බොරු අනේ මම එහෙම දෙයක් කොහේවත් කියලත් නැහැ-අනූෂා දමයන්ති




අනූෂා දමයන්ති කියන්නේ රංගන ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රිය නිළියක්. පසුගිය වසරේ යුග දිවියට එළඹුණු අනූෂා මේ වෙද්දී මවු පදවියට සුදානමින් බව සමාජ මාධ්‍යයවල පැතිර යනවා. ඒ නිසාම ඒ ගැන වගේම ඇයගේ කලා ලොවේ ඉදිරි නිර්මාණ සහ පෞද්ගලික ජීවිතේ ගැන කළ කතාබහයි මේ…


මේ දවස්වල වැඩකටයුතු මොනවාද?


ලොකු කාර්යබහුල කාලයක් නෙවෙයි. අලුත් ෆිල්ම් එකක් කරන්න තියෙනවා. හිරු tv හි step up ඩාන්සින් තරගයේ විනිසුරු මඬුල්ලෙ කටයුතු කරනවා. කරපු ටෙලිනාට්‍ය හතරක් විතර එන්න තියෙනවා. ඊට අමතරව රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වෙන වැඩ තමා.



ඔය අතරේ සමාජ මාධ්‍යයක දැක්කා, අනූෂා දමයන්ති මවු පදවියට සූදානමින් කියලා…?


බොරු අනේ. මම එහෙම දෙයක් කොහේවත් කියලත් නැහැ. ඕනේම විවාහක කාන්තාවක්ට ලබන්න පුළුවන් උතුම් පදවියක් නිසා අනාගත බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි තවම නම් එහෙම දෙයක් නැහැ. අපි ජනප්‍රිය නිසා එක එක ගොසිප් හදනවනේ. ඕකත් එහෙම ගොසිප් එකක්.


විවාහයෙන් පස්සෙ රංගනයට සීමා පැනවුණාද?


නැහැ. අමිල කියන්නෙ කවදාවත් මට සීමාවන් පනවපු කෙනෙක් නෙවෙයි. එයා එදා මෙදාතුර හැමදාම මට ලොකු සහයෝගයක් දුන්නා. අපි දෙන්න එකතුවෙලා අලුතින් කලා කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා.


මොනවගේ දෙයක්ද, පුංචි ඉගියක් දෙමුද?


අමිලට හොඳට සිංදු කියන්න පුළුවන්. එයාගෙ සිඟින් පැත්තයි මගේ නර්තන හැකියාවයි එකතු කරලා අලුත්ම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.


ඔබ පුංචි තිරයට ආවෙ අඩුවෙන්, ඒ ගැන කිවුවොත්


මම සිනමා නිළියක් නිසා පුංචි තිරයේ නිර්මාණ භාර ගත්තේ හරි අඩුවෙන්. මුලදී නම් ටෙලිනාට්‍යවල හිටියේ නැති තරම්. දැන් තියෙන තත්ත්වය එක්ක එහෙම අපිට බෙදාගන්න බැහැ. දැන් මම ටෙලිනාට්‍යවල රඟපානවා. රොෂාන් වීරසිංහගේ “දූවිලි” ගිහාන් රෝහණගේ “අසිනි වර්ෂා” නිහාල් අයියාගේ “සිව් රඟ සේනා” සමන් අයියගේ “සත්තර සූත්තර” කරලා තියෙනවා. ඒ නිර්මාණ ඉදිරියට එන්න තියෙනවා.


තනිකඩ ජීවිතේට වඩා විවාහ ජීවිතේ බැරෑරුම් ද?


ඇත්තටම එහෙම බැරෑරුම්කමක් මට දැනිලා නැහැ. අමිල හැම පැත්තෙන්ම මට ලෙහෙසි පහසු කරලා තියෙනවා. තමන්ට තමන්ගේම කියලා හැඟීමක් එන කෙනෙක් එක්ක ගත කරන ජීවිතේ සුන්දරයි. තනියම ගෙවුණු ජීවිතේට වඩා හැමදේම බෙදා හදාගෙන බුද්ධිමත්ව කටයුතු කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන විදිහට වඩා වෙනස් විදිහට හිතලා එයා උත්තර දෙනවා. මගේ හොඳම විවේකයන් වෙලා තියෙන්නේ අමිල සහ මගේ අම්මා. හොඳ ආරක්ෂාවක් සහ හොඳ සහයෝගයක් ලැබෙන නිසා මට මගේ කටයුතු කර ගන්න පහසු වෙලා තියෙනවා. මම අවුරුදු 14 ක් තිස්සෙ හොඳින් දන්න කෙනෙක් නිසා අලුතින් වෙනස් වෙන්න දෙයක් මට තිබුණේ නැහැ. හැමදේම තියෙන්නේ අවබෝධය මත. අපි දෙන්න හොඳ අවබෝධයකින් සතුටින් විනෝදයෙන් ජීවත් වෙනවා. විවාහ වෙලා අවුරුද්දක් වෙන්න එනවා. අද බැන්ද වගේ සතුටින් ඉන්නවා.


අවුරුදු 14ක් කොහොමද ඔය ආදර කතාව හංගන් හිටියේ


මම නිළියක් නිසා මම හිතුවේ මගේ විවාහය පුදුම දෙයක් වෙන එක හොඳයි කියලා. හැබැයි අපේ ආදර කතාව අපේ පවුල් දෙක අතරෙ රහසක් වුණේ නැහැ. මට තහංචියක් තිබුණා විවාහය සිදුවෙනකම් තනියම එහේ මෙහේ යන්න බෑ කියලා අම්මා තාත්තා සහ මගෙ අයියලගෙන්. එයා ඒ දේවල් ගෞරවයෙන් පිළිගත්තා. ඇත්තටම විවාහය මම තුන්පාරක් කල් දැම්මා. මගේ රියැලිටි ෂෝ නිසා, කොවිඩ් නිසා ඒ හැමවෙලාවෙම අමිල හරිම ඉවසීමෙන් මගේ දිහා බලාගෙන හිටියා. අවුරුදු 14ක් ගියා කියලා අපි දෙන්නට දැනුනෙත් නැහැ.


වෘත්තීමය රංගන ශිල්පිනියක් වීම ගැන මොකද හිතෙන්නෙ?


මම සංසාරේ ආයේ කොහේ උප්පත්තිය ලැබුවත් මම ප්‍රාර්ථනා කරන්නෙ කලාකාරිනියක් වෙන්න. මම මගේ වෘත්තියට හැමදාම ආදරේ කළා සහ ගෞරව කළා වගේම ලොකු කැපකිරීමක් කළා. මම අදහන්නෙ සරස්වතී මෑණියන්. මම බුද්ධාගම නිසා වපුරන දේ නෙළනවා වගේ මගේ කැපකිරීම්වලට වටිනාකමක් මා කරා පෙරළා ලැබුණා. ඒක මට ලොකු ආභරණයක්. මම කවදාවත් ඒක කරදරයක් කියලා හිතුවේ නැහැ. මගේ අවසන් හුස්ම පොද දක්වා කලාකාරිනියක් හැටියට ජීවත් වෙන්නයි කැමැත්ත.


ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නෙ?


මම හැමදාම විශ්වාස කරපු එකම දේ ජනතා සම්මානය තමා ජීවිතේ ජීවත් කරන සම්මානය කියලා. ප්‍රේක්ෂකයන් අපිව හඳුනා ගැනීම අපි ළඟට ඇවිත් කතා කිරීම. ඔවුන්ගේ ආදරය සෙනෙහස හරි විවිධයි. ඒ සම්මානය හැමදාම මා වටා තිබුණා. අදත් හෙටත් හිතන්නෙ ප්‍රේක්ෂකයා තමා මට ඉන්න වටිනාම වස්තුව. ඔවුන් ආදරේ කරනතාක් තමා ක්ෂේත්‍රයේ රඳෙන්න පුළුවන්. ප්‍රේක්ෂකයා ප්‍රතික්ෂේප කරනවා කියන්නෙ කලාකරුවාගේ හුස්ම පොද නැතුව යනවා හා සමානයි. මට හැමදාම ගෞරවයෙන් ආදරේ කරන පිරිසක් ඉන්න නිසා මම හරි වාසනාවන්තයි. ඒ නිසා ඒ හදවත් තුළ ජීවත් වෙලා ඉන්න පුළුවන් වෙලා තියෙනවා. මම ප්‍රේක්ෂකයන්ට ආදරේ කරන්නෙ හදවතින්මයි. මට ලැබුණු ලොකුම සම්මානය මට ආදරේ කරන රසික රසිකාවියන්.



අනුෂා රණසිංහ





Previous Post Next Post