එයාට වඩා මෙයා හොඳයි මෙයාට වඩා එයා හොඳයි කියල සංසන්දනය කරන්න බෑ-ශේශාද්‍රි ප්‍රියසාද්



කලා පවුල්වලින් ජනප්‍රියම පවුලක් හැටියට ප්‍රියසාද් පවුල හඳුන්වලා දෙන්න පුළුවන. චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද්ගේ ආදරණීය දෙටු දියණිය ශේශාද්‍රි ප්‍රියසාද් කියන්නේ නිර්මාණවලින් දැක්කත් නැතත් ජනප්‍රිය චරිතයක්. මේ දවස්වල දිනේෂ් ගමගේගේ “මලකඩ කඩ“ ගීතයට ඉන්න ඇය ඇය ගැනත් පුංචි පවුල ගැනත් මේ විදිහට රසඳුන එක්ක කතා කළා. 


ශේශාද්‍රි කොහොමද ජීවිතේ. පවුල් ජීවිතේ බර හා වගකීම් දැන් වැඩියෙන් දැනෙනවා ඇති ..?


ජීවිතේ ගැන නම් කම්ප්ලේන් කරන්න දෙයක් නැහැ , හොඳින් සතුටින් ගෙවිගෙන යනවා. පවුල් ජීවිතේ බර ගැන කිවුවොත් ඒක නම් දැන් දැනෙනවා. අපේ ජීවිතේට බබා එකතු වුණාට පස්සේ ඒක ඩබල් වෙලා. මම දැන් හැම තීරණයක්ම ගන්නේ බබා සහ ක්‍රිෂාන් අයියා ගැන හිතලා. බබාට ඕන විදිහට තමයි අපිට දැන් හැඩ ගැහෙන්න වෙලා තියෙන්නේ , සමහර වෙලාවට මොකක්ද මේ ජීවිතේ කියලා පසුතැවිලා තියෙනවා. නමුත් මොහොතකින් හිතෙනවා ඒක තමයි ජීවිතේ කියලා. ඔය මොන දේ තිබ්බත් හිතුණත් අපි පවුලක් හැටියට සතුටින් ජීවත් වෙනවා


කොහොමද පොඩ්ඩා එක්ක ගෙවන කාලේ දිනක්ශිගේ දුවත් එක්ක ඇය ඉතා කිට්ටුයි නේද ..?


මම උදේ නැඟිට්ට වෙලාවෙ ඉඳලා නිදාගන්න යනකල්ම කාලය ගත කළේ දුවත් එක්කෙ. දැන් නම් ක්‍රිෂාන් අයියගේ අම්මට හුරු වෙලා. ඒ නිසා ටික ටික එයාට මම නැතුව ඉන්න පුරුදු කරනවා. මේ දවස්වල එයත් එක්ක ජීවත් වෙන්න හරි ආසයි. එයා දැන් කතා කරන්න උත්සාහ කරනවා. ඇවිදිනවා. එයාගේ පස්සෙන් ඉන්න වෙලා. එයාගේ පුංචි කාලේ ෆොටෝස් වීඩියෝස් බලද්දී දුකකුත් ඇති වෙනවා එයා ටික ටික ලොකු වෙන නිසා. ක්‍රිෂාන්‍යා සාරන්‍යාට හරි ආදරේයි. ඒ වුණාට පොඩි පොඩි රණ්ඩුත් දෙන්නා අතරේ යනවා. මාව දැක්කත් සාරන්‍යා අහනවා පුංචා නංගා කෝ කියලා . එයාව ඔඩොක්කුවෙන් තියා ගන්න ඉල්ලනවා. හරි ආදරණීයයි. එයාලා එක්ක ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නෙත් නැහැ. හරි සුන්දරයි.


විවාහ වුණත් තවමත් පවුලේ අය එක්ක විනෝදෙන් කාලේ ගෙවන්න, විනෝද චාරිකා යන්න ලැබෙන නිසා පවුලෙන් ඈත්වීම ගැන දුකක් නැතුව ඇති..?


විවාහ වුණා කියලා කිසිම වෙනසක් නැහැ. ගෙදර ඉන්නවා වගේ තමයි හැඟෙන්නේ. අපි හැමෝම කොච්චර කාර්‍යබහුල වුණත් පවුලේ අය මුණගැහෙන්න, ට්‍රිප්ස් යන්න එළියට කෑමකට යන්න, විනෝද වෙන්න කාලේ හදාගන්නවා. ඒ නිසා දුකක් නැහැ. මම ඉන්නේ රාගම අම්මිලා ඉන්නේ හෝමාගම. හයිවේ එක තියෙන නිසා හිතුණ ගමන් ඉක්මනින් යන්න එන්න පුළුවන. මාපියන් අක්කා නංගි මිස් වෙලා කියලා හිතන්නේ නැහැ . අම්මියි තාත්තියි අපි පොඩි කාලේ දුක් මහන්සි වුණා දැන් එයාලා අපේ දරුවෝ බලාගන්න මහන්සි වෙනවා. ඉතින් හැම මොහොතකම හිතන්නේ මාපියන් කොහොමද සතුටින් තියෙන්නේ කියලා . මගේ පවුලේ අය විතරක් නෙමෙයි ක්‍රිෂාන්ගේ පවුලේ අයත් අපි හැමෝමත් සතුටින් ජීවත් වෙනවා.


අක්කයි නංගියි එක්ක බැලුවම මේ වෙද්දී ජනප්‍රිය හා රංගනයෙන් දක්ෂ කවුද ..?


මෙයාට වඩා එයා හොඳයි, එයාට වඩා මෙයා හොඳයි කියලා අක්කියි නංගිවයි මට සංසන්දනය කරන්න බැහැ. දෙන්නම දෙවිදිහකට දක්ෂයි. දෙන්නගේ ජෙනරේෂන් දෙක දෙකක්. රංගනය අතිත් දෙන්නම දක්ෂයි.


ඔබ තවමත් සිනමාවට විතරයි සම්බන්ධ වෙන්නේ කියන ස්වයං වාරණ ඇතුළෙද ඉන්නේ..?


මම මුලින්ම චිත්‍රපටයකට සම්බන්ධ වෙලා තමයි රංගනයට යොමු වෙන්නේ. එතකොට මගේ වයස 17ක් විතර ඇති. ඒ කාලේ මම හිතුවා මගේ මූලික තැන මම දෙන්න ඕන අධ්‍යාපනයට කියලා. ඒ නිසා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. චිත්‍රපට වැඩ ඉක්මනින් අවසන් වෙනවා. නමුත් ටෙලිනාට්‍ය වැඩවලට ලොකු කාලයක් කැප කරන්න ඕන. ලොකු කාලයක් කැප කරන්න ඕන අවස්ථාවක් මට ඒ කාලේ තිබ්බේ නැහැ. අනිත් එක මට ඒ කාලේ වැඩිපුර ආරාධනා ආවේ මෙගා නාට්‍යවලට. ඒ නිසයි සිනමාවට මගේ රංගනය සීමා කර ගත්තේ. දැන් ටෙලි නාට්‍ය සඳහාත් සම්බන්ධ වෙනවා. මේනක රාජපක්ෂගේ ආලියා නාට්‍යට හා චමිල්ගේ නාට්‍යකට සම්බන්ධ වුණා.


ශනුද්‍රි පුංචි තිරයට නැතුවම බැරි නිළියක් වෙලා, ඇය සම්බන්ධ වෙන බොහෝ නිර්මාණ රසිකයින් අනිවාර්යයෙන්ම නරඹන මට්ටමට පත් වෙලා, ඔබට ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද ..? 


නිළියක් හැටියට මට කවදත් ලොකු බලාපොරොත්තු ඉලක්ක තිබිලා නැහැ. මට ලැබෙන චරිතය හොඳට කරනවා කියලා විතරයි හිතුවේ. ඒ නිසා තමයි මම මගේ දේවල් ගොඩක් සීමා කර ගත්තේ. රංගනය තුළ එහෙම බ්‍රැන්ඩ් එකක් වෙන්න ඕන කියලා මට හිතිලා නැහැ. හිතන්නෙත් නැහැ. නමුත් මම කියන්න ඕන ශනු ඉන්න තැන ගැන මට හරිම සතුටුයි. එයත් එක්ක පාරේ යද්දීත් මම දකිනවා එයාට කොච්චර හොඳ ප්‍රතිචාර ලැබෙනවා ද. ජනතාව එයාට ආදරේ කරන විදිහ. මාත් එක්ක බලද්දී එයා ගොඩක් පොඩි වයසක කෙනෙක් , එයාගේ වයසට එයා ගොඩක් දේවල් කරගෙන තියෙනවා . ඇචිව් කරලා තියෙනවා. ඉතින් මගේ නංගි ගැන ආඩම්බරයි.


මේ දිනෙෂ්ගේ දුව හෝ දිනක්ෂිගේ නංගි, ශනුද්‍රි ගේ අක්කා නේද කියලා හඳුනා ගන්න පිරිසක්ද ඔබට ඉන්නේ. එහෙම නැත්තම් ශේශාද්‍රි ප්‍රියසාද් කියන අනන්‍යතාවය හදාගෙන කියලා හිතෙනවා ද..?


ශේශාද්‍රි ප්‍රියසාද් කියලා අනන්‍යතාවයක් තියෙනවා කියලා මම හිතනවා. ලොකු පිරිසක් අතර නැතත් දන්න අය ඉන්නවා. අපිව හුඟක් වෙලවට හඳුන්වන්නේ ප්‍රියසාද් සිස්ටර්ස් කියලා. අපි තුන්දෙනාව එක යුනිට් එකක් විදිහට දන්නවා.


දකින්නම නැති වුණත් නිර්මාණවලින් ඔබට ආදරේ කරන පිරිස ගැන මොකද හිතන්නේ ..?


ඔව් මටත් පොඩි රසික කොටසක් ඉන්නවා. මම වැඩිය දකින්න නැතත් නිර්මාණ ඔස්සේ ආදරේ කරන කොටසක් ඉන්නවා. කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ ආදරේට ස්තූතියි කියන්න ඕන. ඒ අය අතරට යන්න දැන් ෂෝශල් මීඩියා ෆැට් ෆෝම් එකක් තියෙනවා. මම දාන ෆොටෝස් වීඩියෝස්වලට මට එන කමෙන්ට් මැසෙජ් දැක්කම මට හරි සතුටුයි. තවමත් එයාලගෙන් ලැබෙන ආදරේට. ඇත්තමයිම මම ඒ ආදරේට ගරු කරනවා.


සාරංග , දිනේෂ් වගේම ශනුද්‍රිත් දිනක්ෂිත් ගායනයට දක්ෂයි, ඔබේ සැමියාත් ගායනයෙන් ජනප්‍රියයි. හැමෝම එකතු වෙලා ගීතයක් කරන්න අදහසක් නැද්ද ..?


බොහෝදෙනෙක් අහනවා ඇයි ඔයාලා හැමෝම එකතු වෙලා නිර්මාණයක් කරන්නේ නැත්තේ කියලා. ගීතයක් හෝ ටෙලි නාට්‍යයකින් එහෙම නැත්තම් ෆිල්ම් එකකින් හරි එකට දකින්න ආසයි කියලා. 2020 අපි නත්තලට ගීතයක් කළා. මම, ක්‍රිෂාන් සාරංග අයියා අක්කී හා ශනු අපි පස්දෙනා කළේ. ඒ ගීතය සංගීත නිර්මාණය කරේ දිනේෂ් මල්ලී. ඒ දවස්වල ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ දිනේෂ් අපේ පවුලට සම්බන්ධ කෙනෙක් කියලා. නමුත් දැන් දන්නවා. ලැබෙන ප්‍රතිචාර එක්ක හැමෝම එකතු වෙලා ඉදිරියේදි නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.


පවුලට ආදරණීය සැමියාගෙන් ලැබෙන සහය ගැනත් කියමු..?


ක්‍රිෂාන් තමයි මගේ ලොකුම හයිය. එයාගෙන් ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා. කවදාවත් රූල්ස් දාලා නැහැ . නිදහසේ හරි වැරැද්ද තෝරා ගෙන වැඩ කරන්න නිදහස දීලා තියෙනවා. ඒක ලොකූ දෙයක්. බබා ලැබුණට පස්සේ මගේ රූටීන් එක වෙනස් වුණා. තවමත් බබා නිසා නිදිමරනවා. එතකොට ක්‍රිෂාන් අයියා මාව තේරුම් අරන් එයාගේ වැඩ ටික තනියම කර ගන්නවා මම කරලා දෙනකල් බලාගෙන ඉන්නේ නැහැ. ගේ අස්පස් කරන දේවල්වලටත් එයා ගෙදර හිටියොත් උදව් කරනවා. එයා තමයි දැන් මගේ ලොකුම සපෝර්ට් එක කියන්න පුළුවන්.


ක්‍රිෂාන් කියන්නේ අහිංසක ආදරණීය චරිතයක්. ආදරයෙන් පරාජය වෙලා හිටපු මොහොතක ඔබට ඔහුව මුණගැහෙන්නේ. ඔහු ආදරේ ප්‍රකාශ කරද්දී ඔබේ ප්‍රතිචාර වුණේ මොකක්ද ..?


ඇත්තටම රිලේෂන්ෂිප් කියන්නේ ජීවිතේට වැඩක් නැති දෙයක් කියන තැන මම හිටියේ. නමුත් මගේ ජීවිතේට තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි ලස්සන පවුල් ජීවිතයක් ගත කරන එක, බබාලා හදන්න අම්මා කෙනෙක් වෙන්න. ඒ දේ ගැන තමයි මගේ හිතේ ලොකුවට තිබ්බේ. රඟපාන්න නමක් හදාගන්න කියන එක නෙමෙයි. මම වැටිලා ඉන්න මොහොතක ක්‍රිෂාන් අයියා ලැබුණම මගේ හිතේ මැරිලා තිබුණු ජීවිතේ ගැන බලාපොරොත්තු ආයෙමත් බලාපොරොත්තුවක් බවට පත් වුණා. ක්‍රිෂාන්ටත් මට වගේ එක්ස්පිරියන්ස් එකක් තිබ්බේ එයාටත් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න අවශ්‍යතවයක් තිබ්බා. ඉතින් අපි කතාබහ කරලා දැන හඳුනාගෙන අදහස් හුවමාරු කර ගත්තාට පස්සේ තේරුණා දෙන්නට එකතු වුණොත් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා. මට තිබුණු අදහස එයාගේ හමුවීමත් එක්ක වෙනස් වුණා කියන්න පුළුවන්. හිතට බයක් දැනු‍ණේ නැහැ ඇත්තටම. ‍


ක්‍රිෂාන් කියන්නේ නැද්ද දැන් ගෙදරට වෙලා හිටියා ඇති හොඳ නිර්මාණකට සම්බන්ධ වෙන්න කියලා ..?


මම ක්‍රිෂාන් එක්ක යාළුවෙද්දී කිසිම මාධ්‍යකින් දකින්න හිටියේ නැහැ. හැම දේකින්ම ඈත් වෙලා හිටියේ. අඩු තරමින් ශේෂල් ෆැට් ෆෝම් එකේවත් මාව දකින්න ලැබුණේ නැහැ. එයා තමයි කිව්වේ අපිට යම් දක්ෂතාවයක් තියෙනවා නම් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන ටික ටික අපි වයසට යනවා, එතකොට ඒ දක්ෂතාවයට ලැබෙන ඇට්ටැක්ශන් එක පොලියුලේෂන් එක අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ කරන්න ඕන දේ කරන්න ඕන කියලා. ඊට පස්සේ තමයි හිතුවේ ආයෙත් හොඳ නිර්මාණ ලැබුණොත් කරනවා කියලා . දැන් ජනප්‍රිය සිංදුවක් තමයි දිනේෂ් මල්ලිගේ “මලකඩ කඩ“ සිංදුව. එයා මගෙන් ඇහුවා අක්කේ ඔයාට එන්න පුළුවන් ද කියලා. එතකොට ක්‍රිෂාන් තමයි කිව්වේ යන්න යන්න ඒක කරන්න කියලා. එයා මාව මෝටිවේෂන් කරනවා. මගේ යූටියුබ් නාලිකාවත් එයා උදව් කරනවා නැහැ බැහැ කියන්නේ නැතුව.


ඔබ රංගනයෙන් දිගූ නිහැඬියාවක ඉන්න එක ගැන පියා දිනේෂ් නම් අමනාප ඇති..?ඒ ගැනත් කියලම කතාබහට සමු දෙමු..?


තාත්තා ගැන කියනවා නම් එයා කවදාවත් අපිට බලකිරීමකින් කළේ නැහැ මේක කරන්න මෙහෙම ඉන්න කියලා. බලකිරීම් කරලා කිසිදෙයක් කරන්න බැහැ. ඒක තාත්තා දන්නවා. අපි කැමති පාත් එක අපිට තෝරාගන්න ඉඩ හැරියා. තාත්තා එක අවස්ථාවක කියලා තිබුණා අපි තුන්දෙනාගෙන් එක්කෙක් හෝ කලාවට සම්බන්ධ වෙනවා නම් හොඳයි කියන ආසාව තාත්තාගේ හිතේ තිබුණා කියලා . නමුත් එයා කවදාවත් ඒක අපිට කිව්වේ නැහැ . හිතේ දුකක් තියෙනවා කියලා කෙළින් කියලා නැහැ. හිතේ තියෙනවා ද දන්නේ නැහැ. නමුත් චිත්‍රපටයක් එහෙම කරන්න ආරාධනා ලැබිලා තාත්තා මට මෙහෙම චිත්‍රපටයකට කතා කරා මම කරනවා කියලා කියද්දි එයාගේ හිතේ සතුට මම මුහුණෙන් දැකලා තියෙනවා. මම නිර්මාණයකට සම්බන්ධ වෙද්දී තාත්තා තරම් සතුටු වෙන කෙනෙක් නැතුව ඇති.





Previous Post Next Post