මට දෙන්න හදපු සම්මාන පවා එපා කිව්වේ නිදහසේ ඉන්න කැමැති නිසයි - ආනන්ද අතුකෝරල



ඔහු වේදිකාව තුළින් රංගනය හදාරා තම රංගන දිවිය ඔපමට්ටම් කරගත් රංගන ශිල්පියෙක්. ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත් ඔහු බොහෝ සිනමාපට, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය ප්‍රමාණයකට තම රංගනයෙන් දායක වී ඇත. ඔහුගේ දිවිය තුළ රංගනය කෙරෙහි ඔහු කළ කැප කිරීම අතිමහත් වේ. එය නවක පරපුරට ඉතා හොඳ ආදර්ශයක් සපයයි. අද  එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද අතුකෝරල. 


මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කරමු?


මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම උදයකාන්ත වර්ණසූරිය මහත්තයගෙ ‘කොස්තාපල් පුංචිසෝම’ කියන සිනමාපටයට රංගනයෙන් දායක වුණා. ඉස්කෝලෙ, බේකරි ගෙදර, ඔෆිස්ලන්තය, රැල්ල වෙරළට ආදරෙයි යන ටෙලි නාට්‍යවලට මේ දිනවල රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ටිකිරි රත්නායක අධ්‍යක්ෂණය කරන සාදර සේදර කියන ටෙලි නිර්මාණයටත් දායක වුණා. එහි සේදර කියන චරිතයට තමයි මම පණපෙව්වා.


වේදිකා නාට්‍යකරුවෙක් වීම රංගන ශිල්පියෙක් වීමට ලබා දෙන පන්නරය ගැන කතා කරමු?


ලංකාවෙ රංගනය පිළිබඳව හදාරන්න විශේෂිත ආයතන නැහැ. වේදිකාව තමයි අපිට  තිබෙන එකම රංගන පාසල. වේදිකාව තුළ වසර කිහිපයක් හරියට වැඩ කළ කෙනෙක්ට විශාල ගමනක් යන්න පුළුවන්. ඉගෙනගන්න උනන්දුව තිබෙන කෙනාට මේක මහා තෝතැන්නක්. අපි වේදිකා නාට්‍යයකට මාස හයක හතක පුහුණු වීමක් සිදු කරනවා. මේ පුහුණුව, කැපවීම, ඉගෙන ගැනීම රංගන ශිල්පියෙක්ට ඉතා වැදගත්. මේ කලාව සාමූහික කලාවක්. අනෙක් කලාවන් වගේ තනි තනිව මෙය ඉටු කරන්න බැහැ. ඒ නිසා අනේ‍යාන්‍ය සුහදත්වය කියන දෙය ගොඩනඟා ගන්න


වේදිකාවෙන් ලැබෙන්නෙ ඉතා හොඳ පිටිවහලක්. කතාවක ප්‍රධාන චරිතය පවා කැපීපෙනෙන්නෙ අනෙක් සෙසු රංගන ශිල්පීන්ගෙ සහයෝගය මත. අපිට මේ බැඳීම ගොඩනැඟෙන්නෙ වේදිකාව මතින්. ඒක ඉතා තියුණු දෙයක්. කලාව කියන්නෙ ආත්මාර්ථකාමී දෙයක් නෙවෙයි, ඒක පරාර්ථකාමී පොදුජන මෙහෙවරක්. වේදිකාවෙන් ලැබෙන විනය සහ ඉවසීම ඉතා ප්‍රබලයි. අපි වේදිකා නාට්‍ය රඟදක්වද්දි සමහර වෙලාවට එම රංගන ශිල්පීන්ගෙ පවුලෙ උදවියගෙ අවමංගල්‍යය පවා තිබුණා. නමුත් ඔවුන් මේ වෙනුවෙන් කැපවෙන නිසා එවැනි දුෂ්කර අවස්ථාවල පවා අප සමඟ ඇවිත් රංගනයට එක් වුණා. වේදිකා නාට්‍ය කියන්නෙ කට්ට කාලා හැදෙන්න පුළුවන් තැනක්. වේදිකාවෙන් තමයි නළුවෙක්ට පරිණත බව ලැබෙන්නෙ.


ඔබේ නාට්‍ය නිර්මාණයක් වන කොට කලිසන් කාර්යාල හොරු හොඳයි ගැනත් කතා කරමු?


මම නිර්මාණය කරන නාට්‍යවල තිරපිටපත රචනා කරන්නෙ මමමයි. මම මගේ බොහෝ නිර්මාණවල කලා අධ්‍යක්ෂණය පවා සිදු කළා. නමුත් මම හැම දේටම මගේ නම දාන්න බැරි නිසා මට අත් උදවු දුන් ගෝලයගෙ නම දැම්මා. අවසානයේදී ඔහු සම්මානයට පවා පාත්‍ර වුණා. අද ඔහු ලංකාවේ විශිෂ්ට කලා අධ්‍යක්ෂවරයෙක්. මම අහුවෙන හැම මොහොතෙම ඉගෙනගන්නවා. මේ නිර්මාණ සම්මානයට පාත්‍ර වුණා වගේම ජනතාවගේ ආදරයත් දිනා ගත්තා. මම දැන් වේදිකාවෙන් අෑත් වෙලා ඉන්නෙ. අපි දැන් වයසයිනෙ. වේදිකාව වඩා උචිත තරුණ පරපුරට. මම නාට්‍ය හා රංග කලාව පිළිබඳව නාට්‍යයකුත් නිර්මාණය කළා. ඒකෙ නම හපන්නු. මම හිතන්නෙ ලංකාවෙ රංගනය පිළිබඳව හදාරන්න එය ඉතා හොඳ නාට්‍යයක්. වේදිකාව කියන්නෙ අපේ තිඹිරිගෙය. එය අපිට අම්මෙක් වගේ.


චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද?


මම වේදිකා නාට්‍යයක් රචනා කළා ඇමැති කෙනෙක්ගෙ පුතෙක්ට වලිගයක් ආපු කතන්දරයක් ගැන. මේ වස්තු බීජය මම නාට්‍යයක් විධියට රචනා කළා. ඒ ඇමැති පුතා පොඩි කාලෙ ඉඳන් සමාජයට මුදා හැරපු නැති, කාමරයක හැදෙන වැඩෙන දරුවෙක්. මේකෙ මම පෙර පුහුණු වීම් පවා සිදු කළා. මේ නිර්මාණය වේදිකා නාට්‍යයක් ලෙස සිදු කළත් මම වේදිකාවෙන් ඉවත් වෙන්නෙ තීරණය කළානෙ. මේ නිර්මාණය චිත්‍රපටයක් විධියට නිර්මාණය කරන්න පොඩි ආසාවක් තිබෙනවා.


නවක පරපුරට කියන්න තිබෙන්නෙ මොකක්ද?


මේ ක්ෂේත්‍රයේ පරණ මිනිස්සු සිටිනවා. ඔවුන් මේ ක්ෂේත්‍රය වෙනුවෙන් කළ කැපවීම පිළිබඳව හොයලා බලන්න. අපිට ඉස්සර රඟපාන්න වේදිකාවක් පවා තිබුණෙ නැහැ. අපි පොල්අතු පැල හදාගෙන තමයි අපේ හැදෑරීම සිදු කළේ. අපිට සෙට් එක ගෙනියන්න වාහනයක්වත් තිබුණෙ නැහැ. අපි ඒව උස්සන් ඉන්නව දැක්කහම බස් නවත්වන්නෙත් නැහැ. මේ වගේ අපහසුකම් විඳිමින් තමයි අපි රංගනය හැදෑරුවෙ. මම මුලින්ම ප්‍රසිද්ධ චරිතයකට රඟපෑවේ සතිශ්චන්ද්‍ර එදිරිසිංහගෙ ‘සොක්කන් රජාණෝ’ නාට්‍යයට. ඒ නාට්‍ය රඟ දක්වන්න උදේ කොළඹ ආවම උදේ කෑමට ප්ලේන්ටියක් විතරයි බොන්නෙ. නැත්නම් ගෙදර යන්න සල්ලි නැහැ. ඊට පස්සෙ නාරහේන්පිටට පයින් ඇවිදන් යනවා. අද අපේ අය කිලෝමීටර භාගයක්වත් පයින් යන්න කැමැති නැහැ. ඒ වගේ ගොඩක් දුෂ්කරතාවලට අපි මුහුණ දුන්නා. නවක පරපුරට කියන්න තිබෙන්නෙ මේ කැපවීම, ගරු කිරීම, ඉවසීම, හැදෑරීම සිදු කරන්න කියලා.


දැන් ප¾දුරකට පයින් ගැහුවත් සිනමා පාසල් තිබෙනවා. ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විධියට මේ ගැන මොකද සිතෙන්නෙ?


අපිට මුණගැසුණු මෙලෝ දෙයක් දන්නෙ නැති ඇතැම් පිරිස් අද සිනමා පාසල් ආරම්භ කරලා. මහා ලොකුවට බැජ් හදාගෙන ටී-ෂර්ට් ගහගෙන ඔවුන් කරන දේවල්වල කිසි ප්‍රමිතියක් නැහැ. හොඳ ගුරුවරයෙක් ගාවට ගිහින් පාඩම් හොරකම් කරගෙන ඇවිත් තමයි මේ වැඩේ කරන්නෙ. ගුරුවරයෙක් වෙන්න එහෙම බැහැ. ඔවුන්ට හැකියාවවත් නැහැ. මේවට ලොකු පැවැත්මක් නැහැ.


රස දිව පිනවන ආනා ඡ්චබඵ ගැනත් කතා කරමු?


මගේ ආදරණීය දුව තමයි මෙහෙම වැඩක් කරමු කියලා මට කියන්නෙ. රටේ තිබුණු ආර්ථික තත්ත්වය නිසා තමයි මේ වැඩේ අපි පටන් ගත්තෙ. අද වනවිට අපේ පැත්තෙ පවා මේ විධියෙ කෑම කඩ අඩියෙන් අඩියට තිබෙනවා. නමුත් නිසි ප්‍රමිතියක් තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්. අපි දැන් ඒක තාවකාලිකව නවත්වා තිබෙනවා. නමුත් අපි නව මුහුණුවරකින් එය ආරම්භ කරනවා. අපිට මේ වැඩේ යූ-ටියුබ් නාළිකාවලින් විශාල ප්‍රතිචාරයක් ලබා දුන්නා. මේ ගැන බොහෝ දෙනා අතර ප්‍රචලිත වුණේ එම නිසා.


අවසන් වශයෙන් මොකක්ද කියන්න තිබෙන්නෙ?


මම නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. මම බණ භාවනාවට පවා යොමු වුණේ ඒ නිසා. මම ප්‍රමිතියක් නැති දේවල් පසුපස හඹා යන කෙනෙක් නෙවෙයි. මට සම්මාන දෙන්න බොහෝ දෙනා කතා කළා. මම ඒ දේවල් පවා ප්‍රතික්ෂේප කළේ එම නිසා. මම මගේ දෙය හරියට කරගෙන ඉන්නවා. මට මගේ දුව ගැන හරිම ආඩම්බරයි. ඇය සල්ලි පොකුරු, පාර දිගේ වැනි නාට්‍යවලට පවා රංගනයෙන් දායක වුණා. මගේ එකම දුව මගේ අඩි පාරෙ යන එක ගැන මට තිබෙන්නෙ ආඩම්බරයක්.


ගිහාන් සචින්ත





Previous Post Next Post