සමවිෂම මේ සමාජයේ විෂම මිනිසුන් ගැනයි- මාධනී මල්වත්තගේ



ඉකුත්දා එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වූ විෂම මිනිසුන්ගේ ජීවිත ගනුදෙනුව වූ ‘සමවිෂම’ අධ්‍යක්ෂණය කළේ ඇයයි. (සම අධ්‍යක්ෂණය :තිළිණි වීරසිංහ) Academy Of Theatre Arts  ඩිතිරැම්බය නිෂ්පාදනය, රචනය, පසුතලය හා රංගවස්ත්‍ර නිර්මාණය කළ මෙය ලාංකේය ප්‍රේක්ෂකයාට නැවුම් වේදිකා අත්දැකීමක් විය. වේදිකාව තුළ සිය දක්ෂතා මනාව ගෙනහැරපාන දක්ෂ, ප්‍රවීණ නිළියක වන මාදනී මල්වත්තගේ මේ දිනවල පුංචි තිරය ඔස්සේද අප හමුවට එයි. වේදිකාව, රූපවාහිනිය, සිනමාව තුළ ක්‍රියාකාරීව සිය දක්ෂතා දක්වන ඇයගේ නවතම වේදිකා අධ්‍යක්ෂණය වූ ‘සමවිෂම’ පිළිබඳවත් සමස්ත ටෙලි_සිනමා කලාව පිළිබඳවත් සංවාදයක නිරතවීමේ අරමුණින්  මෙසේ එක්වූවාය.


මොකක්ද මේ ඔබේ ‘සමවිෂම’ කියන්නේ...?


අපි මීට අවුරුදු 02කට විතර කලින් Academy Of Theatre Arts  ඩිතිරැම්බය මඟින් වැඩමුළුවක් කළා. එහි පළමු වැඩමුළුව සාර්ථකව කරන්න හැකිවුණා. එය මාස 06ක වැඩමුළුවක්. එම සය මාසික වැඩමුළුවෙන් පසුව ‘සිල්වෙස්ටර් ආයෙමත්’ කියන වේදිකා නිර්මාණයක් කළා. මෙහිදී ආධුනික පිරිස තමයි එකතු වුණේ. ඔවුන් ඉතා ඕනකමින්, කැපවීමෙන් සාර්ථකව වැඩමුළුව අවසන් කළා. මේ ඩිතිරැම්බයේ කළ දෙවැනි වැඩමුළුවට සහභාගි වූ කණ්ඩායමේ එකතුවෙන් කළ වේදිකා නිර්මාණය තමයි ‘සමවිෂම’ කියන්නේ. මම සහ තිළිණි වීරසිංහ මෙය සම අධ්‍යක්ෂණය කරන්නේ. මෙහි පළමුවැන්න වූ ‘සිල්වෙස්ටර් ආයෙමත්’ ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ නියෝජනය කළා. මෙහි සුවිශේෂත්වයක් වන්නේ ‘සමවිෂම’ සඳහාත් ආධුනිකයන් පිරිසක්ම සහභාගි වීමයි. වෙනත් වැඩමුළුවක් කළාම පස්සේ සහතික දීමක් පමණයි කරන්නේ. මෙහිදී අපේ ඩිතිරැම්බයේ වැඩමුළුවෙන් පසු රංගනය, අධ්‍යක්ෂණය, පසුතල නිර්මාණය, වේශනිරූපණය, ආලෝකකරණය, වේදිකා පරිපාලනය ආදී සියලුම දේ ගැන පැහැදිලි අවබෝධයක් සහිතව තමයි මෙම ආධුනික පිරිස ‘සමවිෂම’ නිර්මාණයට දායකවන්නේ. නවකයන්ට මෙය විශේෂම අත්දැකීමක් වුණා. ඔවුන්ට වේදිකාවේ ගමනක් යාමට මෙයින් පැහැදිලි මාර්ගයක් හැදෙනවා..


‘සමවිෂම’ සඳහා අදහස පහළ වුණේ කොහොමද...?


මමත් ජාතික තරුණ සේවා සභාව හරහා බිහිවුණු ශිල්පිනියක්.. මම පාසල්වල, යම් යම් ආයතනවලට නාට්‍ය ඔස්සේ සම්බන්ධ වෙද්දී බොහෝදෙනෙක් මගෙන් ප්‍රශ්න කළා ඔයා ඉගෙන ගත් දේ අනාගත පරපුරට දෙන්නේ නැත්තේ ඇයි කියලා. නාට්‍ය කලාවේ න්‍යායාත්මක කරුණු විශ්වවිද්‍යාල මට්ටමින් ඉගෙන ගත්තත් ප්‍රායෝගික කරුණු එහෙම ඉගැන්වීමක් වෙන්නේ නැහැ . මා ඉගෙනගත් ප්‍රායෝගික කරුණු අනාගත පරපුරට දෙන්න ඕන කියන අදහස මගේ සිතට ආවා..එය ක්‍රියාත්මක කිරීමේ පියවරක් තමයි මේ අපේ ඒජචඤඥථර ර්‍ණට ඊඩඥචබපඥ ඒපබඵ ඩිතිරැම්බය හරහා ක්‍රියාත්මක කළේ. මෙහිදී විශේෂයෙන් ගයාරම්‍ය අල්විස් මහතා මතක් කරන්න ඕනි. ‘ඩිතිරැම්බය’ කියන නම පවා යෝජනා කළේ ඔහුයි. ඒ නම හැදුණෙත් ග්‍රීසිය කේන්ද්‍ර කරගෙනයි. නාට්‍ය කලාවේ මුලටම යද්දී අපට ග්‍රීසියට යන්න වෙනවා. එහිදී භාවිත වන වචනයක් ගයාරම්‍ය අල්විස් සිංහලයට නැගුවා....


‘සමවිෂම’ සඳහා දායක වූ පිරිස මතක් කළොත්....?


තිළිණි වීරසිංහ මතක් කරන්න ඕනි. ඇය මා සමඟ මෙය සම අධ්‍යක්ෂණය කළා. සංගීතයෙන් දිනේෂ් හේවගේ, අංග රචනයෙන් චාමර අනුදත්, රංගාලෝකයෙන් මංජුල වීරසිංහ, ගීත රචනයෙන් මාමඩලේ ගැමුණු වගේ පිරිස දායක වුණා. රංගනයෙන් රංග රත්නායක, මතූෂ රණසිංහ, ඉමාෂි අංජනා බණ්ඩාර, රමේෂ් කේෂාන්, තරිඳු දිල්ෂාන් ද සිල්වා, තීක්ෂණ ද සොයිසා, මන්දිරා දසනායක, කේ.ඒ. උපනන්දනී, සචිනි විජේරත්න, ඉසුරු හසරංග පෙරේරා, ලක්ෂිත දිනෙත්, භානු ප්‍රනාන්දු කෞශල්‍ය ඇතුගල, කුවින්තා ටෂීනා රංගනයෙන් දායකවුණා.. ඒජචඤඥථර ර්‍ණට ඊඩඥචබපඥ ඒපබඵ ඩිතිරැම්බය මෙහි නිෂ්පාදනය, රචනය , පසුතලය සහ රංග වස්ත්‍ර නිර්මාණයෙන් දායකවුණා..


ප්‍රේක්ෂකයාට කොතෙක්දුරට ‘සමවිෂම’ ගෝචරවේවිද....?


‘සමවිෂම’ තුළ තිබෙන්නේ මිනිසුන්ගේ ජීවිත ගනුදෙනුව කියන උද්ධෘත පාඨයයි. ලෝකයේ මිනිස්සු විෂමයි. විෂමවූ මිනිසුන් ගැනයි අපි කතා කරන්නේ. මෙහිදී පාසල මූලික කරගෙන පැතිරෙන මත්ද්‍රව්‍ය පිළිබඳවයි කතා කෙරෙන්නේ. මේ තේමාව තුළින් ලොකු සමාජ පණිවිඩයක් දෙන්න පුළුවන්. ළමයාව මත්ද්‍රව්‍යයට යොමුකරන්නේ කොහොමද....? එයින් ළමයාව මුදාගන්නේ කොහොමද කියන දේ මේ තුළ කියවෙනවා. ‘සමවිෂම’ නිර්මාණය සමාජයට බොහෝසේ බලපෑමක් ඇතිකරනවා. මවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, ළමුන් ආදී සියලු දෙනාම ‘සමවිෂම’ නැරඹිය යුතුයි කියන මතයේ මම ඉන්නවා....


ඔබේ කලාදිවියේ ආරම්භය කිව්වොත්....?


මගේ කලා දිවිය ගැන කියෙව්වොත් පුංචිම කාලයට යන්න පුළුවන්. පෙර පාසල් අවධියේ ඉඳන් කඩඉම් නාට්‍ය නරඹා තියෙනවා. උසස් පෙළින් පසු මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංගකලාව පාඨමාලාව හදාරනවා. මගේ තාත්තාත් නාට්‍යවලට සම්බන්ධයි. ඔහු ලයනල් මල්වත්තගේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය මට හොඳට පුරුදුයි. වළ සතිය කියලා එකක් එහි තිබුණා. රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටය නියෝජනය කළ නාට්‍යය වළ සතියේ පෙන්නුවා. මගේ පියාත් එම නාට්‍ය ගෙන්වන්න මුල්වුණා. මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා සහ පේරාදෙණිය වළ හරහා තමයි නාට්‍ය කරන්න ඕන කියලා අදහසක් ආවේ. ඩග්ලස් සිරිවර්ධන, ආචාර්ය ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, කේ.බී. හේරත්, පරාක්‍රම නිරිඇල්ල වගේ දැවැන්ත නාට්‍යකරුවන්ගේ කඩඉම් නාට්‍යවලට මම සම්බන්ධ වෙනවා. එහිදී යෞවන සම්මාන,රාජ්‍ය සම්මාන දිනාගන්න පුළුවන් වුණා. වේදිකා නාට්‍ය බලන්න එන විශිෂ්ට නාට්‍යවේදීන් මගේ රංගනයන් දැකලා ඒ ඔස්සේ ටෙලිනාට්‍ය රංගනයට අවස්ථාව ලැබෙනවා.


වේදිකාවෙන් රංගනයට ආ ඔබට වේදිකාවේදී ගුරුවරුන් වූ පිරිස සිහිකළොත්...?


වේදිකාවේ දැවැන්තයන් වූ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන,ආචාර්ය ජයලත් මනෝරත්න එච්.ඒ. පෙරේරා, පරාක්‍රම නිරිඇල්ල වගේ පිරිස මතක් කරන්න කැමැතියි....


මනෝ, කේ.බී. , එච්. ඒ. වැනි දැවැන්තයන්ගෙන් ඔබ ලැබූ ආභාසය මතක් කළොත්....?


මගේ මුල්ම වේදිකා නිර්මාණය ‘කනේරු මල්’ අධ්‍යක්ෂණය කළෙත් ජයලත් මනෝරත්න මහතා. ඔහු ඇත්තෙන්ම ඇවිදින පුස්තකාලයක් වගෙයි . එහෙම අය අද නෑ. ඉන්නෙත් අතළොස්සයි.කේ.බී. හේරත්, පරාක්‍රම නිරිඇල්ල , එච්. ඒ. පෙරේරා වගේ අය ඕනෑම විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ ප්‍රවීණයන්. මනෝරත්නයන් මම වේදිකාව තුළදී දැක්කේ සොඳුරු ආඥාදායකයෙක් විදිහට. ඔහුගෙන් බොහෝදේ මම උකහා ගත්තා. ඉහත සඳහන් කළ දැවැන්ත නාට්‍යවේදීන් මගේ ජීවිතයට වටිනා පූර්වාදර්ශ වුණු චරිත.


රටේ තත්ත්වයත් එක්ක වේදිකාවට ප්‍රේක්ෂකයා ගෙනඒමට හැකිවේදැයි ඔබ විශ්වාස කරනවාද...?


රටේ තත්ත්වය එක්ක ආර්ථික අර්බුදය දරුණු මට්ටමක තියෙනවා. කොරෝනා වසංගතය සහ රටේ ඇතිවුණු කැලඹිලි සහගත තත්ත්වයත් එක්ක ටෙලි, සිනමා ක්ෂේත්‍ර සියල්ලම කඩාවැටිලා තිබුණා. ඒක වේදිකාවට පමණක් පොදුවූ දෙයක් නෙවෙයි. එහෙත් පසුගිය වසරේ අග භාගයේ සිට නාට්‍යකලාව තුළ යම් පුනරුදයක් දක්නට ලැබෙනවා. ඉතාමත් හොඳ වේදිකා නාට්‍ය වගේම පැරැණි වේදිකා නාට්‍ය පවා නැවත වේදිකාවට එන තත්ත්වයක් පැහැදිලිවම පේනවා. එතනදී ගමනාගමනය ලොකුම අර්බුදය වී තියෙන්නේ. අපි අනුරාධපුරයට නාට්‍යයක් ගෙනියද්දී ලොකු අර්බුදයක් ඇතිවෙනවා ගමනාගමනය සම්බන්ධයෙන්.වසර 5-6කට කලින් මේක සාමාන්‍ය තත්ත්වයක්. අද එය අර්බුදයක් වෙලා. හැබැයි මිනිස්සු කැමැතියි හොඳ නාට්‍යය නරඹන්න. හොඳ ප්‍රේක්ෂක රසවින්දනයක් තිබෙන බව පේනවා හොඳ නාට්‍යයක් පෙන්නුවොත්. කොළඹ සෑම සති අන්තයකම නාට්‍ය පෙන්වනවා. ඒ තුළ හොඳ තත්‍ත්වයක් පෙන්නුම් කරනවා. හොඳ නාට්‍යයක් පිට පළාතක පෙන්නුවත් ප්‍රේක්ෂකාගාර පිරී ඉතිරී යනවා. මිනිස්සු හොඳ රසවින්දනයකට කැමැතියි.


වේදිකා නාට්‍ය කලාවට රටේ තිබෙන තැන ගැන සතුටු විය හැකිද...?


ලංකාවේ ලයනල් වෙන්ඩ්ට්, එල්ෆින්ස්ටන්, ජෝන් ද සිල්වා වගේ රඟහලවල් රැසක් තිබෙනවා. ඒත් සමහර ඒවා වසර ගණනාවක් වහලා දාලා අලුත්වැඩියාවට කියලා. ඒවගේ වේදිකා නාට්‍යයක් දැම්මත් මිල අධික වීම ගැටලුවක් වෙලා තිබෙනවා. මීට මාස 02කට කලිනුත් මිල වැඩිකිරීමක් කළා. එය නාට්‍යකරුවාට දැරිය නොහැකි තත්ත්වයක්. ශාලා ගාස්තු වැඩිවනවිට ටිකට්පතක මිලත් වැඩි කරන්න වෙනවා. ඒක නාට්‍යකරුවාටත්, ප්‍රේක්ෂකයාටත් අසාධාරණයක්. හොඳ සිනමාශාලා තිබුණත් අධික මිල ගණන් අයකිරීම වැනි දේ නිසා ප්‍රේක්ෂකයාට, අධ්‍යක්ෂවරයාට විශාල ගැටලුවකට මුහුණදෙන්න වෙලා. කොළඹ සෑම සති අන්තයකම වේදිකා නාට්‍යයක් පෙන්නුවත් එය කොතෙක්කලක් පවත්වාගෙන යාහැකිද කියන එක ගැටලුවක් මේ මිල ගණන්වල ප්‍රශ්නත් එක්ක. මම ඉල්ලීමක් කරනවා මේ රඟහලවල් සාධාරණ මිලකට දෙන්න සහ ටිකට්පතක මිල අඩුකරන්න යම් ක්‍රමවේදයක් , නියාමනයක් රජය මඟින් හෝ ලබාදෙන්න කියලා. හැමදේම වක්‍රාකාරව ඉහළයෑමත් එක්ක නාට්‍යකරුවාට ලොකු අසාධාරණයක් වෙලා.


වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයේ දිගටම නියැළෙන්න අදහසක් නැද්ද...?


වේදික නාට්‍ය අධ්‍යක්ෂණයට යොමුවෙන්න අදහසක් තිබෙනවා . මම "සමවිෂම" කළේ ආධුනිකයන් එක්ක. ප්‍රවීණ පිරිසක් එක්ක අධ්‍යක්ෂණ කාර්යයේ නිරතවෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා හොඳ පිටපතක් සොයමින් ඉන්නේ...


ඔබ පෞද්ගලිකව වේදිකාවට කැමැත්තක් දක්වන බව මට සිතෙනවා....?


ශිල්පියෙකුට අභ්‍යාස කළහැකි හොඳම විශ්වවිද්‍යාලය වේදිකාවයි. වේදිකාවේදී අපේ ශරීරය ප්‍රේක්ෂකයාට පේනවා. කැමරාවක නම් ඒක හංගන්න පුළුවන් සමීප රූප, දුර රූප, මධ්‍යම රූප වගේ දේවලින්.වේදිකාව වගේ සජීවී මාධ්‍යයකදී අපේ ශරීරය, හඬ, මුහුණ ප්‍රේක්ෂකයාට සජීවී වෙනවා. වේදිකාවේදී සතර අභිනය ශිල්පියා තුළ ඉතා ඉහළ ආකාරයෙන් පිහිටා තිබෙන්න ඕන. ශිල්පියෙකුට අභ්‍යාස කළ හැකි හොඳම තැන වේදිකාව නිසා තමයි මා වේදිකාවට කැමැත්තක් දක්වන්නේ. වේදිකාවේ හුරුව තිබෙන කෙනෙක් සිනමාවේ හෝ ටෙලිනාට්‍ය කලාවේදී කවදාවත් ෆේල් වෙන්නේ නෑ. ඒවගේම වේදිකා , ටෙලි, සිනමා කියන මේ මාධ්‍ය තුන වෙනස් මාධ්‍ය තුනක් බවත් හඳුනාගන්න ඕනා.


ඔබ ටෙලිනාට්‍යවලට පැමිණි ආකාරය....?


මගේ වේදිකානාට්‍ය බලන්න පැමිණි පිරිස ඒවා නැරඹීමෙන් පසුව මට ටෙලිනාට්‍යවලට ආරාධනා කරනවා. මම මුලින්ම රඟපෑවේ නාලන් මෙන්ඩිස් මහතාගේ ‘හිරු කුමාරි’ ටෙලිනාට්‍යයේ .


ඔබ සම්මානයට පාත්‍රවූ අවස්ථා කීවොත්..?


වේදිකාවේ හොඳම නිළිය වුණා තුන් වතාවක්. හොඳම සහය නිළිය, හොඳම නිළියට කිහිපවරක් නිර්දේශ වුණා. රයිගම් ටෙලි සම්මාන ලැබුණා. ර්‍ණඛ්ධ්ඛ් සම්මාන උලෙළේදී හොඳම සහය නිළිය සම්මානය ලැබුණා. ඒ වගේම මම ‘බුන්කා’ සම්මානයත් ලබා තිබෙනවා.


වත්මන් ටෙලිනාට්‍ය කලාව ගැන ඔබේ අදහස...?


එදා අපි නරඹපු ටෙලිනාට්‍ය විකාශය වුණේ සතියට එක දවසයි. ඒවා කොටස් 15-20ක් තිබුණත් ඒවායේ දීර්ඝ බවක් අපට දැනුණා. හොඳ ගුණාත්මක නිර්මාණ එදා බිහිවුණා. අද තාක්ෂණයේ දියුණුවයි ශිල්පීන්ගේ බිහිවීමයි දිහා බලද්දී ඒවායේ වර්ධනය වැඩි වෙද්දී ගුණාත්මක බව අඩුවී තිබෙනවා. පිටරට තාක්ෂණය කොච්චර පාවිච්චි කරනවද...? ඒත් ලංකාවේ තිබෙන්නේ පිරිහීමේ තත්ත්වයක්. රංගනය කියන්නේ බොහෝම අමාරු කාර්යයක්. මේක ඉතා ලේසියි කියලා හිතාගෙන එන පිරිස් මෙය ඉතා සැහැල්ලුවට ගන්නවා. එයින් ටෙලිනාට්‍ය කලාවේම ගුණාත්මක භාවය හීනවෙනවා. ලෝකයේ තිබෙන අමාරුම රැකියා 10න් එකක් ලෙස රංගනය හඳුන්වනවා. රංගනය කියන්නේ මනස සහ ශරීරය සැහැල්ලුවෙන් තබාගෙන කළ යුතු ව්‍යායාමයක්. අද පරපුර මෙය සුළුවෙන් තැකීමම පරිහානියට හේතුවක් වෙලා.


රංගනය න්‍යායාත්මකව හැදෑරීම රංගන ශිල්පියකුට, ශිල්පිනියකට වැදගත් වන්නේ කෙසේද....?


න්‍යායාත්මක පැත්තෙන් අද වෙද්දී ගොඩාක් අය පොහොසත් . පොතපත කියවීමෙන්, රධභබභඡඥ වැනි සමාජ මාධ්‍යජාලා තුළින් න්‍යායාත්මක දැනුම ලබාගැනීමේ අවස්ථාව අද ඕන තරම් තිබෙනවා. ඒත් බොහෝ අයගේ ප්‍රායෝගික පැත්ත අසමත්. න්‍යායාත්මක පැත්ත සේම ප්‍රායෝගික පැත්තත් ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුයි. න්‍යායාත්මක පැත්ත ඕන විදිහට හදාගන්න පුළුවන්. ඒත් බොහෝදෙනා ප්‍රායෝගික පැත්තට අදක්ෂයි. ප්‍රායෝගික සහ න්‍යායාත්මක දෙපැත්තම සමබර කරගෙන යන ගමන ඉතා සාර්ථක වේවි


සිනමාවට ඔබේ දායකත්වය ....?


සිනමාවට නම් මම එච්චර දායක වෙලා නැහැ. බොහොම සීමිත චිත්‍රපට කිහිපයක පමණයි වැඩකරලා තියෙන්නේ. කාල, රංකොල්ලා, මධුර චාරිකා, මිස් ජෙනිස් වගේ නිර්මාණ කිහිපයකට විතරයි දායක වෙන්න ලැබුණේ . සිනමාවේ මට තව වැඩකරන්න පුළුවන් . මගේ හැකියාවෙන් තවම සිනමාවේ වැඩ අරගෙන නැහැ කියලා කියන්න පුළුවන්. මම ‘මාදනී’ නොවී කරන්න ලැබෙන චරිත කරන්න ආසයි.


මෙරට කලාව පෝෂණයට ඔබ ඉදිරිපත් කරන යෝජනා මොනවාද....?


වේදිකාවට හොඳම නිර්මාණ එනවා..රජයෙන් වේදිකා නාට්‍යකරුවන්ට යම් සහනයක් දෙන්න ඕනෑ. රංග ශාලා සහනදායි මිලකට පවත්වාගෙන යන්න යම් යෝජනාවලියක් අවශ්‍යයි. ඒ සඳහා නියාමනයක් ගේනවා නම් එය නාට්‍යකරුවා වෙනුවෙන් ගන්නා හොඳ සුබවාදී තීරණයක්. නාට්‍යකරුවාට දිරිගැන්වීමක් කළ යුතුයි. ටෙලිනාට්‍යවල ගුණාත්මක බව ගැනත් සැලකිලිමත් විය යුතුයි. හොඳ රසවින්දනයක් සහිත නිර්මාණ තෝරාගැනීමක් කළ යුතුයි. ඒ කිරුම් මිනුම් දඬු එක්ක ටෙලිනාට්‍ය තෝරාගන්නවානම් හොඳයි. සිනමාවත් නමට විතරක් තිබෙන බව පේනවා. එහිද ගුණාත්මක බව, උසස් බව රැකගෙන හොඳ සිනමා කෘති බිහි කරන්න හැකි වාතාවරණයක් රජයේ මැදිහත්වීමෙන් හෝ කළයුතුයි.


ඔබත් මෙගා කියා හඳුන්වන ටෙලිනාට්‍යවල රඟපානවා නේද....?


ලංකාවේ රංගනයට වෘත්තිය මට්ටමක් නැහැනේ. හොලිවුඩ්, බොලිවුඩ්වල නම් කලාවට වෘත්තිය මට්ටමක් තියෙනවා. මේ කලාවෙන් තොරව මට වෙනත් රැකියාවක් කරන්නත් බැහැ. ජීවත්වීම ගැනත් සිතන්න ඕන. ආර්ථික ප්‍රශ්නවලටත් මුහුණදෙන්න වෙනවා. ඒනිසා ඔය මෙගා කියන ටෙලිනාට්‍යවලට මමත් සම්බන්ධ වෙනවා. පිටපත කියවලා, චරිතය ගැන කතාබහ කරගෙන තමයි සම්බන්ධ වෙන්නේ . ආර්ථික පැත්තත් බලනවා.


ඔබේ ඉදිරි නිර්මාණ ගැන සිහිකළොත් ....?


වේදිකාවේ නම් අකිල සපුමල්ගේ ‘උඩරට කොල්ලයි පහතරට කෙල්ලයි’ කියන වේදිකා නාට්‍යයේ පෙරපුහුණුවීම් කරගෙන යනවා. ඒක ඔක්තෝම්බර් මාසයේ වගේ එල්ෆින්ස්ටන්හිදී වේදිකාගත වේවි. පරණ වේදිකා නාට්‍ය කිහිපයක්ම නැවත කරගෙන යනවා . ‘සමවිෂම’ ඉදිරියටත් කරගෙන යන්න සූදානමින් ඉන්නවා. කැලණි පාලම, සුද්දෙක් ඔබ අමතයි, මධුර ජවනිකා, බක්මහ අකුණු ආදී වේදිකා නාට්‍ය කිහිපයක් කරගෙන යනවා. ටෙලිනාට්‍ය දෙකකට පමණ කතා කරලා තියෙනවා . මේ දිනවල ඍචජචබඪධද ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා


පවුලේ විස්තර මතක් කළොත්...?


මගේ පුතා ඉන්නවා. එයා උසස්පෙළ ලියලා අවසන්. ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. නාට්‍ය හා රංගකලාව, සංගීතය, ජනමාධ්‍ය විෂයයන් තමයි උසස්පෙළට හැදෑරුවේ. එයත් කලා අංශයට සම්බන්ධ වෙලා ඉන්නවා. එයා ‘සිල්වෙස්ටර් ආයෙමත්’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය කළා. ඊට අමතරව අකිල සපුමල්ගේ ‘ගුත්තිල කාව්‍යය’ , ‘ඊඩිපස්’ වගේ වේදිකා නාට්‍යවල රඟපානවා. දුලාන් වීරසිංහගේ ‘රැඩිකල් ප්‍රේමයක්’ වේදිකා නාට්‍යයේත් ඔහු රඟපෑවා . එය අතිශය සාර්ථක නිර්මාණයක් . ටෙලිනාට්‍යවලටත් පුතාට කතා කරලා තියෙනවා.





Previous Post Next Post