මටත් ප්‍රේමයක් තියෙනවා ,රැඩිකල් ප්‍රේමයෙන් ඔබ හමුවන – සුලෝචනා




ඇය නමින් සුලෝචනා හැරපත්දෙණිය. පසුගිය කාලයේ අපට ඇයව මුණගැසුණේ ‘හියුමන් එර්ස්. හි දේවිගේ චරිතය හරහායි. මේ දිනවල දුලාන් වීරසිංහගේ ‘රැඩිකල් ප්‍රේමයක්. වේදිකා නාට්‍යය තුළින් ද ඇයව අපට මුණගැසෙනවා. ඉතිං අපි සුලෝචනාගේ හඬට මේ ඉඩකඩ වෙන් කළා.


සුලෝචනා ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්?


මගේ උපන් ගම රත්මලාන. අපේ පවුලේ ඇතිවුණ කාරණා කිහිපයක් හින්ද අපිට නාත්තණ්ඩියට යන්න වෙනවා. මගේ වැඩ කරන්න අපහසු හින්දා මම ආපහු කෙළඹ එනවා. දැන් මම පදිංචිවෙලා ඉන්නෙ හෝමාගම.


මේ දවස්වල මොකද වෙන්නේ?


මේ දවස්වල අපි වේදිකා නාට්‍යයක් කරනවා ‘රැඩිකල් ප්‍රේමයක්. කියලා. එහි ප්‍රධාන චරිතවලින් එකක් මා නිරූපණය කරනු ලබනවා. ඊට අමතරව රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සහ රූපරචනාවලට සම්බන්ධ වෙනවා. තවත් ටෙලි නාට්‍ය දෙකකට සහ චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිල තිබෙනවා. තවම ඒවා සාකච්ඡා මට්ටමේ තමයි තියෙන්නේ.


රැඩිකල් ප්‍රේමයක්. මොන වගේ කතාවක්ද?


රැඩිකල් ප්‍රේමයක් කියන්නේ ප්‍රේමයක් ගැන කියැවෙන කතාවක්. රැඩිකල් කියන වචනය භාවිතා කරල තියෙන්නේ අපි දකින සාම්ප්‍රදායික ප්‍රේමයට වඩා වෙනස් විදිහකට ප්‍රේමය ගැන කතා කරන වේදිකා නාට්‍යයක් නිසයි.


‘ප්‍රේමය රැඩිකල්‘ කියලද කියන්නෙ?


මෙහෙමයි අපි දැන් සාමාන්‍යයෙන් රැඩිකල් කියන වචනය භාවිතා කරන්නේ කැම්පස් යන කට්ටියනේ. එතකොට ගොඩක් අයට හිතන්න පුළුවන් මේ ආදර කතාවත් ඒ වගේ දෙයක් ද කියලා. නැහැ” මේක සම්පූර්ණයෙන් වෙනස් කතාවක්. ප්‍රේමය ගැන තමයි කතා කරන්නේ. නමුත් ඒ ප්‍රේමයේ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා.


පසුගිය දවස්වල ඔබ රංගනයෙන් දායක වුණු  ‘හියුමන් එර්ස්. හරි ජනප්‍රිය වුණා?


හියුමන් එර්ස් කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍ය රංගන අත්දැකීම. ඒ වෙනුවෙන් මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනෑ චානු දිසානායකට සහ සුපුන් රත්නායක කියන අපේ අධ්‍යක්‍ෂවරයාට. චානු නිසයි මම සුපුන් අයියව අඳුර ගත්තේ. දේවි චරිතය බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුණා.


සුලෝචනාගේ වැඩි සම්බන්ධයක් තියෙන්නෙ වේදිකාවට ද?


සාමාන්‍යයෙන් මට රංගනයට අවුරුදු තුන හතරෙ ඉඳල ආරාධනා ලැබෙනවා. හැබැයි මට වුවමනාව තිබුණේ ඉගෙන ගෙන මේ ක්‍ෂේත්‍රයට එන්න. එතැනදී මම මාධනී මල්වත්ත සහ තිළිණ වීරසිංහ කියන දෙදෙනා යටතේ රංගනය හදාරනවා. මම ජීවිතේට හිතුවෙ නැහැ වේදිකාවක රංගනයෙන් දායක වෙන්න පුළුවන් කියලා. අන්තිමේ මට ඒ අවස්ථාව උදාවුණා.


රඟපෑම හදාරන්න හිතුවේ ඇයි?


මම හිතනවා පැවැත්මක් තියෙන්නේ යම්කිසි හැදෑරීමක් ඇතිව ආවොත් විතරයි කියලා. මොකද ඒක මම අවුරුදු ගණනාවක් තිස්සේ ට්‍රයි කරපු දෙයක්. ගිය වසරෙ තමයි මට ඒකට අවස්ථාව උදාවුණේ.


හියුමන් එරස් වගේ පිටපතකට සම්බන්ධ වෙන්න බය හිතුණේ නැතිද?


එතැන වැඩි කතාබහට ලක්වෙන චරිතය කරන්න තියෙන්නේ චමත්කාට. මට තියෙන්නේ සෙකන්ඩ් රෝල් එක. ප්‍රේක්‍ෂකයන් අතර කතාබහට ලක්වෙන එක හොඳ දෙයක් නේ. සමාජයෙන් හංගන්න හදන දෙයක් අවසානයේ මොකද වෙන්නෙ කියලා පෙන්වන්න කරපු කතාවක්. මම ලොකු රිස්ක් එකක් ගත්තා කියල හිතෙන්නේ නැහැ.


සුලෝචනාගේ ප්‍රේමය මොන වගේද?


අපි හැමෝම ප්‍රේම කරනවානේ. ඉතිං මටත් ප්‍රේමයක් තියෙනවා. ඒක සාමාන්‍ය විදිහට ගලාගෙන යනවා.


ඔබ නිරූපණයටත් සම්බන්ධයි?


ඔව්. මම බ්‍රයිඩ්ල් මොඩ්ලර් කෙනෙක් විදිහට වැඩ පටන් ගත්තෙ 2020 වසරේ. ඊට කලිනුත් මම නිරූපණ වැඩකටයුතු කළා. ඒ කාලේදී රඟපෑමට එන්න කැමැත්ත තිබුණා. ඒකට පියවර තියන්න ඕනෑ කියන එක හරියටම ඉෂ්ට වුණේ 2020 වසරේ.


රඟපෑමට කැමැත්ත” ආශාව තිබුණට අවස්ථාව හිමි නොවුණ තැන් තියෙනවාද?


අනිවාර්යයෙන්ම. පුංචි කාලෙ ඉඳලම මට ඕනෑ වුණේ නිළියක් වෙන්න. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඉතිං අපේ අම්මාට ඕනෑ වුණා මාව හරි මල්ලිලා දෙන්නව හරි කලාවට යොමු කරන්න. ඒ වෙනුවෙන් පුංචි කාලෙ සෑහෙන ට්‍රයි කළා. ඒ වුණාට අවස්ථාවක් හම්බ වුණේ නැහැ. ඊට පස්සෙ ඒ ආශාවත් එහෙමම යටපත් වුණා.


ඊට පස්සෙ මොකද වුණේ?


පස්සෙ කාලෙක 2022 මට නලීන් මාපිටිගම මහත්මයා කතා කරනවා” ඔහුගේ ටෙලි නාට්‍යයක චරිතයක් සඳහා. එතැනදී තමයි මට ආපහු මේ ගැන උනන්දුවක් ආශාවක් ඇති වෙන්නේ. නමුත් ඒ දවස්වල රටේ තිබුණ වාතාවරණයත් එක්ක ටෙලි නාට්‍යය කරන්න හම්බවුණේ නැහැ. ඒ වුණාට මගේ උත්සාහය අත්හැරිය නැති නිසා මගේ ගමන සාර්ථක වෙලා තිබෙනව කියල හිතෙනවා.


රඟපෑමට සීමා මායිම් තියෙනවාද?


මම තවම රංගනයට අලුත්. ඒ නිසා මම දැනට රංගනය ඇතුළෙ දාගත්තු සීමාවන් කිහිපයක් තියෙනවා. අත්දැකීම් ලබද්දී ඒ දේවල් සමහර විට වෙනස් වෙන්න පුළුවන්.


ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?


මට මේ ලැබෙන ජනප්‍රියත්වය ලැබුණේ හියුමන් එරස් හරහායි. ඒ ගැන පුංචි සතුටක් තියෙනවා. අදටත් මට බොහෝ දෙනෙක් දේවි කියන නමින් කතා කරනවා.


‘රැඩිකල් ප්‍රේමයක්. රටවටා යන්න සූදානම් ද?


ඔව්. මෙහි අධ්‍යක්‍ෂ දුලාන්ගේ අදහසක් තිබෙනවා රැඩිකල් ප්‍රේමයක් රටවටා අරගෙන යන්න. නමුත් මෙහි නළු නිළියන් ප්‍රමාණය වැඩි නිසා අභියෝග රැසක් තිබෙනවා.


කලකිරීම්වලට මුහුණ දුන්නාද?


මට කලකිරීම් ඇතිවෙන්න තරම් ලොකු කාලයක් නැහැ. සමහර අවස්ථාවලදී ළඟටම ඇවිල්ලා ගිලිහුණ අවස්ථා තියෙනවා. මම විශ්වාස කරන්නෙ හොඳම දේ හොඳම වෙලාවට ලැබෙන්නේ කියලා.


මේ ඔබේ හොඳම කාලය ද?


මම හිතනවා මම මෙච්චර කල් බලාගෙන හිටියා” මට දෙයක් ලැබෙනකම්. මම ඒ වෙනුවෙන් උත්සාහ කළා. ඒ උත්සාහයත් අසාර්ථක වුණ තැන් ඕනෑ තරම් තියෙනවා. නමුත් මම දැන් කාපු කට්ටට යම්කිසි වටිනාකමක් ලැබිල තිබෙනවා. ඉතිං මම හිතනවා මේ කාලය මට හොඳ ඇති කියලා.


මහේෂ් එදිරිසිංහ





Previous Post Next Post