මම බොරුකාරයන්ට අකැමැති ඇත්ත කියන කෙනෙක් - චිත්‍රාල් සෝමපාල



ඔහු ලාංකේය සංගීත ක්‍ෂේත්‍රය තුළ හැරවුම් ලක්ෂ්‍යයක් සලකුණු කළ සංගීතඥයෙක්. ඔහු රොක් සංගීත ශෛලිය ලාංකිකයාට හදුන්වාදුන් පුරෝගාමී සංගීතඥයාය. එමෙන්ම මොහු ලක් මවගේ නාමය අන්තර්ජාතික තලයට ගෙන ගිය ප්‍රබල සංගීතඥයෙක්. ලාංකික සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කරමින් නව පර්යේෂණාත්මක සංගීතයන් රසිකයාට නිරන්තරයෙන් ලබාදෙන ඔහු ලාංකික සංගීත නදියෙහි උඩුගම් බලා පිහිනා යන මිනිසෙක්. අද  එක්වන්නේ  ප්‍රවීණ සංගීතඥ චිත්‍රාල් සෝමපාල. 


කලාකරුවා සහ දේශපාලනය මේ පිළිබඳව ඔබේ අදහස?


මම දකින විධියට මේ පිළිබඳව කතා කරන බොහෝ පිරිස් හැසිරෙන්නෙ දේශපාලනය තියා තමන්ගේ ජීවිතය ගැනවත් හරියට නොදැන. මේ පිරිස මිනිස්සුන්ව ලේබල් කරනවා ඔවුන් ගැන කිසිදු දෙයක් දන්නෙ නැතිව. එක් වරක් මට මතකයි විශිෂ්ට රංගධරයෙක් වෙන රොබට් දි නීරෝ Tony සම්මාන උළෙලේදී කිසිදු පැකිළීමකින් තොරව එවකට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරුෂ වදනින් බැන වැදුණා. ලංකාවේ කලාකරුවන්ට එහෙම බරපතළ හැකියාවක් නැහැ. ඔවුන් කරන්නෙ දේශපාලකයන්ට හොරෙන් කඩේ යන එක. ලංකාවේ ඇතමුන් මාව විවිධ අයුරින් ලේබල් කරනවා.


ඇතමුන් කියන විධියට මම ආණ්ඩුවට කඩේ යනවලු. මිනිස්සුන්ට එක එක දේවල් කියනවලු. මිනිස්සු හරියට හ¾දුනාගෙන නැහැ මම කවුද කියන එක. මම අවුරුදු තිස් අටක් මගේ මවුබිමෙන් වෙන්වෙලා ගිහින් ජර්මනියෙ දිවි ගෙවූ පුද්ගලයෙක්. මම ලංකාවෙ පුරවැසියෙක් නෙවෙයි. මම ලංකාවේ ඡන්දයක් දාලත් නැහැ. දාන්න යන්නෙත් නැහැ. මට වැඩකුත් නැහැ. මම සංගීතඥයෙක්. කෙළින් කතා කරන මනුස්සයෙක්. මම කැමැති නැහැ සංගීතය බැරි උදවිය ඇවිල්ල වැඩ පෙන්වන්න යනවට.


ඔබේ නවතම ගීතය ලොවීනා ඒ ගැන කතා කරමු?


මේ ගීතයේ සංගීත නිර්මාණය සිදු කළේ සුරේෂ් මාලියැද්ද. මෙහි පද රචනාව සිදු කළේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න. එම පද මාලාව ඉතා ගැඹුරු සාහිත්‍යමය විභවයකින් යුතු කාව්‍යාත්මක පද මාලාවක්. මාත් සමඟ මේ ගීතය ගායනා කළේ කාංචනා අනුරාධි කියන දක්ෂ ගායිකාව. ලංකාවෙ දෙවැනි ආණ්ඩුකාවරයා වුණු තෝමස් මේට්ලන්ඩ් සහ ලොවීනා අපෝන්සු කියන රොඩී කුලයේ කාන්තාව අතර තිබුණු ප්‍රේම අන්දරය තමයි මේ ගීතයට පාදක වෙන්නෙ. මේ ආදර කතාව පිළිබඳ බොහෝ පිරිස දන්නෙ නැහැ. තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ඇයට යන්න එන්න තමන්ගෙ නිවහනෙහි රහස් උමඟක් පවා නිර්මාණය කරනවා. මේ ආදර අන්දරය දැන ගත් ජෝර්ජ් රජු තෝමස් මේට්ලන්ඩ්ව වෙනත් රටකට යවනවා. අවසානයේ ඇය කන්දෙන් පැනලා සියදිවි නසා ගත්තා කියලා තමයි කතාවෙ කියවෙන්නෙ. ඔය කතාව ඇසුරින් තමයි මේ ගීතය නිර්මාණය වෙන්නෙ. මේක ගොඩක් වෙනස් ගීතයක් කියලා බොහෝදෙනා කියනවා. විශාල පිරිසක් මගේ රංගනය ගැනත් කතා බහ කළා. ඒ හැකියාව නම් මට ලැබුණෙ මම ජර්මනියේ ගත කරන කාලය තුළ තියටර් එකත් සමඟ මට තිබුණු විශාල ගනුදෙනුව නිසා.


නදී ගංගා තරණයේ ගීතය ලංකාවේ මුල්ම රොක් ගීතය නෙවෙයි කියා ඔබ වරෙක කියනවා?


නදී ගංගා තරණය කියන ගීතය ජිමී ක්ලිෆ්ගෙ මෙනි රිවර්ස් ටු ක්‍රොස් ගීතයෙන් නිර්මාණය වුණු ගීතයක්. මම ඒක බොහෝදෙනෙක්ට කියලා තිබෙනවා. පසුකාලීනව ඇතැම් පිරිස් මට මම මේ ගීතය කවර් කරපු නිසා ‍ෙදා්ෂාරෝපණය පවා සිදු කළා. මේ ගීතය වෙළෙඳ ප්‍රචාරණයක් සඳහා නිර්මාණය කළ ගීතයක්. ඕස්ට්‍රේලියාවල මේ වෙළෙඳ දැන්වීමට ගායනා කරලා තිබුණෙ ජිමී බාන්ස්. ජිමී බාන්ස්ගෙ සහ මගේ කටහඬ බොහෝ සේ සමානයි. ඒ අනුව තමයි මේ ආයතනය මාව මේ ගීතය සඳහා තෝරා ගෙන තිබුණේ. මෙහි පද රචනාව සිදු කළේ බර්ට්‍රම් නිහාල්. මම මුල් ගීතයේ යම් වෙනසක් සිදු කරමින් මේ ගීතය ස්ලෝ රොක් ගීතයක් බවට පත් කළා. 1997 තමයි මේ ගීතය නිර්මාණය කළේ.


වත්මන් ලාංකික සංගීත ක්‍ෂේත්‍රයේ පවතින රොක් දහරාව ගැන ඔබේ අදහස?


ඇත්තටම ලංකාවේ රොක් ඉන්ඩස්ටි්‍ර එකක් නැහැ. ඒක තිබෙන්නෙ අන්ඩග්‍රවුන්ඩ් එකේ එහෙමත් නැත්නම් යටිබිම්ගතව. තරුණ පිරිස රොක් වෙන්න හදනවා යටි ගිරියෙන් කෑ ගහලා. ඒක නෙවෙයි රොක් කියන්නෙ. සංස්කෘතියක් සහ ආගමක් බදාගෙන සිටින රටක රොක් කියන සංගීතය යථාර්ථයකට පත්වෙයි කියලා සිතන්න බැහැ. අනෙක් දෙය තමයි රොක් කියන්නෙ ඇඟේ තිබෙන්න ඕන දෙයක්. හැම තිස්සෙම තමන්ට ගැළපෙන දේවල් කරන්න. ගැළපෙන්නෙ නැති දේවල් ආස වුණත් කරන්න බැහැ. මම ආසයි ගුවන් නියමුවෙක් වෙන්න එහෙමයි කියලා මට ප්ලේන් එකක් අරන් යන්න පුළුවන්ද බැහැනේ.  ඒවගේ තමයි ලංකාවෙ වෙන දේවල් සිද්ධ වෙන්නෙ.


ලාංකික තුළ ශානරීය වශයෙන් බෙදීමක් දක්නට නැත්තේ ඇයි?


මගේ ගීත රසවිඳපු පුද්ගලයන් දන්න දෙයක් තමයි මම මගේ ශෛලියෙන් පිට යන්නෙ නැහැ. නමුත් බොහෝ පිරිස එක් සංගීත ශිල්පියෙක්ගෙ ගීතයක් හිට් වුණ පසුව එවැනිම ගීත රාශියක් හදන්න උත්සාහ දරනවා. මම නිකමට ඇහුවොත් ලංකාවේ සංගීතඥයෙක්ගෙන් ඔයාගෙ සංගීත ශානරය මොකක්ද කියලා එයාට කට උත්තර නැති වෙනවා. අපි නිදසුනක් විධියට ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයගෙන් ඇහුවොත් මොකක්ද කියලා. ඔහු කියයි ශ්‍රී ලන්කන් පොප් කියලා. මගෙන් කවුරු හරි ඇහුවොත් ඔයාගෙ ශානරය මොකක්ද කියලා මම කෙළින්ම කියනවා රොක් ඇන්ඩ් බ්ලූස් කියලා. දැන් ඉන්න අය රැල්ලට අහුවෙලා ගහගෙන යනවා.


සමාජ මාධ්‍යජාලා පරිහරණය කරන පිරිස චිත්‍රාල් සමඟ මේ තරම් උරණ වෙන්නෙ ඇයි?


ඒකට හේතුව අපේ මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න බැහැ. ඒගොල්ලො ජීවත් වෙන්නෙ බොරුවෙන්. ටැලන්ට් ෂෝවලින් බිහිවෙන පිරිස ගන්න කොච්චර පිම්බුවත් අන්තිමේදී නැති වෙලා යනවා. මම ඇත්ත කියන කෙනෙක්. මම බොරුකාරයන්ට කැමැති නැහැ. මම මගේ දෙය කරගෙන ඉන්න කෙනෙක්. අනෙක්් දෙය ඔය විධියට මාව විවේචනය කරන පිරිස මං ගැන දන්නෙ නැහැ. මට බැනපු සමහර මිනිස්සු පස්සෙ මාත් එක්ක ඇවිල්ල කතා බහ කරනවා. ඔවුන් මට කියනවා අයියෙ අපි ඔයා මේ වගේ කෙනෙක් කියලා දැන ගෙන හිටියෙ නැහැ කියලා. මම අනෙක් කලාකරුවො වගේ නෙවෙයි කෙළින් මිනිහෙක්.


මහමෙරක් සේ ගීතය ගැන කතා කරමු?


මේ ගීතය මම පුද කළේ දලයිලමාතුමාට. මට ඒ මොහොතෙ විශාල සතුටක් දැනුණා. මගේ පාසල් කාලෙ මිතුරෙක් වෙන චමින්ද පෝරගේ තමයි මෙහි පද රචනාව සිදු කළේ. ඔහුත් මා සමඟ දලයිලාමාතුමා හමු වෙන්න පැමිණියා. මේ ගීතයෙන් කියන්නෙ එතුමාට අපේ ලංකා භූමියට වඩින්න කියලා. ඔහු අපේ ආරාධනාවට බොහොම ස්තුතියි කීවා. නමුත් චීනයත් සමඟ ඔබ රටට තිබෙන දේශපාලන සබඳතා හේතුවෙන් මම ඔබේ රටට එන එක අවදානමක් කියලා එතුමා පැවැසුවා.


නව පරපුරට කියන්න තිබෙන්නෙ මොනවාද?


මට කියන්න තිබෙන්නෙ රැල්ලට යන්න එපා කියලා. ඒක නව පරපුරේ තිබෙන ලොකු අඩුපාඩුවක්. අනෙක් දෙය සල්ලිවලට ඇබ්බැහි වෙන්න එපා. හැම තැනම වැඩිය පෙනී සිටින්න යන්නත් එපා. මට මතක් වෙනවා ශ්‍රියන්ත මෙන්ඩිස් මට කියපු කතාවක්. ඒක ශ්‍රියන්තට කියලා තිබුණෙ ගාමිණි ෆොන්සේකා. එයා මෙන්න මෙහෙම කියලා තිබුණා. වැඩිය ඔය හැම තැනම පෙනි පෙනී වොයිස් කට් දෙන්නයි අරව කරන්නයි මේවා කරන්නයි යන්න එපා. බලනවා දෙවියන් වහන්සෙ අපිට පේන්න ඉන්නවාද නෑනේ. ඒ වුණාට මිනිස්සු කොච්චර බයද? ඒ වගේ තමයි අපි ඕනාවට වඩා පෙනී සිටින්න ඕන නැහැ.


ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු?


චැප්මන් ස්ටික් කියන වාද්‍ය භාණ්ඩය මම 1989 පටන් වාදනය කරනවා. මම බොහෝ කාලයක පටන් මේ වාද්‍ය භාණ්ඩය සමඟ යම් පර්යේෂණාත්මක සංගීතමය අත්හදාබැලීමක් සිදු කරනවා. මේක Experimental Hard Rock කියන ශානරයට අයිති වෙන සංගීත ව්‍යාපෘතියක්. මේ ගීතයන්ගේ පද රචනා පවා දේශපාලනය, අසාධාරණය, විනාශය ගැන කතා කරන ගැඹුරු පද රචනාවන්ගෙන් සමන්විතයි. ඉතින් බලමු අපි මේ සංගීතයට රසිකයන් ඇබ්බැහි වෙන්නෙ කොහොමද කියලා.


ගිහාන් සචින්ත





Previous Post Next Post