වෙනසක් සහ අලුත් දෙයක් කරන්න පුළුවන් චරිත තමයි මම භාරගන්නෙ -ගෙවින් අභිෂේක්




උතුරා යන තාරුණ්‍යයෙන් හෙබි මෙම කඩවසම් තරුණයා කෙරෙන් පිළිබිඹු වන්නේ ශ්‍රී ලාංකික කලාවේ අනාගතයයි. රංගනය හරහා පමණක් නොව ගායනය මෙන්ම අධ්‍යක්ෂණය හරහාද රසිකයන්ට සමීප වන මොහුගේ මූල පද්ධතිය මෙරට ප්‍රවීණ හා දක්ෂ රංගන ශිල්පියකු හා සම්බන්ධ වී තිබුණද, ඔහු පිළිබඳව හැඳින්වීමේදී ඔහු වඩාත් ප්‍රිය කරන්නේ ඔහු සතුව ඇති දක්ෂතා පිළිබඳව සඳහන් කරනු දැකීමටයි. අනාගතයේ මෙරට දක්ෂ මෙන්ම ජනප්‍රියම නළුවා වීමේ විභවයක් ඇති ඔහු නමින් ගෙවින් අභිෂේක්ය. 


මේ දවස්වල රසික ප්‍රතිචාර ඉහළයි නේද?


මම දායක වුණු රෝස ටෙලි නාට්‍යයෙන් පස්සේ කොළඹින් වගේම කොළඹින් එළියෙත්  ප්‍රේක්ෂකයන් බහුතරයක් මගේ රසිකයෝ බවට පත්වෙලා තිබෙනවා. ඒත් එක්කම මේක තමයි ජීවිතේ නාට්‍යය පටන් ගත්තත් සමඟම ඒ පිරිසට අමතරව තවත් ප්‍රේක්ෂකයෝ පිරිසක් මගේ රසිකයෝ බවට පත් වෙලා තිබෙන බව පේනවා.  ඒ ගැන හරිම සතුටුයි.


විදෙස්ගත වෙලා ඉඳලා ලංකාවට ආවේ කලාව නිසාමද?


ඇත්තටම උසස් පෙළ විභාගයෙන් අනතුරුව මට සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබෙනවා. නමුත් මට වුවමනාවක් තිබුණා රටින් පිටට ගිහින් කලාව ගැන හදාරන්න. මම විදෙස්ගත වෙන්නේ ඒ අරමුණින්. මොකද මගේ අදහසක් තිබුණේ නෑ කලාව අතහරින්න හෝ විදේශයක පදිංචි වෙන්න. ඔය විධියට විදෙස්ගත වෙලා ඉද්දි තමයි සුදත් දේවප්‍රිය මහත්මයා මට සුළඟ මහමෙරක ටෙලි නාට්‍යයට  ආරාධනා කරන්නේ. ඔහු වගේ ප්‍රවීණයෙක්ගේ වැඩකට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථාව නිසාම මම ටික කාලයකට ලංකාවට එනවා. නමුත් කොවිඩ් ගැටලු එක්ක ආපහු යන්න ලැබෙන්නේ නැහැ.


ඔබේ පියා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. ඔබේ ආගමනය සිද්ධ වෙන්නේ ඔහු හරහාද?


ඇත්තටම නැහැ. මගේ පියා වුණත් කැමැති නැහැ ඔහුගේ උදව්වෙන් මම තැනක් හදාගන්නවට. ඔහුට අවශ්‍ය මම මගේ දක්ෂතාවලින් ඉදිරියට එනවා බලන්න. නිෂ්පාදකවරයෙක් විධියට ඔහුට අවශ්‍ය නම් පුළුවන් මාව දාලා නිර්මාණයක් කරන්න, නමුත් ඔහු එහෙම කරන්නේ නැහැ.


ඔබේ රංගන ජීවිතයේ ආරම්භය කොතැනද?


රංගනය කියන්නේ එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කාලයත් එක්ක අපි ලබන අත්දැකීම් එක්ක අපේ හැකියාවන් දියුණු වෙනවා. රංගනය කියන දේ තිබෙන බරපතළකම මට වැටහෙන්නේ පාසල් වේදිකාවෙන්. මගේ පාසල පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය. එතැනින් තමයි මගේ ආරම්භය සිද්ධ වෙන්නේ. මගේ නාට්‍ය ගුරුතුමා ඉන්ද්‍රප්‍රිය උදිතකුමාර. පාසල වෙනුවෙන් මම නාට්‍ය තරගවලට ඉදිරිපත් වෙනවා. ඔහොම ඉද්දි සාමාන්‍ය පෙළ කාලෙදී මට අවස්ථාවක් ලැබෙනවා බුද්ධික දමයන්ත මහත්මයාගේ “අපි තමයි හොඳම” කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ මම ප්ලේ හවුස් ආයතන එක්ක එකතු වෙලා විකෘති වේදිකා නාට්‍යයේ වැඩ කරනවා. ඊට අමතරව අනෝජා වීරසිංහ මහත්මියගේ අභින සමඟින් සම්බන්ධ වුණා. ඔය ආකාරයේ ගොඩාක් අත්දැකීම් හරහා තමයි මගේ ආරම්භය සිද්ධ වෙන්නේ.


ගෙවින් අභිෂේක් කියන නළුවාගේ හැකියාවන් හොඳින්ම පෙන්විය හැක්කේ වේදිකාව තුළින්ද? ටෙලි නාට්‍යය තුළින්ද?


වේදිකාව, ටෙලි නාට්‍යය හා සිනමාව කියන්නේ කලා මාධ්‍යයන් තුනක්. අපි රංගනයේ යෙදුණට ඒ ඒ මාධ්‍යයන්වලදී අපේ රංගනය හැසිරවිය යුතු ආකාරය එකිනෙකට වෙනස්. වේදිකාව කියන්නේ සජීවී ප්‍රකාශනයක්. එතැන සියල්ල සිදු වෙන්නේ සජීවීව, රංගනය, හඬ පාලනය, ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ හැමදේම. ටෙලිවිෂන් හෝ චිත්‍රපට කියන්නේ තවත් දෙයක්. මගේ හීනය තිබෙන්නේ චිත්‍රපට සඳහා දායකත්වයක් ලබාදෙන එක. නමුත් ලංකාව ඇතුළේ මේ වෙද්දි ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්න පුළුවන් පහසුම මාධ්‍ය ටෙලිවිෂනය. එහෙම බලද්දි ටෙලිවිෂන් එක සහ වේදිකාව කියන්නේ  රංගන ශිල්පියෙක්ට හොඳ ප්‍රැක්ටිස් එකක්. නමුත් මගේ සිහිනය සිනමාව.


මේ වෙද්දි  සිනමාවට ආරාධනා ලැබිලා තිබෙනවාද?


මේ වෙද්දි එක සිනමාපටයක නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා රටේ ආර්ථික ගැටලු නිසා පොඩ්ඩක් නවත්තලා තිබෙන්නේ, මහේල හෙට්ටිආරච්චි කියලා තරුණ අධ්‍යක්ෂවරයෙක් කරන ලස්සන වැඩක් ඒක. ඒක තමයි මට ආපු පළමුවැනි ආරාධනය. ඊට අමතරව මගේ මිතුරෙක් අධ්‍යක්ෂණය කරන්න සැලසුම් කරලා තිබෙන ක්‍රියාදාම චිත්‍රපටයක් වෙනුවෙනුත් පුහුණුවීම් කරනවා. ඒ වගේම තාත්තගෙත් අදහසක් තිබෙනවා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. ඒකෙත් අවස්ථාවක් ලැබෙයි කියන බලාපොරොත්තුව තිබෙනවා.


වෘත්තීමය රංගන ශිල්පීන් විධියට ලංකාව ඇතුළේ උපයන ප්‍රමාණය ඔවුන්ගේ නඩත්තුවට ප්‍රමාණවත්ද?


ඇත්තටම නැහැ. අපේ රට ඇතුලේ ඇක්ටර්ස් බෑන්ක්ස් නැහැ. ඒ කියන්නේ රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් තිබෙන බැංකු සේවා. ලෝකයේ බොහෝමයක් රටවල රංගන ශිල්පීන්ට වැටුපක් වගේම විශ්‍රාම අරමුදලක් පවා තිබෙනවා. නමුත් ලංකාවේ  රංගන ශිල්පීන්ට ඒ වරප්‍රසාද නැහැ. රංගන ශිල්පියෙක් කියන්නේ තමන්ගේ හදවත, මොළය සහ ශරීරය  තුනම වෙහෙසන කෙනෙක්. ඒ නිසාම තමයි ලෝකයේ හැම රටකම වගේ ඔවුන්ට ලොකු මිලක් නියම වෙන්නේ. නමුත් ලංකාව ඇතුළේ එහෙම නෑ. ඒක රංගන ක්‍ෂේත්‍රයට විතරක් නෙවෙයි අද වෙද්දි හැම ක්‍ෂේත්‍රයටම පොදුයි. ලංකාවේ ඇතුළේ ජීවත් වෙද්දි අපිට ලෝකයේ ආකාරය, ඔවුන්ගේ පහසුකම්, ඔවුන්ගේ වරප්‍රසාද මොනවද කියන එක අමතක කරලා ජීවත් වෙන්න වෙනවා. ගැටලු නැත්තේ නැහැ. නමුත් අවශ්‍යතා සීමිත වන ප්‍රමාණයට ජීවත් වීම පහසු වෙනවා.


රංගන ජීවිතය තුළ මුහුණ දුන් අභියෝග මොනවාද?


මට මම සම්බන්ධ වන හැම නිර්මාණයක්ම අභියෝගයක්. වෙනසක් කරන්න පුළුවන් අලුත් යමක් කරන්න පුළුවන් චරිත තමයි මම භාර ගන්නේ. මම සම්බන්ධ වෙච්ච හැම නිර්මාණයකදීම මට මේ ක්‍ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඔවුන් එක්ක ගෙවපු හැම මොහොතක්ම මට අභියෝගයක්.


ඔබ අධ්‍යක්ෂණයටත් යොමු වුණා නේද?


ඔව්. ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඔය පොඩි පොඩි දේවල් කළාට. පළමුවැනි වතාවට තමයි මේ වගේ වැඩකට සම්බන්ධ වුණේ, මගේ මිත්‍රයෙක් තමයි ධ්‍යාන් හේවගේ. ඔහු ලංකාවට ඇවිත් ආපහු යන්න කලින් ඉක්මනින් ගීතයක් කරලා යන්න වුවමනාවක් තිබුණා. එතැනදී තමයි මම හිතවන්ති ගීතයේ රූප රචනය අධ්‍යක්ෂණයට යොමු වෙන්නේ. ඒකේ තිර පිටපතත් මගේමයි. මේ වෙද්දි ගීතයට අති විශාල රසික ප්‍රතිචාර ලැබෙනවා. ලක්ෂ හයකට ආසන්න නැරඹුම් වාර සංඛ්‍යාවක් එක්ක ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ මුලටම ආවා. ඉතිං ගොඩාක් සතුටුයි.


ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?


ඉදිරියේදී නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙන්න දින සැලසුම් කරගෙන ඉන්නවා. ඒ වගේම මගේම ගීතයක් ඉක්මනට රසිකයන්ට ලබා දෙන්නත් මේ දවස්වල කටයුතු සූදානම් කරගෙන යනවා.


අක්ෂි මාපා වීරසිංහ





Previous Post Next Post