ඇඳුමකින් වෘත්තියක දිග පළල මනින්න බැහැ - හරිනි කාව්‍යාංජනී



 මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘ක්ෂීර සාගරය කැළඹිණ. චිත්‍රපටයේ අධිරාජ්‍යයාට මුණගැසුණ දැරිය ඇයයි. අධිරාජ්‍යයාද විමසන්නේ මේ දැරිය කවුද යන වගය. ක්ෂීර සාගරය නැරඹූ සිනමා රසිකයන්ද විමසන්නේ ජැක්සන් සමග රංගනයේ යෙදෙන මේ දැරිය කවුද කියාය. ඇය නමින් හරිනි කාව්‍යාංජනීය.මේ ඇගේ හඬයි.


හරිනි” දැරියගේ චරිතයට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?


මංගල දර්ශනය දා සිට මේ දක්වා ප්‍රවීණ රංගවේදීන්ගෙන්” අධ්‍යක්‍ෂවරුන්ගෙන් වගේම සියලුම දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම කියනවා ඉතාම දක්ෂ විදිහට රඟපාලා තිබෙනවා කියලා. ඔය අතරෙ දෙබස් භාවිතය හොඳයි කියලත් කියනවා. ගොඩක් අය මගෙන් අහනවා ස්ටේජ් ඩ්‍රාමා කරලා තියෙනවද කියලත්. ඉතිං මොනවා වුණත් හරි සතුටුයි.


හරිනි නිරූපණයට තමයි ප්‍රසිද්ධ?


ඔව්. මම අවුරුදු අටක වගේ ඉඳලා නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉන්නේ. නිරූපණ ක්‍ෂේත්‍රයට එන්නෙත් මිස් ශ්‍රී ලංකා තරගාවලියෙන් පසුව. මම අන්තර්ජාතික මට්ටමේ තරග පවා නියෝජනය කරලා තිබෙනවා. ලංකාවට කීර්තිනාම අත්පත් කරලා තමයි නිරූපණ ක්‍ෂේත්‍රයේ ස්ථාවර වෙන්නෙත්.


මුලින්ම රඟපෑවේ මේ චිත්‍රපටයේ නෙමෙයිනේ ?


ඔව්. මම මුලින්ම රඟපෑවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කදිර දිව්‍යරාජ සිනමාපටයේ. එම චිත්‍රපටයේ තිර පරීක්‍ෂණයට සහභාගි වුණාට පස්සේ තමයි දෙවැනි සහාය චරිතයට තෝරා ගන්නේ. ඒ රඟපෑමයි පෙනුමයි ගැළපෙනවා කියලා තමයි සුනිල් සර් මට ණීණ චිත්‍රපටයට කතා කරන්නේ.


දැන් නිරූපණයෙන් ඈත් වෙලාද?


ඈත්වෙලා නැහැ. වෙළෙඳ සන්නාම තානාපතිනියක් විදියටත් කටයුතු කරනවා. එතකොට ඒවායේ ගිවිසුම් තිබෙනවා. ඒ වැඩ කරන ගමන් තමයි රංගනයට එන්නේ.


හරිනි සිනමා ගමන අරම්භ කරන්නේ මහාචාර්යතුමාගේ චිත්‍රපට දෙකකින්?


ඒක පෙර වාසනාවකට ලැබුණු දෙයක්. සුනිල් සර් කියන්නේ ලාංකීය සිනමාවේ අසමසම අධ්‍යක්‍ෂවරයෙක්. එතුමාගේ චිත්‍රපටවලට ගොඩක් අය ආස කරනවා. ආදරය කරනවා. නවකයෙක් විදිහට ලෙහෙසියෙන් හම්බ නොවෙන අවස්ථාවක් තමයි මට හම්බ වුණේ. ඒක පෙර පිනකට මට ලැබුණු අවස්ථාවක් විදිහටයි මම දකින්නේ. මාව විශ්වාස කරලා මේ චරිතය ලබා දුන්නාට සුනිල් සර්ට මම සදා ණය ගැතියි.


පුරම්බිකාවට පෙම් බැඳි අධිරාජ්‍යයාට දැරියත් පෙම් බඳිනවා. අධිරාජ්‍යයා ගැන මේ වෙලාවේ කතා නොකරම බැහැ?


ඇත්තම කියනවා නම් සිනමා ක්‍ෂේත්‍රය සහ කලාවේ ඉන්න එකම අධිරාජ්‍යයා ඔහුයි. මේ චිත්‍රපටයේ අධිරාජ්‍යයා කියන ජැක්සන් ඇන්තනී සර් රඟපෑමේදී දැරියට දක්වන්නේ අසමසම දායකත්වයක්. ඔහු රඟපාන ගමන්ම නවකයෙක් වුණ මට මාර විදිහට ගොඩක් උදව් කරනවා.


 අධිරාජ්‍යයා නැතිව තමයි දැරියට මංගල දර්ශනය නරඹන්න සිද්ධ වුණේ?


අධිරාජ්‍යයා නොමැති මංගල දර්ශනය හරියට ඩිම් ලයිට් එකක් වගෙයි. මේ කලාව ඇතුළේ ඔහුට සමකළ හැකි කෙනෙක් නැහැ. ජැක්සන් සර් කියන්නේ මිල කළ නොහැකි මැණිකක්. ඉතින් එදා ආලෝකයත් අඩුවුණ සන්ධ්‍යාවක් විදිහටයි මම දකින්නේ. අධිරාජ්‍යයාට වෙන්වුණු පුටුව හිස්වීම හරිම ලොකු හිඩැසක් වගේ පාළුවක් තමයි මට දැනුනේ. ඉක්මනින්ම නිදුක් නිරෝගී භාවය ලැබිලා අනේ අපි අතරට එන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ


දිගටම රඟපාන්න අදහසක් තියෙනවාද?


හොඳ උසස් නිර්මාණ කරන්න තමයි මම ඇත්තටම ආස. ගොඩක් අය හිතනවා මම සිනමාවේ විතරයි වැඩ කරන්නේ කියලා. නැහැ. එහෙම නැහැ. සිනමාව” පුංචි තිරය හෝ ඕනෑම මාධ්‍යයකින් හොඳ පිටපතක් ලැබුණොත් භාර ගන්නවා.


 නිරූපිකාවක් විදිහට සීමා මායිම් තියෙනවාද?


නිරූපණයේදී ගොඩක් අය හිතන දේ තමයි බිකිනි හෝ කොට ඇඳුම්. බිකිනි අපට අඳින්න වෙන්නේ ලංකාව නියෝජනය කරන කොට. සාමාන්‍යයෙන් පිහිනුම්කරුවෙක්ට පිහිනුම් ඇඳුම අඳින්නම වෙනවානේ. නැතිනම් ඔහුට හෝ ඇයට ලංකාවේ වගේම අන්තර්ජාතික මට්ටමේ තරගවලදී ස්විම් කරන්න බැහැනේ. මොකද දියරෙදි ඇඳගෙන ස්විම් කරන්න බැහැනේ. අදාළ තැනට අදාළ විදිහට ඇඳිය යුතු අවස්ථාවලදී අපි ඇඳුම් අඳිනවා. වෘත්තියකදී ඇඳුමකින් දිග පළල මනින්න අමාරුයි.


 මේ වෙනකොට ඔබේ වෘත්තිය ?


මම මුලින්ම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. පස්සේ ඒකෙන් ඉවත්වෙලා තමයි නිරූපිකාවක් විදිහට වැඩ කරන් පටන් ගත්තේ. මේ වෙනකොට මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරලත් තිබෙනවා. දැන් ඉතින් සුනිල් සර් හින්දා සිනමාවටත් සම්බන්ධයි.


ක්ෂීර සාගරයෙන් පසුව රඟපෑමට ආරාධනා ලැබුණාද?


මේ චිත්‍රපටය රූගත කරන කාලේ වගේම ඊට පස්සේ ටෙලි නාට්‍යවලින් ආරාධනා ලැබුණා. හැබැයි මම ඒ එක ආරාධනාවක්වත් භාරගත්තේ නැහැ. මම ආස පිටපත් නොවෙයි ඇත්තටම තිබ්බේ. හැබැයි මේ චිත්‍රපටය තිරගත වුණාට පස්සේ නම් එහෙම ආරාධනා ලැබුණේ නැහැ.


 ජැක්සන් සමග රඟපෑ දර්ශන ලොකු අභියෝගයක් වුණාද?


මට විතරක් නෙමෙයි මේ තිර පිටපත ලැබුණු හැමෝටම තිබුණේ අභියෝග තමයි. මේක මනංකල්පිත කතාවක්. ඉතින් මේ නිසාම තමයි මම මේක අභියෝගයක් කියලා භාරගත්තේ. සමහර දර්ශන තිබෙනවා ගොඩක් වෙලාවට මගේ පිට තමයි නිරාවරණය වෙන්නේ. අනෙක් දේවල් මට තිබෙන්නේ භාව ප්‍රකාශනයත් එක්ක පෙන්නුම් කරන්න. ඉතිං සාමාන්‍යයෙන් අපි ඇඳුම් අඳිනකොට පිට පෙනෙන්න ඇඳුම් අඳිනවානේ. මේ රූප රාමු හරිම ලස්සනට සමහරුන්ට කිසිම දෙයක් හිතෙන්නේ නැති විදිහට චන්න දේශප්‍රිය සර් ලස්සනට කැමරාවට හසුකර ගන්නවා. බලන කෙනාට පෙනෙන්නේ වෙනම විදිහකට. හැබැයි අපි රූගත කරන්නේ තවත් විදිහකට. මොනදේ වුණත් චන්න සර් සිනමාවට අවශ්‍ය විදිහට ඒ දේවල් රූගත කළා.


 ඇඟ නිරාවරණය වැඩියි කියලා බය හිතුණු අවස්ථා තිබෙනවාද?


මේක පවුලේ චිත්‍රපටයක්. එහෙම නම් බය වෙන්න ඕනෑද? මහාචාර්ය සුනිල් ආරියරත්න සර් ඇතුළු පිරිස මේ දර්ශන අපි කොහොමද ඉදිරිපත් කරන්නේ කියන කාරනාව ගැන ලොකු සංවාදයක් ඇති කරලයි රූගත කිරීම් සිදුකළේ. එතැනදී සාරියක හෝ වෙනයම් ඇඳුමක පිට පෙනෙන්න තියෙනවා කියන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහට ගත්තොත් ඒක සමාන්‍ය දෙයක්. සමහර තැන් හරි ලස්සනට පහනකින් ආවරණය කරනවා. තවත් සමහර තැන් බොඳ කරලා ආවරණය කරනවා. එතැනදි අපි ඇඳුම් ඇඳලයි ඉන්නේ. ඒ දර්ශන සියල්ලම ගත්තේ හරිම ආරක්ෂාකාරීව. මම මේ දර්ශන සියල්ල රඟපෑවේ මහාචාර්ය සුනිල් ආරියරත්න සර් ගැන ලොකු විශ්වාසයකින්. සමහර ඇඳුම් අලවලයි තියෙන්නේ. ඉණෙන් පහළ කොටස් රූගත කරනකොට ඒ ඇඳිය යුතු ඇඳුම් ඇඳලා රෙදිවලින් ඔතලා තමයි රූගත කිරීම් සිදුකළේ.


දිනේෂ් විතාන





Previous Post Next Post