සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක් හැඩ කළ ඇය සිනමාව හරහා මෙරට කලාවට දායාද වූ සුන්දරම සුරූපිනියයි. ඇගේ දෑසේ කැල්මට වශී වූ තරුණයන් එකල ඇයව පතා නොකළ දෙයක් නොමැති තරම්මය. ලියුම් මිටි ගණන් ඇය නමට ලැබුණු යුගයක් තිබිණි. ඇය රූගතකිරීම්වල නියැළෙන ස්ථානවලට සෙනඟ දහස් ගණනක් ඇදී ආ යුගයක් තිබිණි. අද ඒ යුගය අවසන්ව ඇතත් තවමත් පෙර ලෙසම දහස් ගණනක් වූ රසික ආදරය ඇය සතුය. සිංහල සිනමාවේ ලස්සනම දෑසේ හිමිකාරිය ඇය, සබීතා පෙරේරායි.
මේ දවස්වල තොරතුරු මොනවාද?
මේ දවස්වල විශේෂයෙන් කලා කටයුතුවල නම් නිරත වෙන්නේ නැහැ. සාමාන්‍ය පරිදි දවස ගත කරනවා. නමුත් මීට ටික කාලයකට කලින් මම සිනමාපටයකට රංගනයෙන් දායක වුණා. ඒක ඉතාම මෑතකදී තිරගත වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා.
යුගයක් හැඩ කරලා ඇයි දැන් නිහඬ වෙලා ඉන්නේ?
කලාවෙන් අයින් වෙන්න බලාපොරොත්තුවක් නම් නෑ. මොකද මගේ ජීවිතයේ මම වඩාත්ම ප්‍රිය කරන දේවල්වලින් ප්‍රමුඛම තැනක තමයි රංගනය තියෙන්නේ. නමුත් ඇත්තටම පෙර වගේ කාර්යබහුල නෑ. ඉස්සර මම රංගනය නිසා බොහෝම කාර්යබහුල කෙනෙක්. මම සිනමාපට සියයක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. දැන් ඉස්සර වගේ එහෙම කාර්යබහුල නෑ. නමුත් හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යෙන්ම භාර ගන්නවා.
මම කලින් සඳහන් කළා වගේ මම මීට වසර දෙකකට පමණ කලින් සංජීව පුෂ්පකුමාරගේ ‘විහඟ ප්‍රේමය’ චිත්‍රපටයට දායක වුණා. ඒක විදෙස් චිත්‍රපට උළෙලවල් කිහිපයකම තිරගත වුණා. ලබන වසරේ මුල ලංකාවේ තිරගත වෙයි කියන අපේක්ෂාව තිබෙනවා.
සීමිත ටෙලි නාට්‍ය ප්‍රමාණයකට පමණයි ඔබ දායක වෙලා තියෙන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
ඇත්තටම මගේ මාධ්‍ය විදිහට මම තෝරගෙන තියෙන්නේ සිනමාව. අපි කලාවට සම්බන්ධ වුණු මුල් යුගයේ අද වගේ ටෙලි නාට්‍ය වටා ලොකු රසික පිරිසක් හිටියේ නෑ. නමුත් මම මුල්ම කාලේ ටයිටස් තොටවත්ත මහත්මයාගේ රන් කහවණු කියන ටෙලි නිර්මාණයට දායක වුණා. නමුත් ඊට පස්සේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න කාලයක් තිබුණේ නෑ. ඉන් අනතුරුව පිටගංකාරයෝ, අකාල සන්ධ්‍යා සහ භාර්යාවෝ කියන ටෙලි නාට්‍ය පහ සමඟ විතරයි මම සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඇත්තටම ඒ කාලේ දිහා හැරිලා බැලුවොත් මට හිතෙනවා ආයෙත් ඒ වගේ ටෙලි නිර්මාණ බිහි වෙන එකක් නෑ කියලා. මට ටෙලි නාට්‍යවලට බොහෝම ආරාධනා ලැබුණත් විශේෂයෙන්ම මගේ කාර්යබහුලකම, කොළඹින් පිට යන්න තියෙන අකැමැත්ත වගේ කාරණා නිසා ඒවා ප්‍රතික්ෂේප කළා.
ඔබ තරුවක් වෙලා හිටියේ අදට වඩා වෙනස් යුගයක. ඒ කාලේ රසිකයන්ගේ ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මම සිනමාවට ආවේ අසූව දශකයේ. මම හිතනවා ඒක සිනමාවේ වගේම කලකරුවන්ගෙත් හොඳම කාලයක්. ඒ කාලේ රසිකයන්ගෙන් සිනමා ශාලා පිරිලා ඉතිරිලා ගිහින් තිබුණේ. ඒ වගේම එයාලගේ ආදරයත් අපිට නොඅඩුවම ලැබුණා. ඒ වගේම මට අවස්ථාවක් ලැබුණා පාකිස්තානු චිත්‍රපටයකට දායක වෙන්න. ඒ හරහා මම පාකිස්තානු සිනමාපට දහසයකට රංගනයෙන් දායක වුණා. ලංකාවේ, පාකිස්තානයේ වගේම තවත් විදේශ රටවල රසිකයන්ගේ පවා ආදරය ලැබුණු යුගයක් ඒක. මගේ සිනමා ජීවිතේ ස්වර්ණමය යුගය කියලා හැඳින්වුවත් වරදක් නෑ.
ඔබේ ඇස් දෙක ගැන තාමත් රසිකයෝ කතා වෙනවා. කොහොමද ඔය විදිහට ලස්සන පවත්වාගෙන යන්නේ?
ඇත්තටම මම කලාවට සම්බන්ධ වුණු මුල් කාලේ මගේ වගේ ඇස් දෙකක් තිබ්බේ මට විතරයි. ඒ කාලේ මට බය හිතුණා මගේ ඇස් දෙක අනිත් අයට වඩා වෙනස් නිසා ඒක මට ගැටලුවක් වෙයි කියලා. නමුත් ඇත්තටම වුණේ රසිකයෝ මගේ ඇස් දෙකට ආකර්ෂණය වුණු එක. එක්තරා අවස්ථාවකදී පාකිස්තානු සිනමා සම්මාන උළෙලක නිවේදකයා මට වේදිකාවට ආරාධනා කළේ ලංකාවේ ලස්සනම ඇස් තියෙන නිළිය කියලා. ඉතිං මේ වෙද්දි මම හොඳ සෞඛ්‍යවත් ආහාර ගන්න ගමන් නිරෝගී ජීවිතයකට පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම චිත්‍රපට බලනවා, පොත පත කියවනවා, සින්දු අහනවා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා.
සිනමාවේ ස්වර්ණමය යුගය නියෝජනය කරපු ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට වත්මන් සිනමාව දකින්න කොහොමද?
ඇත්තටම මම සිනමාවට සම්බන්ධ වෙද්දි, මාලිනී ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වැනි ප්‍රවීණ ශිල්පීන්ගේ හොඳම යුගය. ඒ කාලේ හොඳ නිර්මාණ බිහි වුණා. මටත් ඒවට දායක වෙන අවස්ථාව ලැබුණා. නමුත් පසුකාලීනව රටේ තිබුණු කලබල, යුදමය වාතාවරණ වගේ දේවල් එක්ක ඇතැම් සිනමා ශාලා විනාශ වුණා, ජනතාව සිනමාවෙන් අෑත් වුණා. ඒත් එක්කම මෑත කාලේ සිද්ධ වෙච්ච කොවිඩ් වගේ දේවලුත් බලපෑවා. නමුත් අද වෙද්දි හොඳ තරුණ අධ්යක්ෂවරු පිරිසක් ඉන්නවා වැඩක් කිරීමේ වුවමනාව තිබෙන. මම හිතනවා කාලයක් යද්දි ඔවුන්ට හැකිවෙයි කියලා අපේ සිනමාව යම් තරමකට හෝ ගොඩගන්න.
චිත්‍රපට අධ්යක්ෂණයට යොමු වෙන්න අදහසක් නැද්ද?
ඇත්තටම මට එහෙම සිතුවිල්ලක් ඇවිත් නැහැ. මේ වෙද්දි අපේ රංගන ශිල්පීන් බහුතරයක් චිත්‍රපට අධ්යක්ෂණයට යොමු වෙලා හිටියත් තාමත් එහෙම අදහසක් නෑ මට.
සිනමා ජීවිතයේ අමතකම නොවන අත්දැකීම මොකක්ද?
මගේ රංගන ජීවිතයේ අමතකම නොවන සිදුවීමක් තමයි පාකිස්තානු සිනමා සම්මාන උළෙලක මට සම්මානයක් හිමි වීම. වෙනත් රටක සිනමාව වෙනුවෙන් සම්මානයක් හිමි වීම ඇත්තටම විශේෂ දෙයක්. ඊට අමතරව මම සක්‍රියව රංගනයේ යෙදිලා හිටපු කාලෙ මට විවිධාකාර විදෙස් චිත්‍රපට උළෙලවල්වලට සහභාගි වෙන්නත් අවස්ථාව හිමි වුණා. ඒ අවස්ථාත් මට කිසිම දවසක අමතක වෙන්නේ නෑ.
ප්‍රවීණ නිළියක් විදිහට අලුත් ශිල්පීන් පිළිබඳව ඔබේ ආකල්පය?
ඇත්තටම මම අන්තිමට වැඩ කරපු සිනමාපටයෙත් මම වැඩ කළේ නවකයන් පිරිසක් එක්ක. ඔවුන් ගැන මට හැඟුණු දේ තමයි ඔවුන් බොහෝම දක්ෂයි. ඒ වගේම සුහදශීලීයි. හොඳ නිර්මාණ, හොඳ අධ්යක්ෂවරු හම්බෙනවා නම් ඔවුන්ට හොඳ ගමනක් තියෙනවා.
විවිධාකාර තරග හරහා රංගනයට එකතු වෙන නවකයන් ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ඔය විවිධාකාර තරග හරහා රංගනයට එකතු වීම එදත් තිබ්බා, අදත් තියෙනවා, හෙටත් තියෙයි. මම දකින විදිහට නම් වැදගත් වෙන්නේ මොන ක්‍රමයකින් හෝ රංගනයට සම්බන්ධ වීම. ඔවුන් රංගනයට ආවට පස්සේ ඒකට අවශ්‍ය කැපවීම, හැකියාව තිබෙනවා නම් ඔවුන්ට රංගනය තුළ රැඳී ඉන්න පුළුවන්.
තාමත් පෙර සේම ජනප්‍රියයි නේද?
අපේ කාලයේ රසිකයෝ අපිව දැක්කේ පුළුල් තිරයේ දැවැන්තව. ඉතිං ඒ ආදරය තවමත් තියෙනවා. අපේ නිර්මාණ හරහා රසිකයන්ගේ හිතේ අපි ගැන ඇති වුණු ආදරය තවමත් තියෙනවා දැනිලා තියෙනවා. තවමත් අපේ පැරණි රසිකයෝ අපිව බොහෝම ආදරයෙන් පිළිගන්නවා. මට සතුටුයි ඔවුන්ගේ හදවතේ නොමැකෙන සලකුණක් තියන්න හැකි වීම ගැන.
ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවගේද?
ඇත්තටම කලාව සම්බන්ධයෙන් ලොකුවට කාර්යබහුල වෙන්න අදහසක් නෑ. නමුත් හොඳ නිර්මාණ එක්ක එකතු වෙනවා. රංගන ශිල්පිනියක් වීම වගේම මගේ තිබුණු තවත් ලොකු බලාපොරොත්තුවක් තමයි හොඳ බිරියක්, මවක් වීම. ඉතිං මගේ පුතත් දැන් තරුණයෙක්. ඔහුත් බොහෝ දුරට මම බලාපොරොත්තු වුණු විදිහේ මනුස්සකම්වලින් පිරුණු කෙනෙක් විදිහට වැඩිලා ඉන්නවා. ජීවිතේ සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තු නෑ. එහෙම බලාපොරොත්තු තියාගන්නත් බෑ හැමදේම අවිනිශ්චිත නිසා. එන විදිහට හැමදේටම මුහුණ දෙන එක තමයි බලාපොරොත්තුව.
සවින්දි රාජපක්ෂ