මේ දවස්වල තොරතුරු කොහොමද?
මේ දවස්වල මගේ කාලය වැඩි වශයෙන් යොදවලා තියෙන්නේ මම අලුතෙන්ම ආරම්භ කරපු සංගීත පෙර පාසලේ වැඩ සඳහා. ඒකෙ නම කින්ඩ කොර්ඩ්ස්. මේක සංගීත පෙර පාසලක් වුණත් ඒ හරහා දරුවෙක්ට සෞන්දර්යාත්මකව ජීවිතේ ආරම්භ කරන්න පෙරහුරුවක් දෙන්න කරපු උත්සාහයක ප්‍රතිඵලයක්. සංගීතය රස විඳීම පුහුණු කෙරෙන සහ විශේෂයෙන් පරිකල්පනය දියුණු කෙරෙන පාසලක්.
මම හිතන විධියට මෙය තමයි ලංකාවේ පළමු වරට කෙරෙන සංගීත පෙර පාසල?
අවුරුදු හතේ – අටේ දරුවගේ සිට විශ්වවිද්‍යාල සිසුන් වෙනකම්ම දරුවන් එක්ක මම ගැවසෙන නිසා මට පේනවා දරුවන්ගේ ජීවිතය කොයි වගේද වෙනස් වෙලා තියෙන්නේ කියන එක. අද බහුතරයක් දරුවන්ට මනුෂ්‍යයෙක් ලෙස ජීවත්වීම පිළිබඳව හරි වැටහීමක් නෑ. ඒකට මේ සමස්ත අධ්‍යාපන ක්‍රමයම බලපාලා තියෙනවා. අද දරුවන්ට වෘත්තීයවේදීන් වීම පිළිබඳව මිසක් මනුෂ්‍යයෙක් වීම පිළිබඳව අවබෝධයක් නෑ. ඒක වෙනස් කරනවා නම් පටන් ගන්න අවශ්‍ය පොඩිම දරුවගෙන්. ඉතිං ඒ වෙනුවෙන් මට කළ හැකි විධියට මම මේක පටන් ගත්තා. ඊට අමතරව ජයනාත් බණ්ඩාර අධ්‍යක්ෂණය කරන රෝමියෝ ජුලියෙට් නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා කාලය වෙන් වෙනවා. එය මගේ පළමු වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය.
අද කලාව හුදෙක් මුදල් ඉපයීමේ මාර්ගයක් පමණක් වෙලා. ඒ ගැන ඔබේ අදහස?
මිනිසාගේ පරිණාමයේ මූලික අවධියේ ඉඳලම මේ කලාව කියන දේ භාවිත වුණේ හැඟීම් මුදාහැරීම සඳහා. ඔවුන් සංගීතය වේවා, නර්තනය වේවා, චිත්‍ර වේවා මේ ඕනෑම දෙයක් කරලා තමන්ගේ හැඟීම් මුදාහැරියා වගේම තමන්ගේ අදහස් බෙදාගත්තා. එමෙන්ම තමනුත් ඒ දේවල්වලින් වින්දනයක් ලබා ගත්තා. නමුත් අද වෙද්දි කලාව කියන්නේ වෘත්තියක්. ඒත් එක්කම මේ වෙද්දි විනෝදාස්වාද කර්මාන්තය කියන දේ අර්ථකථනය කරන්නේ මුදල් ඉපයීමේ මාර්ගයක් විධියට. කලාව ඒ විධියට නිර්වචනය වෙද්දි මම මුලින් කියපු මූලික කාරණා ටික අමතක වෙලා ගිහිං තියෙනවා. වර්තමානයේදී දරුවන්ට, වැඩිහිටියන්ට අමතකයි කලාව කියන්නේ හැඟීම් බෙදා ගැනීමක් කියන දේ. විශේෂයෙන් කලාව කොහොමද චිකිත්සාවක් බවට පත් කරගන්නේ කියන දේ අමතක වෙලා ගිහින් තියෙනවා. අද මිනිසුන්ට මතක නෑ කලාව කියන්නේ තමන්ගේ ජීවිතයේම එක කොටසක් කියන දේ. වර්තමාන දරු පරම්පරාව පරිසරය එක්ක තිබ්බ සම්බන්ධතාව අඩු වීමත් එක්කම මේ තත්ත්වය තවදුරටත් උග්‍ර වෙලා තියෙනවා.
වර්තමාන ගීත කලාව පිළිබඳව විවිධාකාර විවේචන තිබෙනවා. මේ ගැන ඔබේ අදහස?
එක්තරා අවස්ථාවකදී රත්න ශ්‍රී විජේසිංහයන් ඕකට හොඳ උදාහරණයක් දෙනවා “සෝමදාස මිය ගියා, දෙල් ගහ යට වැළලුවා, දැන් එතැන හොල්මන් තියෙනවා”. වර්තමාන ගීත කලාව ගැන මට කියන්න තියෙන දේත් ඒකම තමයි. ඒකේ අදහස ගීතය කියෙන කලාවක් තිබ්බා. ඒක නැති වුණා. දැන් එතන හොල්මන්. මම දකිනවා විශ්වවිද්‍යාල පද්ධතියේ ඉඳලම පොඩි දරුවෝ වෙනකම්ම, මෙතැනදි පොඩි දරුවන්ට ෙදාස් කියන්න බෑ. මොකද දරුවන් පාලන කරන හස්තය තියෙන්නේ මවුපියන් අතේ නිසා. මම දකිනවා මගේ පන්තියට අරගෙන එන සමහර දරුවන්ව පන්තියේ තියන්න පුළුවන් මාසයයි දෙකයි. මොකද ඔවුන් එන්නෙම සින්දු පුරුදු කරනවද කියලා අහගෙන. අනේ නෑ. මම සින්දු කියන්න නම් පුරුදු කරන්නේ නෑ කිව්වම සමහර වෙලාවට ඔවුන් ළමයින්ව පන්ති එවන්නේ නෑ. මොකද ඔවුන්ට අවශ්‍ය දරුවන්ට සංගීතය මුල සිට නිවැරැදිව ඉගැන්වීම නෙවෙයි. මොකක් හෝ රියැලිටි තරගයකට යන්න ජනප්‍රිය ගීත කිහිපයක් පුරුදු කරගන්න එක. බහුතරයක් මවුපියන්ට අවශ්‍ය රියැලිටි තරග හෝ ප්‍රසංග හරහා දරුවන්ව ජනප්‍රියත්වයට පත් කර ගන්න එක.
ඉතිං අපේ කුඩා දරුවාගේ ඉඳන් තරුණයෝ වෙනකම්ම කරන්නේ සංගීතය අතපත ගෑම. ලෝකේ අනිත් රටවලට සංගීත සම්බන්ධ දර්ශනයක් තියෙනවා දැක්මක් තියෙනවා. අපේ රටේ වර්තමාන සංගීතයට විශේෂයෙන්ම, ගීත කලාවට බොහෝ දුරට එහෙම දැක්මක් නැහැ. නමුත් අතළොස්සක් ඉන්නවා වෙනසක් කරන්න උත්සාහ දරන.
පහුගිය දවසක ජාතික ගීය ගායනය සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලුවේදී ඔබ ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරලා තිබුණා?
මට එතැන ප්‍රධාන වශයෙන්ම පේන දේ තමයි වෘත්තීයම ගායිකාවක් වශයෙන් ඇගේ වගකීම පැහැරහැරලා තියෙනවා. වෘත්තීයමය ගායන ශිල්පියෙක්ට සභාවක් ඉදිරියේ කවියක් කියන්න වුණත් ඒ පුද්ගලයා විසින් තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න ඕනි. ඉතිං ඒ වෘත්තීයමය වගකීම පැහැරහැරීම නිසා සිදුවුණු අකරතැබ්බයකට තමයි අදාළ ගායිකාවට මුහුණ දෙන්න සිදු වුණේ. මම ඒ ගීතය කිහිප වතාවක්ම ඇහුවා. ඒ අනුව මට වැටහුණු දේ තමයි ඇය ජාතික ගීය මුල ඉඳන් ගායනා කරගෙන ඇවිත් අවසානයේ හිතාමතා හෝ නොසිතා අනවශ්‍ය අලංකාර යොදනවා. ඒ වගේම කඩින් කඩ හුස්ම ගැනීම වගේ ගායනය පැත්තෙන් තාක්ෂණික ෙදා්ෂ කිහිපයකුත් සිදු වෙනවා.
සාමාන්‍යයෙන් ඔය වගේ සංවාදවලට මගේ මැදිහත් වීම සිදු නොකළත් එක්තරා පිරිසක් ඒ සිදුවීම අල්ලගෙන වෙනත් මානයක් කරා මේ ගැටලුව ඇදගෙන ගිය නිසා මම හිතුවා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනි කියලා. යම් පිරිසක් මේක ජාතික ප්‍රශ්නයක් කරා ඇදගෙන ගියා නිසා මම හිතුවා මෙතැන ඇත්තටම සිදු වුණේ ගායනයේ ෙදා්ෂයක් මිස උච්චාරණයේ ෙදා්ෂයක් නොවෙයි කියන දේ අධ්‍යාපනික පසුබිමෙන් පැහැදිලි කරලා දෙන්න.
ඔබ එහිදි කටහඬ අයිතියක් වුණත් සංස්කෘතික මෙවලමක් බව කියලා තිබුණා?
ඇත්තටම කන විතරක් නෙමේ සමස්ත ශරීරයම සංස්කෘතික මෙවලමක් තමා. කට හඬත් එහෙමයි. ඒත් කන කියන්නේ ශ්‍රවණය බාහිරෙන් අපට ලැබෙන දෙයක්. කටහඬ කියන්නේ අපි බාහිරට දෙන දෙයක්. මෙතැනදී වැදගත් දෙය වන්නේ කනට ඇහෙන එක වළක්වන්න නොහැකියි. ඒත් අපි කියන්නේ මොනවද, කොහොමද කියන එක අපට කිහිප වරක් හිතා බලා සුදුසු – නුසුදුසු දේ තෝරා ගැනීමක් කළ හැකියි.
අපේ රටේ අනෙකාගෙ ශ්‍රවණ අයිතිය මංකොල්ලකාලා තිබෙන්නෙ. බස් එකකට නැග්ගත්, අල්ලපු ගෙදර සාදයක් තිබුණත්, ත්‍රිරෝද රථයක ගමනක් ගියත්, කොටින්ම පන්සලේ පිරිතේ ඉඳලම අනෙකාගේ ශ්‍රවණ අයිතිය සූරාකෑමකට ලක්වෙලා. මංගල උත්සවයකට ගියත් කන් බෙරය පැළිලා යන තරම් සංගීතය ඇහෙන්න සලස්වලා. පාසලේදී මේ ගැන දරුවන්ට කියා දිය යුතුයි.
ප්‍රාණ සම ස්වාමි ගැනත් කතා කරමු?
ප්‍රීති රන්දෙණිය මහත්මියගේ පද රචනයට, සංගීත නිර්මාණය කළේ ආචාර්ය රෝහණ විරසිංහ. මම මේ ගීතයේ ආරාධිත ගායන ශිල්පිනිය. ප්‍රාණ සම ස්වාමි ගීතය මේ වෙද්දි යූ ටියුබ් වෙත මුදාහැර තියෙනවා. ලස්සන පද රචනයක් වගේම බොහෝම අලංකාර තනු නිර්මාණයක්. මම සාමාන්‍යයෙන් මට ගැළපෙන නිර්මාණ සඳහා පමණයි එක් වෙන්නේ. මේකත් එහෙම වැඩක්.
ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කරමු?
ඉදිරියේ නිර්මාණ කිහිපයක්ම කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ඉතිං වෙනදා වගේම මගේ දරුවගේ, පවුලේ කටයුතුවලට වගේම මගේ ඉගැන්වීම් කටයුතුවලට කාලය වෙන්කරගෙන තියෙන්නේ.