ඒ ආදරේ අදටත් එහෙමමයි ඒ විදිහේ ආදරයක් ලැබීම ලොකු සතුටක්-කාංචනා මෙන්ඩිස්




කාංචනා මෙන්ඩිස් කියන්නෙ හැමෝම ආදරය කරන දක්ෂ, සුරූපී රංගන ශිල්පිනියකි. ධර්මසේන පතිරාජගේ සුබ අනාගතයක් ටෙලි නිර්මාණයෙන් රංගනයට පිවිසෙන විටත් ඇය පාසල් වියේ පසුවන ළාබාල යුවතියකි. දක්ෂ, ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට දායක වීමේ වාසනාව ලද ඇය තම කුලුඳුල් සිනමාපටයෙන්ම හොඳම සහාය නිළියට හිමි සම්මාන ලැබුවාය. ටෙලි නිර්මාණ මෙන්ම සිනමා නිර්මාණ රැසකට දායකත්වය ලබා දුන් කාංචනා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටිද්දී හදිසියේම රංගනයෙන් ඈත්විම ප්‍රේක්ෂකයා තුළ කැලඹීමක් ඇති වූවාට සැකයක් නැත. ඇය එතරම්ම ප්‍රේක්ෂක සිත් තුළ ලැඟුම් ගෙන සිටි රංගන ශිල්පිනියකි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් රෝහණගේ ගිරිකුල ටෙලි නිර්මාණයට දායකවීමත් සමඟින් රංගනයෙන් ඈත් වූ ඇය එය විකාශය වෙද්දීත් ලංකාවෙන් බොහෝ ඈතට ගොස් සිටියාය. ඒ මීට දස වසරකට පෙරයි. පසුගියදා හදිසියේම ඇය ලංකාවට ආ බව දැනගත් මොහොතේ ඇයගේ නවක තතු විමසීමට සිත්වූයේ අදටත් ඇයට ආදරේ කරන ළෙන්ගතු සිත් බොහෝ සිටින නිසාය.


කාංචනා හදිසියෙම ලංකාවට ආව කියලා ආරංචි වුණා?


ඔව්. ඒත් මේක ප්ලෑන් කරල ආපු ගමනක් නම් නෙවෙයි. මේ වෙලාවෙ එන්න හිතන් හිටියෙත් නෑ. අම්ම ටිකක් අසනීපෙන් හිටියෙ. අම්ම බලන්න තමයි විශේෂයෙන්ම ආවෙ. අම්මයි, මායි අතරෙ තියෙන්නෙ ලොකු බැඳීමක්. ඒක ක්ෂේත්‍රයේ අයත් දන්නවා. ඉස්සරත් ඕනම කෙනෙක් මාව දැක්ක ගමන් අහන්නෙ අම්ම කෝ කියලා.


කොතරම් කාලෙකට පස්සෙද මේ ලංකාවට ආවෙ?


අවුරුදු 5කට පස්සෙ එන්න ලැබුණෙ.


කොහොමද කාංචනා එංගලන්ත ජීවිතේ?


මෙහේට වඩා නම් ගොඩක් වෙනස්. හැමෝම කාර්‍යබහුලයි. මට බබාල තුන් දෙනෙක් ඉන්නවා. ලොකු පුතාට දැන් අවුරුදු 14යි. දුවට 10යි. චූටි පුතාට තාම අවුරුදු 6යි. එයාලගෙ වැඩයි, ගෙදර වැඩයි එක්ක කාලය ගෙවෙනවා තේරෙන්නෙ නෑ. මෙහේ වගේ උදවුවට කවුරුත් නෑනෙ එහේ. අපේ වැඩ අපිම කරගන්න ඕන. එකම හොඳ එහේ වැඩ හරි පහසුයි.


කාංචනා රංගනයෙන් ඈත් වෙලත් දැන් ගොඩක් කල් නේද?


දැනට අවුරුදු 10ක් වෙනවා. අන්තිමට මං සම්බන්ධ වුණේ ගිරිකුල ටෙලි නාට්‍යයට. ඒ 2013. ඒකට හොඳම නිළියට නිර්දේශ වෙලා සම්මානයත් ලැබුණා. ඒක විකාශය වෙද්දි නම් මං ලංකාවෙ හිටියෙ නෑ. ගිය අලුතම නිසා මට එන්න බැරි වුණා. අක්ක තමයි ගිහින් සම්මානෙ ගත්තෙ.


ඔබ ක්ෂේත්‍රයට එන්නෙ පාසල් වියේදිමයි ?


ඔව්. ධර්මසේන පතිරාජ මහත්මයාගේ සුබ අනාගතයක් ටෙලි නිර්මාණය හරහා තමයි මං කලා ක්ෂේත්‍රයට පිවිසුණේ. එතකොට මට අවුරුදු 12යි. ඒ කාලෙ ජනප්‍රිය චරිතවල නංගිගෙ චරිතයට තමයි මං ගොඩක් හිටියෙ. මට අවුරුදු 18න් පස්සෙ, පාසල් ගිහින් ඉවර වුණාට පස්සෙ තමයි සම්පූර්ණයෙන්ම රංගනයට යොමු වුණේ. පොඩි කාලෙම රංගනයට සම්බන්ධ වුණ නිසා රංගනයෙන් ඈත් වෙද්දි මං සෑහෙන කාලයක් හොඳ අධ්‍යක්ෂවරු යටතේ හොඳ නිර්මාණවලට දායක වෙලා ජනප්‍රියම, සහාය වගේම හොඳම නිළියට හිමි සම්මානත් ලබාගෙන තිබුණා. ඒ නිසා ඒ කාලය ගැන මං තෘප්තිමත්.


ඔබ රංගනයෙන් ඈත්වෙන්නෙ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම ඉන්න කාලෙක. දුකක්, පසුතැවිල්ලක් දැනිල නැද්ද?


වයසට යනකල්ම රඟපාන්න ඕන කියන තැන මං කොහොමත් නැහැ. ජීවිතේ කිසිදෙයක් ගැන මං ඕනවට වඩා ඇලී ගැලීත් නැහැ. ඉස්සර ඉඳන්ම ජීවිතේ එන එන විදිහට හැඩගස්සගත්ත කෙනෙක් මං. රංගනයෙදි විතරක් නෙවෙයි හැම දේකදිම. 2014 මං රංගනයෙන් ඈත් වෙද්දි පුංචි තිරය වගේම සිනමාවෙත් හොඳ නිර්මාණ ගණනාවකටම දායක වෙලා සම්මාන පවා ලබාගෙන ජනප්‍රියත්වයේ ඉහළම තලයේ හිටපු කාලයක්. ඒ වෙද්දි මට පුතයි, දුවයි දෙන්න ලැබිලා. එයාල ගැන හිතලා එයාලගෙ අනාගතේ වෙනුවෙන් තමයි මං ඒ තීරණය ගත්තෙ. ඒ වෙද්දි පුතාට අවුරුදු 4යි. දුවට අවුරුද්දයි. 2017 වෙද්දි මට චූටි පුතාත් ලැබුණා. බබාලගෙ වැඩයි එයාලගෙ අධ්‍යාපන කටයුතුත් එක්ක ගොඩක් කාර්‍යබහුල වුණා. එයාලව ක්ලාස් ගෙනියන්න ඕන. නිදහස් වෙලාවට එයාලත් එක්ක සෙල්ලම් කරන්න ඕන. රොෂානුත් ඔෆිස් යනවා. එහෙම තත්ත්වෙකදි මට එයාලව දාල එන්නත් බැහැනෙ. හරි කාලෙ වැඩ කරලා, සම්මාන ලබලා එහෙම අයින් වුණ එක ගැන මං අදටත් සතුටු වෙනවා. දැනට අවුරුදු 10ක් වෙලත් මිනිස්සුන්ට තාමත් මාව මතකයි. අඳුරගෙන කතා කරනවා. අගය කරනවා. හරි සතුටුයි එයාලට මාව දැක්කම. ඒ ආදරේ අදටත් එහෙමමයි. ඒ විදිහේ ආදරයක් ලැබීම ලොකු සතුටක්.


ලංකාවෙ නිර්මාණ තවමත් බලනවද?


ඔව්, හොඳ වැඩසටහනක්, ටෙලි නාට්‍යක් ගියොත් අනිවාර්යයෙන්ම බලනවා. නොබල ඉන්නෙ නෑ.


අද කාලෙ නිර්මාණ ගැන මොකද හිතෙන්නෙ?


මෙහෙමයි, ඉස්සර අපිට ස්ක්‍රිප්ට් එකක් ලැබුණම මාස ගාණක් අපි ඒක ස්ටඩී කරනවා. ඊට පස්සෙ මේන් ආර්ටිස්ලයි, ඩිරෙක්ටර් එක්කයි සාකච්ඡා කරනවා. ඊට පස්සෙ ස්ක්‍රීන් ටෙස්ට් එකක්, මේක් අප් ටෙස්ට් එකක් කරල බලල තමයි නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ. දවසට උපරිමේ සීන් තුනක් වගේ තමයි කෙරෙන්නේ. ඒත් අද තත්ත්වෙ වෙනස්. සමහර අය දවසට සීන් විසිපහ තිහ කරනව කිවුවම මට පුදුමත් හිතෙනවා. මට නම් හිතාගන්න බෑ කොහොම කරනවද කියලා. එහෙම බලද්දි ඒ ළමයින්ට ඒකට අනුගතවෙනව ඇරෙන්න එයාලගෙ දෙයක් වැඩිදියුණු කරගන්න වෙලාවක් නෑ. එතකොට චරිතයක් බිල්ඩ් අප් කරගන්නෙ කොහොමද? එහෙම වුණාම එක් පැත්තකින් එයාලට කැපෑසිටි නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒත් තවත් පැත්තකින් එයාලට සෝෂල් මීඩියාවලින් පබ්ලිසිටි ගන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම් ඒකෙ වැරැද්දක් නෑ. ඒත් තමන්ගෙ රංගනය වැඩි දියුණු කරගන්නත් උත්සාහ කරනව නම් තවත් හොඳයි. ඒක ගොඩක් වටිනවා. කැපවීම අවශ්‍යමයි.


මට මතකයි මං ලක්ස් නිළියත් වෙලා පීක් එකේම හිටපු කාලෙ තමයි සුමිත්‍රා පීරිස් මහත්මිය සක්මන් මළුව චිත්‍රපටියට මට කතා කළේ. එතුමිය මගෙන් ඇහුවා ඔයාගෙ ගාණ කීයද කියලා. මං කිවුවෙ නෑ. ඒ වෙලාවෙ මට හිතුණෙ මේ වගේ කෙනෙක්ගෙ ෆිල්ම් එකක වැඩ කරන එකම මට ලොකු දෙයක්නෙ කියලා. මුදල්ම නෙවෙයි අපිට තිබුණෙ හොඳ නිර්මාණ, හොඳ චරිත පිපාසයක්. එතුමිය නැතිවෙන්න කලින් එක්තරා වැඩසටහනකදි මාව මතක් කරල තිබුණා. මට හරි දුකයි එතුමිය වගේම ලෙස්ටර් සර් නැතිවෙද්දි මං ලංකාවෙ හිටියෙ නෑ. ඒ වගේ හොඳ නිර්මාණකරුවන්ගේ හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න තමයි අපි උත්සාහ කළේ. මගේ පුරුද්දක් තිබුණා ප්‍රවීණ අය ඇක්ට් කරද්දි බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉඳල තමයි ඉගෙන ගත්තේ. ඒ කාලෙ අද වගේ ඇක්ටින් ස්කූල් තිබුණෙත් නෑ. වර්තමානයේ ඒ පහසුකම් තියෙනවා.


දැන් ඔබට නැවත රංගනයට ආරාධනාවක් ලැබුණොත්?


දැන් නම් මගේ බබාල ටිකක් ලොකුයි. ඒ නිසා අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන බලනවා. ඒකත් ඉතින් බබාලගෙ සමර් හොලිඩේ එකට තමයි සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නෙ. ජූලි ඉඳන් සැප්තැම්බර් මුල සතිය වෙනකම් දින 40ක් විතර තියෙනවා. ඒ කාලය ඇතුළත හොඳ නිර්මාණයක් ලැබුණොත් දායක වෙන්න පුළුවන්.


හුදෙකලා වෙන වෙලාවලදි හිතිලම නැද්ද අපරාදෙ මං රංගනයෙන් ඈත් වුණේ කියල?


එහෙම නම් හිතිල නෑ. කොහොමත් මං හැමදේම මධ්‍යස්ථව හිතන නිසා එහෙම කලකිරීමක් ආවෙත් නෑ. සමහර වෙලාවට මට මෙහෙමත් හිතුණා කොරෝනා බලපෑම නිසා රට යන ආර්ථික තත්ත්වෙත් එක්ක නළු නිළියන්ටත් ගොඩක් ප්‍රශ්න ඇති වුණා. ඒවත් එක්ක හිතද්දි මං ගත්ත තීරණේ ගොඩක් හොඳයි කියල හිතුණා. මගේ යාළුවොත් ගොඩක් කිවුවා කංචි ඔයා ගිය එක ලොකු දෙයක් කියලා.


ඔහේදිත් ලංකාවෙ අය හමුවෙනව ඇති නේද?


ඔව්. කිහිප දෙනෙක්ම ඉන්නවා. ළඟකදි ආව දුමිඳු දොඩන්තැන්න වගේම කෝකිලත් දැන් මෙහේ සෙට්ල් වෙලා. ලංකාවෙ අය එකතුවෙලා එක එක ඉවෙන්ට් ඕගර්නයිස් කරනවා. ඒවලටත් සහභාගි වෙනවා.


බබාල ලංකාවට එන්න අහන්නෙ නැද්ද ?


එයාල හරිම කැමතියි ලංකාවට එන්න. ලංකාවෙ අහල පහල අය එක්ක කතා කරන්න පුළුවන්. සෙල්ලම් කරන්න පුළුවන්. ගමන් බිමන් යන්න පුළුවන්. එහේ හැමෝම හරි බිසීනෙ. සාමාන්‍ය විදිහට එළියට බහින්නත් බෑ. සමර් එකේ විතරයි සෙල්ලම් කරන්න එළියට බහින්නවත් පුළුවන්. මෙහේ එහෙම නෑනෙ. ඕනම වෙලාවක සෙල්ලම් කරන්න ඇවිදින්න යන්න පුළුවන්නෙ. 2018 අපි ඔක්කොම ලංකාවට ආවා. ඒ වෙලාවෙ එයාල යන්න බෑ කියල ඇඬුවා.


එක තැනකදි ඔබ කියනවා මං රංගනයෙන් සමුගන්නෙ නෑ පවුලට ප්‍රමුඛත්වය දෙනව විතරයි කියලා. දැන් වසර දහයකුත් ගත වුණා. ඒ කියන්නෙ දශකයක්. ඒත් ඔබ නැවතත් රංගනයට ආවෙ නෑ තාමත්.?


බබාලට එයාලගෙ දේවල් තනියෙන් කරගන්න පුළුවන් දවස එනකල් අපි එයාල ගැන බලන්න ඕන. දැන් එයාලට ටිකක් තේරෙනවා. එයාල ලොකු වෙද්දි, එයාලට එයාලගෙ වැඩ තනියෙන් කරගන්න පුළුවන් වෙද්දි මට බයක් නැතුව දාල එන්න පුළුවන්. ඒ නිසා ඉදිරියෙදි හොඳ නිර්මාණයක් ලැබුණොත් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


නාමලී ගමගේ






Previous Post Next Post