හැම කෙනාගෙම පවුල් ජීවිතවල කතාව එකවගේ ලියැවෙන්නෙ නෑ-අභිෂේකා විමලවීර




ආදර හිත් තුළ ලැගුම් ගත් ළයාන්විත ගීත කෝකිලාවියක මෘදු ස්වරයෙන් ගයන ගැයුමකට මන සිත සැනසෙන්නේ දැයි, රිදුම් දෙන්නේ දැයි, අසන නාසන බොහෝ දෙනකුගේ සිත්සතන් සුවපත් කෙරුමට ගී පදවැලට පණ පොවන ගායන ශිල්පිනියන් අතර අභිෂේකා විමලවීර නිතර කතා බහට ලක්වන චරිතයකි. මේ ඇය සමඟ කළ පිළිසඳරකි.


ඔබගේ කලා ජීවිතයට පවුල් පසුබිම දායක වුණ අයුරු මතක් කළොත්?


මගේ තාත්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ගී පද රචකයෙක් වගේ ම රජයේ හිටපු නිලධාරියෙක්. මගේ ළමා කාලයේ ඉදලා ලිවීම, ඉගෙනීම, කලාව කියන දේ ලැබුණේ තාත්තාගෙන්. ජීවත් වීමේ කලාව ලැබුණේ අම්මගෙන්.


පවුලේ තොරතුරු?


මගේ පවුලේ අම්මට තාත්තටයි ඉන්න එකම දරුවා මම.


ඔබගේ ස්වාමි පුරුෂයා කවුද?


ඉංජිනේරුවරයෙක්. ගම මාතලේ. විවාහ වෙලා අවුරුදු එකොළහයි. අපි දෙන්නට අවුරුදු නවයක දියණියක් ඉන්නවා.


ඔබේ අධ්‍යාපන ගමන් මඟ?


ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කරලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. දැන් ආචාර්ය උපාධිය ලබාගන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කරනවා.


වත්මන් ජන සමාජයත් කලාවත් ඔබ දකින්නේ කොහොම ද?


කලාව කියන්නේ ජනතාවට පණිවුඩ දෙන එකක් පමණක් නෙවෙයි. කලාව කියන්නේ ජන හදවත් තුළ කම්පනයක් ඇති කරන දෙයක්. ලෝකයේ බිහි වෙන හැම නිර්මාණයකින්ම ජනතාවට පණිවිඩ දෙන්නේ නැහැ. ගීතයක්, නාට්‍යයක්, චිත්‍රපටයක් හෝ කවර නිර්මාණයක් රසවින්දට පස්සේ චිත්තවේග පාලනයක් තමයි දකින්න තියෙන්නේ. විරහ ගීතයක් ගත්තොත් පණිවිඩයක් දෙන්නේ නැහැ. නමුත් හැඟීම්වලට බලපෑම් කරනවා. ජනතාව කලාවෙන් ඉවත් කරන්න පුළුවන් අය නෙවෙයි. සෑම වෘත්තියකම අය සෑම වසරකම විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට කලාකාරයෝ එහෙම පිට වෙන්නෙ නැහැ. එහෙම වුණත් ඕනෑම පුද්ගලයෙක් තුළ කලාව රසවිඳින්න පුළුවන් කෙනෙක් ඇතුළේ ඉන්න නිසා කලාකරුවන්ට සමාජයේ විශේෂ තැනක් හිමි වෙලත් තියෙනවා.


ඔබ එක තැනකදී කලා ක්ෂේත්‍රයේ ඒකාධිකාරය බිඳින්නට ඕනෑය කියා කියලා තිබුණා?


එක කට්ටියක් කියනවා ඒ අය කියන දේ හරි ඒ දේ තමයි විය යුත්තේ කියලා. තව කට්ටියක් කියනවා නෑ මේ දේ තමයි හරි ඒක තමයි විය යුත්තේ කියලා. මෙන්න මේ ස්වතන්ත්‍රවාදය බිඳින්න ඕනෑ. එහෙම නොවුණොත් කලාවට පැවැත්මක් නැහැ. හැම ගණයකම නිර්මාණ බිහි වෙන්න ඕනෑය කියලා මම කලිනුත් කිව්වෙ ඒ නිසයි.


ඒකෙන් අදහස් වෙන්නේ විවිධත්වයෙන් යුතු නිර්මාණ ජනගත විය යුතුයි කියල ද?


උදාහරණයක් විදිහට අපි පුංචි කාලේ අවුරුදු දහයෙදි ළමා ගීත අහනවා. යොවුන් වියට ආවට පස්සේ ප්‍රේම ගීතයක් ඕනෑ වෙනවා. ප්‍රේම සබඳතා බිඳිලා ගියාට පස්සේ විරහ ගීතයක් ඕන වෙනවා. සාදයකට ගියාම මට නටන්න රම්බරි වගෙ ගීතයක් ඕන වෙනවා. මට මගේ කවුරුහරි අහිමි වුණොත් හිත හදන Motivation Music (අභිප්‍රේරණ ගීත), Spritual Music (ආත්මික ගීත) ගීතයක් අහන්න ඕනෑ. එහෙම බැලුවම එක පුද්ගලයකුගේ ජීවිතයට මේ හැම වර්ගයකම ගීත ඕන වෙනවා.


ඔබගේ ‘භූමියට පණ තියෙනවා‘ ගීතය සමාජ සන්දර්භයේ ගැඹුරුම තැනක සැඟවුණ සියුම් තැනක් අළලා නිර්මාණය වූවක් ද?


බොහෝ දෙනෙක් හිතනවා ඒ ගීතය සංක්‍රාන්තික ලිංගිකයන් ගැන පමණක් අළලා නිර්මාණය වූවක් කියලා. නමුත් සංක්‍රාන්තික ලිංගිකයෙක් ගැහැනු බවට පත් වුණාට පස්සේ දරුවකු බිහි කළ නොහැකි නිසා ඇය කාන්තාවක් නොවෙයි කියලා කියනවා. ඒත් කාන්තාවන් වුණ දරුවකු ලබන්න නොහැකි අය අප අතරෙ ඉන්නවා. ඒ නිසා දරුවකු ලබන්න නොහැකි නිසා සංක්‍රාන්ති ලිංගිකයකුට කාන්තාවක් නොවෙයි කියන්න බැහැ. සියලු දෙනාම කාන්තාවෝ යන පදනමෙන් මේ ගීතය ලියැවුණා. මානසික සහ කායික ශරීර කියලා පුද්ගලයකුට කොටස් දෙකක් තියෙනවා. යම් පුද්ගලයෙක් මනසින් ගැහැනියක් නම් ඔහු දරුවෝ නොලැබුවත් ගැහැනියක්. ඒ නිසා සමස්ත ගැහැනු වර්ගයා වෙනුවෙන් භූමි නිර්මාණය වුණා.


විද්‍යුත් නාලිකා මෙහෙයවන රියැලිටි ප්‍රසංගවලින් බිහිවෙන තරු අතුරුදන් වෙනවා කියලා තමයි බොහෝ අය කියන්නේ .. ඇයි එහෙම වෙන්නේ?


රියැලිටි තරග කියන්නේ අපේ දරුවන්ට ලැබුණු හොඳ අවස්ථාවක්. ඔය කියන දරුවෙක් ඉදිරියට ආවට පස්සේ දිගටම පවතින්න නම් රටේ ආර්ථිකය වගේම ඒ දරුවාගේ පවුලේ ආර්ථිකය යහපත් වෙන්න ඕනෑ. මොන තරම් දක්ෂ වුණත් තනියෙන් මියුසික් වීඩියෝවක් කරන්න හැකියාවක් නැත්නම්, ඒක මාධ්‍යයට ගිහින් දෙන්න හැකියාවක් නැතිනම් ඒ දරුවාට පවතින්න විදිහක් නැහැ. සමස්තයක් විදිහට බැලුවොත් පසුගිය වසර කිහිපයේ යම් විදිහකින් හෝ ඉදිරියට ඇවිත් තියෙන්නේ සමාජ සම්බන්ධතා තියෙන, ශක්තිමත් ආර්ථිකයක් තියෙන මවුපියන්ගෙ දරුවෝ. ඉතා කලාතුරකින් එවැනි හැකියාවක් නැති අයෙක් එන්න පුළුවන්. ඒත් ඒක ඉතා අල්පයි. රියැලිටි තරගවලින් එන අයට විතරක් නෙවෙයි, කලාකරුවන්ටත් පවතින්න ආර්ථික ශක්තියක් තියෙන්න ඕනෑ. මම කියන්නෙ, මේ රියැලිටි බලන අය මේ දරුවන්ට උදව් කරන්න ඕනෑ. වෙන රටවල නම් මේ වගේ අයට අනුග්‍රහය දක්වන පිරිස් ඉන්නවා.


ඔබ කලාකාරිනියක් ස්වාමියා ඉංජිනේරුවරයෙක්. පවුල් සංස්ථාව රැකගෙන යන්නෙ කොහොම ද?


මම විවාහ වෙලා අවුරුදු එකොළහයි. තාම මම පවුල් ජීවිතය ගැන ඉගෙන ගනිමින් ඉන්නවා. හැම කෙනාගෙම පවුල් ජීවිතවල කතාව එක වගේ ලියැවෙන්නෙ නැහැ. මම පරිපූර්ණ බිරියක් කියලා කියන්නෙත් නැහැ. ඒ නිසා ඒ ගැන ලොකු දේවල් කියන්න මම දන්නෙ නැහැ.


ඉදිරි කලා කටයුතු කොහොම ද?


ශ්‍රී ලංකාවේ පළමු වතාවට ගාලු කොටු පවුර උඩ Moon Bastion එකේ කරන ප්‍රසංගයට සූදානම් වෙනවා. ලංකාවේ පළමු වතාවට මහනුවර ඓතිහාසික බෝගම්බර සිරගෙදර සජීවි ප්‍රසංගයක් කළේ මම. ඒ වගේම මගේ උපන් ගමේ කරන ප්‍රසංගය බලන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.





 

Previous Post Next Post