පියුමි තමයි මට ඉන්න විශ්වාසවන්තම කෙනා- චන්දිමාල් ජයසිංහ




මනාලියන් හැඩ ගැන්වීම ආදායම් මාර්ගය කරගනිමින් ක්ෂේත්‍රයට පිවිසි ඔහු අද වන විට ඒ මඟේ දිගු ගමනක් අරඹා ඇත. ඒ මනාලියන් හැඩ ගැන්වීම පමණක් නොව නිළියන් හැඬ ගැන්වීමේ සිට රූ රැජන තරඟ සංවිධාන කිරීම දක්වා දිගු ගමන් අරඹා ඇත. ඔහු නමින් චන්දිමාල් ජයසිංහය. ගෙවී ගිය කාලයේ අපට චන්දිමාල් ගැන විවිධ කතා අසන්නට ලැබිණි. ඉන් එකක් වන්නේ කා අතරත් කතා බහට ලක්වුණ චන්දිමාල්ගේ උපන්දින සාදයයි. ක්ෂේත්‍රයේ නළු නිළියන් අතර කවදත් ප්‍රසිද්ධියට පත් මේ උපන්දින සාදය ගැන පමණක් නොවෙයි අද වන විට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ තමන්ගේ ස්ථාවරත්වය ගැනත් අපි චන්දිමාල් සමඟ කතා බහ කළෙමු. 



චන්දිමාල් විවිධ ක්ෂේත්‍ර ගණනාවක සේවය කළේය. නමුදු ඔහු රූපලාණ්‍ය ක්ෂේත්‍රය, මනාලියන් හැඩ ගැන්වීම අරඹන්නේ නිකමට මෙනි.


“මම ඉගෙන ගත්තේ ශාන්ත තෝමස් විද්‍යාලයේ. මගේ පවුලේ මමයි අක්කයි විතරයි ඉන්නේ. මම සාමාන්‍ය පෙළ දක්වා පමණයි ඉගෙන ගත්තේ. පාසල් කාලෙන් පස්සේ මම විවිධ දේ කළා. ඔය අතර තමයි මට හිතුණේ මනාලියන්ට අන්දන්න ඕන කියලා. 2008 වසරේදී තමයි මම සැලුන් එක පටන් ගත්තේ. මම මුලින්ම හිමාලි සයුරංගිව තමයි මනාලියක ලෙස හැඩ ගැන්වුයේ. ඉන් පස්සේ මම ටික ටික ඉදිරියට ආවා කිවුවොත් හරි. ඔය අතර මම චැනල් C, එකේ වගේම සිරස ආයතනයේ මේකප් ආර්ටිස් කෙනෙක් විදිහටත් කෙටි කාලයක් වැඩකළා. සිරස TV එකත් ඩාන්සින් ස්ටාර් වැඩසටහන හරහාත් මට නළු නිළියන්ව දැන හඳුනා ගන්න ලැබෙනවා. පූජා ටෙලි නාට්‍යයේ රූපලාවණ්‍ය ශිල්පියෙක් ලෙසත් කටයුතු කරන්න ලැබෙන්නේ ඔය අතරෙම තමයි. ටික ටික මම ඉදිරියට එද්දි මට හිතුණා සැලෝන් එකක් පටන් ගන්න ඕන කියලා. 2012 වසරේ තමයි මම මගේ ගෙදර වෙනම තැනක සැලෝන් එක හැදුවේ. ටික දවසකින් මම මීගමුවෙත් ශාඛාවක් පටන් ගත්තා. මම බොහෝම පොඩි තැනකින් පටන් ගත්ත කෙනෙක්. ඒ නිසාම මට මිනිස්සුන්ගෙ නැති බැරිකම තේරෙනවා. සමහරු හිතනවා ඇති මම මහා ලොකු ගණන් ගන්නවා කියලා. එහෙම ගන්නේ නැහැ කියන්නත් බැහැ. නමුත් කෙනෙක් ඇවිල්ලා මා එක්ක කතා කරලා ඔවුන්ගේ මංගල්‍ය කර ගන්න ඕන කියලා කිවුවාම අපි ඔවුන්ගේ අතේ ඇති මුදලට හැඩ ගැන්වූ අවස්ථා තියෙනවා.“


තම ව්‍යාපාරය ගැන චන්දිමාල් කියන්නේ එහෙම කතාවක්.


රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ අද වන විට ඉහළ ස්ථානයක සිටින චන්දිමාල් ගැන අද අපට විවිධ කතා අසන්නට ලැබෙනවා. ඇතැම් විට යූ - ටියුබ් හරහාද ඔහු කරන සමාජ සත්කාර ආදිය දකින්නට ලැබෙනවා.


“ඇත්තම කිවුවොත් මම කිසිම විටෙක ප්‍රසිද්ධ වෙන්න බලාගෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. උදවු කරන්න ඕන කෙනාට උදව් කරන්න පමණයි මට අවශ්‍යය. මට හිතුණොත් කෙනෙක්ට උදවු කරන්න ඕන කියලා මම ඒක කරනවා. නමුත් මම එහෙම උදවු කරන්නේ ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් නෙමෙයි. මම මහා ලොකු ධනවතෙක් නෙමෙයි. මට වඩා ධනවත් අය මේ රටේ ඉන්නවා. නමුත් මම උපයන දෙයින් කෙනෙක්ට උදවු කරලා මම ලබන්නේ සතුටක්. පසුගිය කාලයේ පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය නිසා අපි වැටුණා. දැන් තමයි අපි යළත් නැගිටිමින් ඉන්නේ. මේ ක්ෂේත්‍රය නම් පුදුම විදිහට වැටුණා. නමුත් දැන් අපි යළිත් ගොඩනැඟෙමින් ඉන්නවා කියලා කියන්න පුළුවන්.”


වැටෙමින් නැගිටිමින් ඉදිරියට ආ ගමනේ චන්දිමාල්ගේ උපන්දින සාදයත් ජයටම පැවැත් වුණා කියලා පහුගිය කාලේ අපට සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්න පුළුවන් වුණා. ක්ෂේත්‍රයේ අය පමණක් නොවෙයි නළු නිළියන් බොහෝදෙනා සහභාගි වුණ මේ උපන්දින උත්සවය හැමදාමත් විචිත්‍රවත් එකක්. කිහිප වරක්ම විවිධ අයුරින් පැවැත්වුණ මේ උපන්දින සාදය මෙවර පැවැත්වූයේ අවසන් වරම යැයිද අපට දැන ගන්නට ලැබුණා. ඒ පිළිබඳ කළ විමසීමේදී ඔහු අපට කිවුවේ මේ වගේ කතාවක්.


“ මම මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් අරගෙන දැන් අවුරුදු විස්සක් වෙනවා. මම බොහෝ දන්න අඳුනන අය ඉන්නවා ක්ෂේත්‍රයේ. මම මගේ උපන්දින උත්සවය ගන්නවා කිවුවාම මට ස්වකැමැත්තෙන්ම උදවු කරන අය ඉන්නවා. නැටුම් කණ්ඩායම් සංගීත කණ්ඩායම් ආදිය මෙන්ම මගේ යාළුවෝ මට උදවුවට එනවා. ඔවුන් ඔවුන්ට හැකි දේ කරලා දෙනවා. මෙවරත් මම ආරාධනා කළ අය මගේ සාදයට පැමිණියා. ඒ එන මඟ හිටිය කැමරා ශිල්පීන් විඩියෝ ශිල්පීන් තමයි පැමිණිය අයගේ ඡායාරූප, විඩියෝ දර්ශන අන්තර්ජාලයට දාලා තිබුණේ. හැමෝම සතුටින් උපන්දින සාදයට එක්වුණා. කොහොම වුණත් සාදය තුළට අපි විඩියෝ ශිල්පීන් කැමරා ශිල්පීන් ගත්තේ නෑ. ඒ අය ආවාම තමයි ෂෝෂල් මීඩියාවල විවිධ දේ යන්නේ. පැමිණිය කවුරුත් ඒ වෙලාව සතුටින් ගත කරලා ගියා. ඒ කාහොම වුණත් මම හිතාගෙන ඉන්නවා යළිත් උපන්දින සාදයක් ගන්නේ නැහැ කියලා. ලබන අවුරුද්දේ මට අවුරුදු හතළිහ සම්පූර්ණ වෙනවා. බොහෝ දුරට මේ මම ගත්ත අවසන් උපන්දින සාදය වේවි.”


චන්දිමාල්ගේ උපන්දින සාදය ගැන ගැන කවුරුත් කතා කරනවා. ඇතැම්විට ඒ උපන්දින සාදයේ නිළියන්ගේ ඇඳුම් මෝස්තර ගැනත් කවුරුත් කතා වෙනවා. ඒ වගේම චන්දිමාල්ගේ හොඳම යෙහෙළිය පියුමි හංසමාලි වග මේ වන විට කවුරුත් දන්නවා. 


“ඔව්... අපි හොඳ යාළුවෝ. අවුරුදු ගාණක සිටන් අපි හොද යාළුවෝ. ඒ වගේම ඇය මට සිටින විශ්වාසවන්ත යෙහෙළියක්.”


ඇත්තටම චන්දිමාල්ට ගැනු ළමයෙක් නැද්ද? ඔහු විවාහ වෙන්නේ නැද්ද? මේ ඔහු ගැන උනන්දු වෙන කාටත් තියෙන ප්‍රශ්නයක්.


මම කලාකරුවන්ගේ සිට බොහෝ දෙනෙකුගේ විවාහයන් දැකලා තියෙනවා. සමහර අයගේ පළමු විවාහය වගේම දෙවැනි විවාහයේදිත් හැඩ ගන්වලා තියෙන්නේ මම. ඇතැමුන්ගේ තුන්වැනි විවාහයෙත් මම ඉඳලා තියෙනවා. මටම ‍තේරෙන්නේ නැහැ ඇයි මේ අය ආදරය විවාහය කියන එක හරියටම තේරුම් නොගන්නේ කියලා. අද විවාහය කියන එක සාමාන්‍ය දෙයක් වෙලා. විවාහයේ වටිනාකම කියන එක මේ සමාජයේ අයමයි නැති කරලා තියෙන්නේ. එහෙම බැලුවාම මම තවමත් විවාහය ගැන හිතනවා. මම සිගරට් අරක්කු පාවිච්චි කරන්නේ නැහැ. අපෙ අම්මාට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මම තාමත් හිතනවා. මට හරියන කෙනෙක් ලැබුණදාට විවාහය ගැන හිතනවා. මගෙ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. අපි පොඩි කාලේ අම්මා තාත්තා පාන්දර අවදි වෙලා තමන් කරන වෘත්තියට කැපවෙලා අප වෙනුවෙන් බොහෝ දුක් විඳපු අය. එයාලට අද අපිට වගේ ජීවිතේ ලොකු ප්ලෑන් තිබුණේ නෑ. අද ඉන්න අපිට ඕන බ්‍රෑන්ඩඩ් ඒවා අඳින්න. සමහර වෙලාවට කොච්චර ලැබුණත් මදි. මිනිස්සු බ්‍රැන්ඩඩ් පස්සෙම දුවනවා. අද මිනිස්සු මොකක්දෝ පැටලිල්ලක ඉන්නේ. මම ලෝකයේ රටවල් කිහිපයකටම ගිහින් තියෙනවා. මට ඇ‍ෙමරිකාවට යන්න ආසාව තිබුණා. මම ගියා. නමුත් සතියකට වඩා හිටියේ නැහැ . මම ආයෙම ආවා. මට අම්මා දාලා එහෙම ගිහින් ඉන්න බැහැ.‍“


සිය අම්මා ගැන ඔහු පවසුවේ එලෙසිනි.


රූ රැජන තරග සංවිධානය කරන ඔහු එයින් රටට කීර්තියක් අත්පත්කර දීමටත් වෙර දරනවා.


“රෝසි මැඩම්ගෙන් පස්සේ කැරොලැයින් තමයි ඒ ජයග්‍රහණය අපේ රටට ගෙනාවේ. ඒක අපේ රටට ලොකු ජයග්‍රහණයක්. මම කැමැතිය මගේ රට වෙනුවෙන් දෙයක් කරන්න. ඒ සඳහා මම හැමවිටම කැපවීමෙන් කටයුතු කරනවා. “





Previous Post Next Post