මම හොයන්නේ තාත්තා වගේ පෙම්වතෙක්-හිරුෂි ජයසේන

 


මේ දිනවල අතිශය ජනප්‍රිය නිර්මාණයක් වන “ආලෙන්” ගීතය සහ 2020 වර්ෂයේ අතිශය ජනප්‍රිය වු කතිරිනා ගීතය ඇතුළු පසුගිය වසර කීපය තුළ රසික ආදරය දිනූ ගීත රැසක් ඇගේ හඬින් ගීතවත් විය. The New Generation Awards 2021 හි සම්මානයටද පාත්‍ර වූ ඇය අපේ රටේ දක්ෂ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය රනිල් ජයසේන මහතාගේ ආදරණීය දියණියයි. ඇය නමින් හිරුෂි ජයසේනයි. 



මේ දිනවල ඔබේ අලුත්ම නිර්මාණය ඉතාම ජනප්‍රියයි. අපි ඒ ගැනත් කතා කරමු ?


මගේ අලුත්ම ගීතය තමයි “ආලෙන් ” කියන්නේ. මේ ගීතයේ රූප රචනය සිදු කළේ හසිත් පතිරණ. ඒ වගේම නිර්මාණය සාර්ථක කර ගන්න උපකාර කළ විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි මගේ අලුත් ගීතය වෙනුවෙන් මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ඔබ මුලින්ම ගායන ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?


මම උදාවෙන හැම අලුත් දවසකම අලුත් දෙයක් කරන්න කැමතයි. මම ලංකාවට ආවම ලංකාවේ දැන්වීම්, චිත්‍රපට ගීත ගායනා කරනවා. ඒ දේවල් නිතර කරනකොට මට ගායනය දිගටම කරන්න කැමැත්තක් ඇති වුණා. මට දැනුණා ගීතයෙන් යමෙක් ආමන්ත්‍රණය කරන්න පුළුවන් හැකියාව මට තියෙනවා කියලා. හරියටම දවසක් වෙලාවක් කියන්න අමාරුයි. නමුත් මේ ක්ෂේත්‍රයට මම එන්නේ අහම්බෙන්.


හිරුෂි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනකොට පවුලෙන් මොනවගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ ?


මගේ තාත්තා වෛද්‍යවරයෙක්. ඒ වගේම ඔහු කලාවට සම්බන්ධ කෙනෙක්. තාත්තා කලාවට ආදරේ කරන නිසාම වෙන්න ඇති මම වෛද්‍යවරියක් වීමට ඉගෙන ගන්න කාලේ ඉඳලම තාත්තා මට කිව්වේ අඩුම තරමේ කලාව විනෝදාංශයක් විදියට හරි කරන්න. ඒක ජීවිතේ සමබර කරගන්න ලොකු උදව්වක් වෙයි කියලා. ඇත්තටම මම හිතන්නේ ඒ වගේ අදහස් ති‍ෙයන පවුලක් ලැබෙන්න මම වාසනාවන්තයි.


හිරුෂි කියන්නේ ආදරවන්තියෙක්ද?


මේ වෙලාවේ මම ආදරේ කරන්නේ සහ මම මුල් තැනක් දෙන්නේ මගේ වෘත්තියට. මම හිතනවා මට තව ටිකක් මං ගැනම අධ්‍යනය කරන්න තියනවා කියලා. මේ කාලෙදි නොවුණත් මම විශ්වාස කරනවා කාලයක් ඒක්ක විය යුතු ආකාරයට ආදරය සම්බන්ධ දේවල් සිද්ධ වෙයි කියලා.


ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවගේ පෙම්වතෙක්ද?


මම පෙම්වතෙක් තෝරා ගන්නවනම් අනිවාර්යයෙන්ම ඔහු මගේ තාත්තා වගේ විය යුතුයි. තාත්තා තමයි මගේ ජීවිතේ මම ආදර්ශයට ගන්නේ. මම බලාපොරොත්තු වෙනවා මගේ තාත්තාගේ තියෙන ඒ පෞරුෂත්වයට සමාන කෙනෙක්. නමුත් නිශ්චිතව ඔහු නියෝජනය කළ යුතු වෘත්තිය මොකද්ද කියන කාරණය නම් මම තාම හිතලා නෑ.


ඔබ ගීත ගායනයට අමතරව රැකියාවක් කරනවද?


ඇත්තටම මම මගේ කාලය වෙන් කරන්නේ මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගන්න. පසුගිය කාලෙදි මම කලාකාරිනියක් විදියට අවශ්‍ය කැමරාකරණය පිළිබඳව අධ්‍යාපනය ලබා ගත්තා. ඒ වෙනුවෙන් මම ඇ‍ෙමරිකාවට ගියා. මේ වගේ ක්ෂේත්‍රයට අවශ්‍ය ඉගෙනීම් කටයුතු වෙනුවෙන් තමයි මම මේ දිනවල වැඩිපුර කාලය යොදවන්නේ. 


නැවතත් රූපවාහිනී නිවේදිකාවක් වෙන්න අදහසක් නැද්ද?


නිවේදිකාවක් එහෙමත් නැත්නම් මාධ්‍යවේදිනියක් විදියට මම වසර අටක කාලයක් කටයුතු කළා. ඇත්තටම මම ඒ භුමිකාවෙන් ඉවත් වෙන්න හේතුව කලාකාරිනියක් විදියට මට තිබුණ වගකීම්. මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෙලාවට දේශපාලනීකරණය වෙන්න සිද්ධ වෙනවා. මම ඒකට කැමති නෑ. මම හිතුවා කලාවෙන්ම සමාජය ආමන්ත්‍රණය කරන්න. ඒ නිසා නැවත මම නිවේදන වෘත්තියට එන එකක් නැති වෙයි.


පවුලේ එකම දියණීය වීම තුළ ලැබෙන අවධානය කොයි වගේද?


මට ඉන්නේ අයියලා දෙන්නෙක්. මම තමයි පවුලේ බාලයා. සමහර වෙලාවට ආදරේ වැඩිකමට තමයි මම රණ්ඩු කරන්නේ. පුවුලේ එකම දියණිය විදියට මට පවුලේ අයගෙන් වෙනමම අවධානයක් ලැබෙනවා. ඒ ආදරය සහ අවධානය මගේ ගමනට ලොකු ශක්තියක් වෙනවා.


ඔබේ පියා ජනප්‍රිය අයෙක් වීම නිසාම ඔබ වෙනුවෙනුත් ජනප්‍රියත්වයක් නිර්මාණය වුණා කියන්න පුළුවන්ද?


මම හිතනවා මට නවක පරම්පරාව තුළ ජනප්‍රියත්වයක් නිර්මාණය වුණේ මගේ ගීත හරහා කියලා. නමුත් මගේ තාත්තා නිසාත් මට රසික පිරිසක් නිර්මාණය වුණා. මගේ තාත්තා තමයි මගේ පළමු රසිකයා. කොහොම වුණත් මම අලුත් ගීතයක් කරනකල් බලන් ඉන්න රසික පිරිසක් දැන් නිර්මාණය වෙමින් තියනවා.


ඔබේ ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?


ඉදිරියේදිත් මගේ ගීත නිර්මාණ කීපයක්ම එන්න තියනවා. විශේෂයෙන්ම රැප් කලාව තුළ ලංකාවේ දක්ෂ තරුණ නිර්මාණකරුවන් එක්කත් වැඩකටයුතු කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.


අනාගතයේදී හිරුෂි සිංදු කියන වෛද්‍යවරියක් වෙයිද?


මම ඒ ගැනත් හිතුවා. සමහර විට ඉදිරියේදී අවශ්‍යතාවයක් මතු වුණොත් මගේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරලා වෛද්‍යවරියක් වශයෙන් කටයුතු කරන්නත් ඉඩ කඩක් තියෙවි.





Previous Post Next Post