි Trending NO 1 වීමයි. මේ අන් කවරකුවත් නොව ඔබේ ආදරණීය නතාෂා පෙරේරාය. 


කාලෙකට පස්සේ නතාෂාගේ නම ආයෙත් කියවෙනවා?


ඔව්. ටික කාලෙකට පස්සේ ලංකාවට ඔන්න ආවා. වොයිස් කිඩ්ස් එකේ හොස්ට් විධියට මට ආරාධනාවක් ලැබුණා සුසාර දිනාල් මහත්මයාගෙන්. ඉතින් ඒ ආරාධනාව පිළිගෙන ලංකාවට ආවා. මේ දවස්වල වොයිස් කිඩ්ස් එකත් එක්ක කාර්යබහුල වෙලා තියනවා. 


ගෙවුණු දිනවල ඔබේ හ¾ඩින් ගැයූ ගීතයක් යූ ටියුබ් Trending බවට පත් වුණා?


ඔව්. ඇත්තටම ඒක ලංකාවේ ගොඩක් ජනප්‍රිය ගීතයක් වෙන ඔබ තරම් ගීතය, ඒක මීට අවුරුදු 10කට විතර කලින් උපරිම ජනප්‍රියත්වයක් ලැබුණු තීක්ෂණ අනුරාධ අයියගේ ගීතයක්. ඒකට කරපු ෆී මේල් වර්ෂන් එක තමයි Trending නම්බර් 1 බවට පත් වුණේ. ඒ ෆීමේල් වර්ෂන් එක ගායනා කරන්න මට ආරාධනාව ලැබෙන්නේ රදීශ් වැන්දබෝනාගෙන්. ඔහු තමයි ඒ ගීතයේ සංගීත නිර්මාතෘ. ඉතින් ඔහුවත් ගීතයට පද රචනා කළ ඩිලාන් ගමගේ අයියවත් ඒ වගේම මේ ගීතයට ලස්සන රූප රචනයක් කරලා දුන්නු චාරුක දුශ්‍යන්තවත් මේ වෙලාවේ බොහොම ආදරයෙන් සිහිපත් කරනවා.


කාලෙකට පස්සේ ඔබේ කටහඬ මේ විධියට ආදරෙන් වැලඳ ගැනීම ගැන මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ?


ඇත්තටම ඒක වචනයෙන් කියන්න බැරි තරම්, මම ඒ ගැන ෆේස් බුක් සටහනකුත් තැබුවා. මම හිතුවා මාව අමතක වෙලාද කියලා. මොකද මම නිර්මාණ ගොඩක් කරපු කෙනෙක් නෙවෙයි. සුළඟක් වී මම යනවා ගායනා කරන්නේ මීට අවුරුදු විස්සකට කලින්, දඟ මල්ල  මීට අවුරුදු 17කට කලින්. ඉතිං ඒ නිර්මාණ හරහා ලැබුණු ආදරය තවමත් තිබෙනවා කියන්නේ මට ඒක අදහගන්න බෑ.


එහෙම ආදරයක් ලැබෙන්න බලපාපු විශේෂ හේතුවක් තිබෙනවාද?


මම මගේ රසිකයන්ට තමයි  මුලින්ම ස්තූතිවන්ත වෙන්නේ. ඒ අය අපිව ප්‍රතික්ෂේප කරපු දවසට අපි මොන දේ කළත් වැඩක් නැහැ. ගොඩක් දෙනෙක් කියනවා ඒ අය කැමැති දෙයක් හිතපුදෙන් අපි අපේ ගමන යනවා කියලා. නමුත් මම එහෙම කියන්නේ නැහැ. ඒක වැරදියි. රසිකයන් හිතන දේ තමයි වැදගත්ම. එයාලට තමයි අපි නිර්මාණ කරන්නේ. ඔවුන් ඒ දේවල් ප්‍රතික්ෂේප කරනවා නම් තවදුරටත් ඒ නිර්මාණවලින් වැඩක් නැහැ. මම චූටි බයකින් තමයි මේක කළේ. මාව අමතක වෙලාද, මේක රසිකයන් වැලඳ ගනීද වගේ හැඟීම් එක්ක. නමුත් නොහිතපු තරම් ලොකු ප්‍රතිචාරයක් ලැබුණා.


නිර්මාණ ප්‍රමාණය අතිශය සීමිත වුණත් හැමදාම එක වගේ ජනප්‍රියව ඉන්නේ කොහොමද?


මම නිර්මාණ  ගොඩක් කරලා නැහැ. නමුත් කරපු හැම නිර්මාණයකටම ආදරෙන් කරපු කැපකිරීම වෙන්න ඇති ප්‍රේක්ෂකයන් ඒ සියල්ල වැලඳ ගැනීමට හේතුව.


කලාව ඇතුළේ ඔබේ දායකත්වය සීමා සහිත වීමට හේතුව?


නිර්මාණ අතළොස්සකට දායක වීම මම හිතලා වුවමනාවෙන් සිදු කළ දෙයක් නෙවෙයි. මගේ ජීවිතේ එක් එක් අවස්ථාවලදී මට කලාව කැප කරන්න සිද්ධ වෙනවා මගේ අධ්‍යාපනය නිසා. මේ සම්පූර්ණ කාලය තුළදීම මට නිර්මාණ මඟහැරෙන්නේ අධ්‍යාපනය නිසා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ නීතිය පැත්තට යොමු වෙනවා. නීතිය අර්ධකාලීනව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ කාලය තුළ මට එන කලා නිර්මාණ මඟහැරෙනවා. ලංකාවේ  ජනප්‍රිය ඉහළම තලයේ ඉන්න අධ්‍යක්ෂවරුන්ගේ ආරාධනා මට මඟහැරෙන්නේ ඔය හේතුව නිසා. ඒ ආරාධනා පිළිඅරගෙන ඒ නිර්මාණවලට දායක වුණු පිරිස අද ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒක මට හරි සතුටුක්. දෙයක් ලබා ගන්න කැප කිරීමක් කරන්න වෙනවා. අධ්‍යාපනය නිසා මම කලාවේ යම් දේවල් කැප කළා. නමුත් දැන් හරි ආසාවෙන් ඉන්නේ හොඳ දෙයක් කරන්න.


වොයිස් කිඩ්ස් හරහා ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


මට ලැබෙන සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිචාරය තමයි නාතාෂා මෙහෙම කෙනෙක් කියලා හිතුවේ නෑ කියන එක. සමහරු මූණ දැක්කම එක එක කතා කියනවනේ. නමුත් මම එහෙම කෙනෙක් නෙවෙයි. වොයිස් කිඩ්ස් එකේදී මම වැඩ කරන්නේ හරිම චූටි දරුවෝ එක්ක. සුළඟක් වී මම යනවා කාලයෙ හිටපු මම වගේ දරුවෝ එක්ක තමයි මම දැන් වැඩ කරන්නේ. මම දන්නවා එයාලට කොහොමද ජයග්‍රහණය, පරාජය දැනෙන්නේ කියලා. මම එයාලව ආදරෙන් වැලඳ ගන්නවා. දරුවෙක්ව වැලඳ ගනිද්දි දැනෙන දේ හරිම පුදුම හැඟීමක්. මම දැනට ඉන්නේ දරුවන්ගේ පවුල්වල අයත් එක්ක. වේදිකාවට යන්නේ ඉදිරි කාලයේදි. ඉතින් මේක හරිම වෙනස් හරිම ආදරණීය අත්දැකීමක්.


ලංකාවේ සංගීතය දකුණු ආසියාව ආක්‍රමණය කරමින් ඉන්නවා. ඔබට අදහස් නැද්ද ජාත්‍යන්තරයට ගීතයක් කරන්න?


මම මෙතැනදී විශේෂයෙන් යොහානිව සඳහන් කරනවා. මොකද ඒ හරහා ලංකාවට ‍ෙදාරක් ඇරුණා වගේ දෙයක් වුණා. සංගීතය තුළ හැකියාවන්ගෙන් පරිපූර්ණ පිරිසක් අපිට ඉන්නවා. ශ්‍රී ලාංකිකයෙක් විධියට මුලින්ම ඒ ගැන සතුටු විය යුතුයි. නමුත් මම දන්නේ නැහැ මගේ වපසරිය කොයි තරම් දුරකට තිබෙනවද කියන දේ. නමුත් දැනට මම ලංකාව ඇතුළේ නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ප්‍රේක්ෂකයන් ඒ දේවල් ආදරයෙන් වැලඳ ගත්තොත් ලොකු භාග්‍යයක්.


ඔබේ ජීවිතයේ හයියට සිට අත්වැල ගිලිහුණා. ආදරණීය ‘අම්මි’ ගැනත් මතකය අවදි කරමු?


ඒක කිසිම දේකින් පුරවන්න බැරි ලොකු හිස්කමක්. මගේ ජීවිතයේ මට සිටිය කෙනා ඇය. මගේ කලාව, අධ්‍යාපනය සියල්ල සූක්ෂ්මව බලපු කෙනා සහ මාව කළමනාකරණය වුණේ ඇගෙන්. මට දැනෙනවා අම්මිගේ ආශීර්වාදය තවමත් මා එක්ක තිබෙනවා. මවුපියෝ ඉන්න අයට මම කියන්නේ එයාලා සදාකාලිකව ඉන්නේ නැහැ. පුළුවන් හැම වෙලාවකම එයාලට සලකන්න. එහෙම කළොත් කවදාවත් වරදින්නේ නැහැ. උඩ ඉන්න දෙවියොත් බලනවා.


නාතාෂා ආයෙත් ළඟදීම ලංකාවෙන් යයිද?


වොයිස් කිඩ්ස් සමඟින් තරමක කාලයක් ලංකාවේ ඉන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඊට අමතරව මගේ ගීත නිර්මාණ කරන්නත් අවශ්‍යයි. බලමු ඉදිරියේදී වැඩ කිහිපයක්ම සැලසුම් කරලා තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post