එළියෙන් දකින ජීවිතේට වඩා අපේ පෞද්ගලික ජීවිත සුන්දරයි-පූජනී භාග්‍යා



පූජනී භාග්‍යා කියන්නෙත් මේ දිනවල පුංචි තිරය තුළ නමක් දිනු නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. සතිය පුරා ඔබ හමුවන ඇය උසින් වැඩි රංගන ශිල්පිනියක් ලෙසත් ප්‍රකටයි. මැස්සා ටෙලි නාට්‍යයේ ‘පිංකි’ ලෙසින් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබන ඇය පසුගියදා දෙරණ නාළිකාවේ විකාශය ආරම්භ වුණු ශර්මිලා ධර්මරාසාගේ ‘රෝස ටෙලි නාට්‍යයේ ආශා’ ලෙස රඟන්නීය.


පූජනී මේ දවස්වල සතිය පුරාම පුංචි තිරයේ දකිනවා. ගොඩක් කාර්යබහුලයි වගේ?


ඇත්තටම ඔව්. ස්වර්ණවාහිනී නාළිකාවේ සති අන්තයේ විකාශය වන මැස්සා ටෙලි නාට්‍යයේ පිංකිත් එක්ක ප්‍රේක්ෂකයාට සමීප වුණු මාව මැයි 8 වැනිදා ඉඳන් සතියේ දින පහේම දෙරණ නාළිකාවේ දකින්න පුළුවන්. සතිය පුරාම ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරේ තමයි කාලය ගත වෙන්නේ.


මැස්සා එකේ පිංකියි, රෝස එකේ ආශයි කොහොමද ගැළපීම?


පිංකි කියන්නේ කොළඹ රේල් පාරක් අද්දර ජනාකීර්ණ පරිසරයක හැදුණු වැඩුණු තමන්ගෙම මහන්සියෙන් දියුණු වෙන්න දඟලන තරුණියක්. එයා කෙනෙක් ගැන ආදරෙන් බැඳිලා, මොන බාධක ආවත් ඒ ආදරේ මත්තෙම නැහෙන කෙනෙක්. මැස්සා සමාජයට හොඳ පණිවිඩයක් දෙන නිර්මාණයක්.


ආශා කියන්නේ ගමක ඉපදිලා කොළඹ පාසලකට ගිය දඟකාර, කටකාර විසේකාර ඒ වගේම හිතුවක්කාර තරුණියක්. එයා ආදරේට වගේම යාළුකමටත් හරි ආදරෙයි. නෙත්මි රොෂෙල්, සංජය මොරමුදලි, රන්දික ගුණතිලක, ගෙවින් අභිෂේක් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මේ චරිත දෙක ගොඩක් දුරට සමානයි. බොහෝ විට පූජනීටත් සමාන වෙන අවස්ථා තියෙනවා. රෝස කියන්නේ ආදරය කුතුහලය විරහව හැමදේම මුසුවුණු ගම්බද ජනවහර, ගම්බද ක්‍රීඩා ආශ්‍රිතව සැකසුණු නිර්මාණයක්.


 පූජනී වඩාත් සමානකමක් දක්වන්නේ පිංකිට ද? ආශාට ද?


කටකාරකම, දඟකාරකම ආශා ගාවත් තියෙනවා. පිංකිට තියෙන්නේ සල්ලිවලට නම්ම ගන්න බැරි අවංක ආදරයක්. එයා ආදරේ වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ආදරේ වෙනුවෙන් ෆයිට් කරනවා. අනිත් කෙනා කොහොම සැලකුවත් එයා ආදරෙයි. අන්තිමට ඒ ආදරේ ජයගන්නවා. අසාධාරණය නම් ඒ දෙන්නටම පෙන්නන්න බෑ. පූජනීටත් බෑ. පවුල් පරිසරයෙන් නොවුණත් අදහස් හා ක්‍රියාවන්ගෙන් මං ගොඩක් සමීප පිංකිට. පූජනී කියන්නේ පිංකිගෙයි ආශාගෙයි සංකලනයක් කිවුවත් හරි. ඒ වගේම ආශාගෙයි මගෙයි අතරේ තවත් බැඳීමක් තියෙනවා. කවුරුත් දන්නෙ නැති වුණාට මගේ නිට් නේම් එක ආශා. පවුලේ අය වගේම යාළුවො සමීපතමයන් ඒක දන්නවා. ඒකත් හරි දෛවෝපගත දෙයක්.


 


පූජනී කියන්නේ ගොඩක් උස නිළියක්. ඔබේ උස නිසා චරිතවලට බලපෑමක් ඇතිවෙලා නැද්ද?


මගේ උස අඩි 5යි අඟල් 8ක්. රෝස එකේ නම් සංජයත් ඒ උසම නිසා ගැටලුවක් වුණේ නෑ. ඒත් මැස්සා එකේ මට රඟපාන්න ලැබුණෙ දසුන් පතිරණ එක්ක. එයා මට වඩා ගොඩක් මිටියි. දසුන් අයියා ලොකු සපෝට් එකක් දුන්නා ඒ චරිතය කරන්න. සමහර වෙලාවට පඩි පෙළවල් හොයාගෙන යනවා ෂූට් කරන්න. දසුන් අයියා කිව්වා එයාට හමුවුණු උසම නිළිය මං කියලා. මටත් හමුවුණු මිටිම නළුවා එයා. ඒත් පිංකි හැදුණු වැඩුණු නාගරික සමාජ වටපිටාව තුළ උස බල බලා කළුද සුදුද බල බලා ආදරය කරන්නෙ නෑ. ෂූටිං කරන අතරේ මං බැලුවා එහෙම පෙනුමෙන් ගැළපෙනව කියන්න කට්ටිය හිටියෙ කලාතුරකින්. එයාලගෙ ජීවිත ඇතුළෙ ගළපගන්න දේවල් ගොඩක් වෙලාවට අපිට පේන්නෙ නෑ. ඒ නිසා පිංකිට උස ගැටලුවක් නෑ. ගොඩක් වෙලාවට ක්ෂේත්‍රය තුළ මට මැච් වෙන නළුවො ඉන්නෙ කිහිප දෙනයි. ඒ අයත් චරිතෙට ගැළපෙන්න ඕනනේ. උස නිසා මට චරිත මිස් වුණු අවස්ථා ගොඩක් තියෙනවා.


ගයාන් - පූජනී කියන්නේ මොන වගේ බැඳීමක් ද?


ගයාන්ව මං අඳුන ගන්නේ 2019 ඉඳලා. අපි අතරේ හොඳ තේරුම් ගැනීමක්, බැඳීමක්, සහයෝගයක් තියෙනවා. අපි දෙන්න හැම තිස්සෙම ඉන්නෙ එකට. එකට වැඩ කරනවා, නිර්මාණවලට සම්බන්ධ වෙනවා. ගමන් බිමන් යනවා. යූටියුබ් නාළිකා කරනවා. දෙන්නට දෙන්න හැමදේටම උදවු කරගන්නවා. දකින අය අහනවා ඔය දෙන්නා කපල් එක ද? යාළුවො ද කියලා. දකින අය දන්නවා ඇති. ඒත් මොකුත් කියන්නෑ. අපි ඩිරෙක්ට් කියනවට වඩා ඒක දැනෙන්න දෙන එක හොඳයි. දවසක් එනවා අනිවාර්යයෙන් ඒක හරියටම කියන. එතකල් ප්‍රේක්ෂකයා අපිට ආදරේ නිසා අපිව භාරගන්නවා කියලා මං හිතනවා. මං කැමතියි හැමදේම ලෑස්ති කරගෙනම ඒ දේ කියන්න.


 ගයාන් කියන්නේ නළුවෙක් වගේම හොඳ ගායකයෙක්. පූජනී කැමති නැද්ද ගයාන් එක්ක ගීතයකට සම්බන්ධ වෙන්න?


එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ගොඩක් ප්‍රේක්ෂකයන්ගෙත් ඉල්ලීමක් තියෙනවා. වැඩසටහන්වලට ගිහින් මම ගීත ගායනා කරලා තියෙනවා. ඒවටත් උදවු කරන්නේ ගයාන්. ඉදිරියේදී දෙන්න එකතු වෙලා එහෙම නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක සිදුවේවි. මීට කලින් ගයාන්ගේ හිතේ කතාව කියන සින්දුවට මං රංගනයෙන් දායක වුණා.


 කාවින්ද්‍යා පූජනීට බණිනවා පූජනී කාවින්ද්‍යාට බණිනවා කියලා සමාජ මාධ්‍යවල කතාවක් පැතිරෙනවා. ඒ කතාව ඇත්ත ද?


ඇත්තටම මං පළවෙනි වතාවටයි මේ ගැන කතා කරන්නේ. සමාජ මාධ්‍යවල එක එක කටකතා පතුරවනවා. ඒ දේවල්වල කිසිම සත්‍යයක් නෑ. මට සාමාන්‍යයෙන් ෆීල්ඩ් එකේ යාළුවො නෑ. කාවින්ද්‍යා අධිකාරි තමයි මට ටිකක් හරි සමීප. අපි දෙන්නා යාළුවෝ. අපි දෙන්න අතරේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. එළියෙන් දකින ජීවිතේට වඩා අපේ පෞද්ගලික ජීවිත සුන්දරයි. මට නම් මගේ පෞද්ගලික ජීවිතේ හරිම සුන්දරයි. හැමෝම සර්ව සම්පූර්ණ නෑ. මං මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ මේ වගේ කටකතා නිසා අපිව වැරදියට වටහා ගන්න එපා කියලා.





Previous Post Next Post