මගේ ලොකුම හීනය ලංකාවෙ සින්දුවක් එළියට ගෙනියන එක-දිනේෂ් ගමගේ

 


මිලියන ගණනින් නරඹමින් සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් සංසරණය වන දිනේෂ් ගමගේ ගයන ‘මල කඩ කඩ‘ ගීතය මේ දිනවල ට්‍රෙන්ඩිං ලිස්ට් එකේ ඉහළින්ම වැජඹෙන ගීතයකි. මියුසික් වීඩියෝව සඳහා දමිළ හැඩයේ රූප රාමු පෙළක් එක්කිරීම ද මෙය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගැනීමට හේතුවක් වන්නට ඇත. වෙරළු මල් ගීතය මෙන්ම කාංචනා අනුරාධි සමඟ ඔහු ගැයූ ‘දැනෙනා තුරු මා‘ ගීතය ද ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත් ගීතයන්ය. මල කඩ කඩ ගීතයත් සමඟ මේ දිනවල ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටින දිනේෂ් අද අපේ කතාබහට එක්විය.


මල කඩ කඩ ගීතය මේ දිනවල ට්‍රෙන්ඩිං ලිස්ට් එකේ ඉහළින්ම තියෙන ගීතයක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


මල කඩ කඩ ගීතය මේ වෙද්දි මිලියන හතරහමාරකට ආසන්න ප්‍රමාණයක් නරඹල තියෙනව. සති දෙකක්ම එක දිගටම ට්‍රෙන්ඩිං ලිස්ට් එකේ අංක එක වුණා. ඒ ගැන හරිම සතුටුයි. සින්දුවේ මෙලඩි එක මගේ. සංගීතයෙන් මාත් එක්ක ආකාශ් මැදගෙදර එකතු වුණා. පද රචනය මනුරංග විජේසේකර. රැප් එක කයිසර්ගේ. මියුසික් ඩිරෙක් කළේ තිසර ඉඹුලාන. ඩාන්සින් කොරියොග්‍රැෆි කාවින්ද මධුෂාන්, රඛිත, සරන්රාජ්, මධුසර, දිහාන් වාදනයෙන් එක්වුණා. විනෝද් මැදගෙදර තමයි සංගීත සංයෝජනය. කාලෙකට පස්සෙ ශේෂාද්‍රි අක්කත් අපිත් එක්ක එකතු වුණා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


 ඇයි මේ සින්දුවට දමිළ ආරක් ගේන්න හිතුවෙ?


මගේ සින්දු ටයිප් එකට ගැළපෙන විදිහට කළේ. කොහොමත් මගේ ගම නුවරඑළිය නිසා පුංචි කාලෙ ඉඳන් හැදුණ වටපිටාවත් එක්ක මගේ නිර්මාණවලට දමිළ සම්භවය එකතු වුණු අවස්ථා තිබුණා. මල කඩ කඩ ගීතයේ දමිළ වර්ෂන් එකත් කරල තියෙන්නේ. ළඟදීම ඒක රිලීස් කරනවා.


 

ශේෂාද්‍රිවම මේකට සම්බන්ධ කරගන්න විශේෂ හේතුවක් තිබුණ ද?


මියුසික් වීඩියෝ එක ඩිරෙක් කළ තිසර අයිය තමයි ගන්නෙ කවුද කියන එක තීරණය කළේ. මේකට ටිකක් වේට් එකක් තියෙන කැරැක්ටර් එකක් ඕන කළා. ශේෂාද්‍රි අක්කත් ගොඩක් කාලෙකින් වැඩකට සම්බන්ධ නොවුණු නිසා එයාව තෝරගන්න ඇති. එයාගෙ පෙනුමත් දමිළ හැඩයට ගන්න පහසු වුණා. ශනුද්‍රි එක්කත් කලින් එකක් කරල තියෙනවා. ගැළපෙන එකක් ලැබුණොත් ඉදිරියෙදි එයත් සම්බන්ධ වේවි.


දැනෙනා තුරු මා, සෙංකඩගල නුවරට වගේ ළයාන්විත ගීත ගායනා කරපු දිනේෂ් එකපාරටම වේග රිද්මයකට ගියේ ඇයි?


ඉන්දියානූ සික්ස් පැක් විදිහට යන ගීතයක් කාලෙකින් මට ලංකාවෙදි හමු වුණේ නැහැ. ඒ නිසා මට හිතුණ ඒ වගේ එකක් කළොත් හොඳයි කියලා. ඒක තමයි ප්‍රධාන හේතුව වුණේ මේ වගේ ගීතයක් කරන්න. ඇත්තටම මේක නෙවෙයි රිලීස් කරන්න හිතන් හිටියෙ සමිතා අක්ක එක්ක කරපු ඩුවට් එකක්. මේ දවස්වල මටයි, කයිසර්ටයි කොන්සට්වලට ලැබෙන ආරාධනා වැඩි නිසා අපි හිතුව ඒකට හරියන්නත් එක්ක වේග රිද්මයට යන එකක් කළොත් හොඳයි කියල.


 දිනේෂ් - කයිසර් සුසංයෝගය සාර්ථකයි වගේ නේද?


ඔව්. කයිසර්ටයි මටයි ගොඩක් කොන්සට්වලට ආරාධනා ලැබෙනවා. කයිසර් රැපර් කෙනෙක් විදිහට එයාගෙ තනි ඒවත් කරනව. මමත් මගේ තනි ඒවත් කරනවා. ෂෝවලදි අපි දෙන්න එකට සම්බන්ධ වෙනවා. වෙරළු මල් ගීතයෙන් පස්සෙ අපි දෙන්නට ගොඩක් ආරාධනා ලැබුණා. කරපු ඒව ඉදිරියට එන්නත් තියෙනවා.


 රැප් එකක් ගීතයකට අවශ්‍යමයි කියල ද හිතන්නෙ?


එහෙම නෑ. රැප් එකක් අවශ්‍යයි කියල දැනෙන එකකට විතරයි යොදාගන්නෙ. මං අන්තිමට කළ ‘සෙංකඩගල නුවරට‘ ගීතය වගේම ෆිල්ම් එකකට කළ ‘මං තනියම‘ එකට රැප් තිබුණෙ නෑ. මල කඩ කඩ ගීතයට රැප් එකක අවශ්‍යතාව දැනුණ නිසා ඒකට රැප් එකක් යොදාගත්තා.


 ඔබ ප්‍රේක්ෂකයන් වඩාත් හොඳින් හඳුනගත්තෙ දැනෙනා තුරු මා ගීතයෙන් කිව්වොත්?


කාංචනා අනුරාධි එක්ක කරපු දැනෙනා තුරු මා ගීතය තමයි ගොඩක්ම ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ඇයත් එක්ක තවත් ගීතයත් කළා. ඒකෙ වීඩියෝ එකත් කරල තියෙන්නේ. ඉක්මනින්ම රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.


 දිනේෂ් කලාවට සම්බන්ධ වෙලත් දැන් සෑහෙන කාලයක් නේද ?


මං කලාවට සම්බන්ධ වෙන්නෙ තනු නිර්මාණ ශිල්පියෙක් විදිහට. ඒ දැනට අවුරුදු 6කට කලින්. ශෂිකා නිසංසලාගේ චන්ද්‍රා පායන්න, රයිනිගෙ කළුවරට හිත බය හින්දා, වස්ති එකේ අනුෂ්ක උදානගෙ මන්දාරම් කතාවේ තනු නිර්මාණය කළේ මං. ඊට පස්සෙ මං ලියලා, සංගීතවත් කරගෙන, ගායනා කළ තමරසා ගීතය තමයි මාව ගායනයට යොමු කළේ. රතුතොල්, ඔයයි මමයි වගේ ගීතත් මගේම නිර්මාණ.


ඔබ සිනමාවට වගේම ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා තියෙන්නෙ සංගීතය පැත්තෙන්. කඩවසම් පෙනුමකුත් තියෙන එකේ රංගනයට ආරාධනා ලැබුණෙ නැද්ද?


ගජමෑන් ෆිල්ම් එකට කළ සින්දුව රිලීස් වෙලා තියෙන්නේ. තව ටෙලි නාට්‍ය කිහිපයකටත් තේමා ගී ගායනා කළා. කරපු ෆිල්ම් එකක් ඉදිරියෙදි එන්නත් තියෙනවා. රංගනයට ගොඩක් ආරාධනා ලැබුණා. මම භාරගත්තෙ නෑ. පුළුවන් දේ කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතුණා.


 දිනේෂ් ඉන්දියාවත් එක්ක එකතු වෙලා නිර්මාණ කරනව කියන කතාව ඇත්තක්ද?


මට ඉන්දියාවෙන් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. කොවිඩ් වසංගතය නිසා ඒවා ටිකක් ප්‍රමාද වුණා. ඉදිරියෙදි ඒ සියල්ල කරන්න සූදානම් කරගෙනයි තියෙන්නෙ. මගේ ලොකුම හීනය ලංකාවෙ සින්දුවක් එළියට ගෙනියන එක.





Previous Post Next Post