මං මිනිස්සු අතරට යන්න ඕන විදිහක් තියෙනවා-රෙබෙකා ජයසුන්දර

 


රෝස සුදුයි ආදරියේ මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ජනප්‍රියම ටෙලි නිර්මාණයකි. එහි ප්‍රධාන චරිතය වන නෙතුෂිගේ හොඳම යෙහෙළියට පණ පොවන්නේ ඇයයි. 2023 හිරු අවුරුදු කුමරිය තරගය ඔස්සේ රංගනයට පිවිසි ඇය නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම නර්තනයෙහි ද දස්කම් දක්වන සුරූපිනියකි. රෝස සුදුයි ආදරියේ ටෙලි නිර්මාණයේ නෙතුෂිගේ යෙහෙළිය වන විශාකාගේ චරිතයට පණ පොවමින් මේ දිනවල උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ඇය රෙබෙකා ජයසුන්දරයි. 


රෝස සුදුයි ආදරියේ විශීට (විශාකා) ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මට හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. මේක මගේ පළවෙනි රංගන අත්දැකීම. කවදාවත් මං හිතුවෙ නෑ මට මේ තරම් පිළිගැනීමක් ලැබේවි කියලා. සෝෂල් මීඩියා හරහා ලොකු සපෝට් එකක් ලැබෙනවා. ටික්ටොක්, යූටියුබ්, ෆේස්බුක්වල වීඩියෝ දාලා ඒවට ලැබෙන කමෙන්ට් දැක්කම මට පුදුම හිතෙනවා. මේ ආදරේ මට ගොඩක් වටිනවා.


කොහොමද රෙබෙකා විශාකා වුණේ?


මුලින්ම මං තුෂාර තෙන්නකෝන් සර්ගේ රෝස සුදුයි ආදරියේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියා. එතැනදි සර් මාව තෝරගෙන තිබුණා. මාව චරිතයට ටෙස්ට් කරලත් බැලුවා. මං හොඳට කළා කියලා මාව එවෙලෙම තෝර ගත්තා.


මේක ඔබේ පළමු රංගනය. කොහොමද ඒ අත්දැකීම?


මගේ පළමු රංගන අත්දැකීම ගොඩක් හොඳයි. තුෂාර සර් මට ගොඩක් උදවු කළා. මේක මෙහෙම කරන්න කිය කියා මට කියල දුන්නා. ඒ වගේම අනුෂ්කයි රන්දිකයි මතක් කරන්නම ඕන. එයාල රංගන අත්දැකීම් තියෙන අය. එයාල මට ලොකු සපෝට් එකක් දුන්නා. චරිතය ගොඩනඟා ගන්න හැටි කියලා දුන්නා. මට බැරි දේවල්, වචන උච්චාරණය කරන විදිහ වගේම ඒකට රිඇක්ෂන් කරන විදිහත් අනුෂ්කගෙන් ඉගෙන ගත්තා. රන්දිකත් මේක මෙහෙම කරන්න නංගි කිය කියා හැමදේම කියලා දුන්නා. හැමෝම හරි හොඳයි. මං හරිම ආසාවෙන් වැඩ කළා. විශාකාගේ චරිතය දිගටම යන චරිතයක්.


රෙබෙකා කලා ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?


හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වීමත් එක්ක තමයි මට රංගනයට අවස්ථාව ලැබුණේ. ගිය අවුරුද්දෙ ඇප්ලයි කළාට මට ආවෙ නෑ. මේ අවුරුද්දෙ හිරු අවුරුදු කුමරිය අවසන් දොළොස් දෙනා අතරට එන්න ලැබුණා. ඊට පස්සෙයි මේ ටෙලි නිර්මාණයට ආරාධනා ලැබුණේ. ඊට අමතරව මං ඩාන්සින් කරනවා. අවුරුදු තුන හතරක ඉඳන් බාස්කර් ප්‍රකාශ් සර්ගෙන් නර්තනය හදාරනවා. මුලින් සර්ගෙ වැඩවලට සහභාගි වුණා. ඒත් දැන් රංගන කටයුතුත් එක්ක ටිකක් අමාරුයි. මං නිරූපණ කටයුතුවලත් නියැළෙනවා.


හිරු අවුරුදු කුමරිය තරගයට ඔබ අයදුම්කරන්නේ අම්මගෙ ඉල්ලීමට නේද?


ඒ දවස්වල අපේ අම්ම තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු කුමරිය වෙලා තියෙන්නේ. අම්මට ලොකු ඕනකමක් තිබුණා මාවත් අවුරුදු කුමරියක් කරන්න. ඒ නිසා තමයි මං හිරු අවුරුදු කුමරිය තරගයට ඉල්ලුම් කළේ. 2023 හිරු අවුරුදු කුමරිය අවසන් 12 දෙනා අතරට ආවා. ඒක මගේ අම්මට ලොකු සතුටක් වුණා. ඒ ලැබුණු අවස්ථාව තමයි අද මේ දක්වා ඇවිත් තියෙන්නේ.


විශාකාට ලැබෙන ප්‍රතිචාරත් එක්ක අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණෙ නැද්ද?


තවත් නිර්මාණයකට ආරාධනා ලැබුණා. මේ දවස්වල ඒකෙ ස්ක්‍රිප්ට් එක කියවන ගමන් ඉන්නෙ.


රෙබෙකා තාම ක්ෂේත්‍රයට ආධුනිකයි. ඉදිරියෙදි චරිත තෝරා බේරාගැනීමක් කරනවද?


ඔව්, මං මිනිස්සු අතරට යන්න ඕන විදිහක් තියෙනවා. ඒ ගැන නම් මං ගොඩක් හිතනවා. චරිත තෝරා බේරා ගෙන මට කරන්න පුළුවන්ද කියල බලල තමයි කැමැති වෙන්නෙ. ඒ වගේම ඇඳුම් ගැනත් සැලකිලිමත් වෙනවා.


රෙබෙකා කියන්නෙ තාමත් අවුරුදු 22ක යෞවනියක්. යොවුන් ආදරය ගැනත් හැඟීමක් ඇති නේද?


ආදරය කියන්නෙ සුන්දර හැඟීමක්. ඒත් අපි පොඩ්ඩක් හිතලා බලලා තීරණයක් ගන්න ඕන කාලයක් මේක. තෝරගන්න කෙනා එක්ක තමයි අපිට ජීවිතේ දිගටම යන්න වෙන්නෙ. ඒ නිසා මං හිතනවා ඒ ගැන හිතන්න මට තව කල් තියෙනවා කියලා. කොහොමහරි මං තෝරගන්න කෙනා නම් මේ ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක් වේවි.






Previous Post Next Post