අයකු එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර කීපයක කටයුතු කිරීම සුවිශේෂී ය. රංගන ශිල්පිනියක ලෙස ජන හදවත්වල ආකර්ෂණීය ව රැඳෙන මොහොතක සිය මවුබිමේ නිහඬ මුවින් බරැති හදවත් දරා සිටින පිරිසක් වෙනුවෙන් සංවේදී ව කටයුතු කිරීම තවත් සුවිශේෂී ය. සම්මානයට පාත්‍ර වූ රංගන ශිල්පිනියක, ලේඛිකාවක මෙන්ම පරිසරවේදිනියක ලෙස ද ජන සමාජයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම සිය ජීවිතයේ මූලික පරමාර්ථයක් කොටගත් රංගන ශිල්පිනි මිශෙල් දිල්හාරා සිය දිවියේ සුවිශේෂ අරමුණු පිළිබඳ කළ කතා බහකි මේ.
2014 වසරෙදි තමයි මම අපොස උසස් පෙළ විභාගය කළේ. රංගන ශිල්පිනියක් වෙන්න ඕන කියල හිතපු එක පුංචි කාලෙ ඉඳන් තිබුණ හීනයක්. ඒ නිසා උසස් පෙළ විභාගයෙන් පසු වසර එකහමාරක් විතර රංගන පුහුණුව සඳහා යොමු වුණා. විශේෂයෙන් අනෝජා වීරසිංහ මහත්මියගේ ‘අභින’ රංගන පුහුණු පාසලේ, දමයන්ති ෆොන්සේකා මහත්මියටත් වගේම රන්දික විමලසූරිය මහතාගේ ‘අභිරංග’ නාට්‍ය පුහුණු පාසලේ නාට්‍ය හා රංග කලාව හදාරන්න යොමු වුණා. ඒ වගේම ඉන්දීය අධ්‍යක්ෂවරයකු වන උජ්වාල් සිංහා මහතා යටතේත් රංගනය හදාරන්න පසුබිමක් සැකසුණා. ඉන්පසුව තමයි නාලන් මෙන්ඩිස් මහතා අධ්‍යක්ෂණය කළ සල්සපුනා ටෙලි නාට්‍යයට මුලින්ම සම්බන්ධ වුණේ. මම එහි ‘පොඩි පත්තරකාරි’ කියන චරිතයට තමයි පණ පෙව්වේ. ඊට පස්සෙ තමයි සුදු ඇඳගෙන කළු ඇවිදින්, මැටි කඩොළු ආදි ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වුණේ. සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයෙන් තමයි මාව විශාල ජන අවධානයකට යොමු වුණේ. ඒක මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වැනි වූ නාට්‍යයයි. එහි අයෝමා කියන චරිතය තමයි මම කළේ.ඒ සඳහා මට සම්මාන ත්‍රිත්වයක් හිමි වුණා. එහිදී රයිගම් ටෙලි උලෙළේ හොඳ ම නැඟී එන නිළිය ලෙස, සුමති සම්මාන උලෙළේ හොඳම නැඟී එන නිළිය හා රාජ්‍ය සම්මාන උලෙළේ සම්මානයකින් අගැයුමට ලක් වුණා.
2019 වසරේදී ඔබ රචනා කළ ග්‍රන්ථයක් එම වසරේ ඉන්දියාවේ පැවැති ලෝක තරුණ සමුළුවේදී අගැයුමට ලක් වුණා. ඒ පිළිබඳත් කතා කරමු
ඔව්. එය මට ගොඩක් විශේෂ අවස්ථාවක්. රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නත් පෙර ඉඳන්මයි මම සමාජ සේවා කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්වූයේ. ඒ කියන්නේ මම පුංචි කාලයේ ඉඳන්මයි ඒ ගැන හිතන්න පෙලඹුණේ. එහිදී මම රංගන ක්ෂේත්‍රයට පිවිසුණායින් පසු ලැබූ අත්දැකීම් වගේම ඉන් පෙර සිටම මා ලද අත්දැකීම් එක්ක විශේෂයෙන් ම ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරියක ලෙස ළමා නිවාස ඇසුරේ මා ලද අත්දැකීම් සමඟයි මේ පොත ලියන්න පෙලඹුණේ. මම හැමදාම ගොඩක් උනන්දු වූ පැත්තක් තමයි Social Invisibility එහෙම නැතිනම් සමාජ අදෘශ්‍යතාවට ලක්වූ පිරිස් පිළිබඳ වු හැඟීම.එහිදී අවුරුදු හතරක පමණ කළ සමීක්ෂණයක් ඇසුරෙන් ලියූ පොත තමයි සමාජ අදෘශ්‍යතාව මිථ්‍යාවක් නොවේ පවතින්නක් ලෙස 2019දී ප්‍රකාශයට පත් කළේ. (එය ඉංග්‍රීසි බසින් Social invisibility is not a fiction it exists ලෙස හඳුන්වා දුන්නේ) ඒ සඳහා මට උපකාර කළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඇන්ටනට් පෙරේරා මහත්මිය ඒ වගේම විශේෂඥ වෛද්‍ය පරාක්‍රම වර්ණසූරිය, ආචාර්ය ශිරෝමි ප්‍රනාන්දු ආදින් මෙහි න්‍යායාත්මක අංශ වෛද්‍යමය කාරණා ආදි ගොනු කරගන්න ඔවුන් ලොකු සහයක් ලබා දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඒ පොතට හා එහි සංකල්පයට National Youth Icon සම්මානය හිමි වුණේ.
විශේෂයෙන් මට නිතරම සිතුණ දෙයක් වුණේ එකම රටක, එකම නගරයක ජීවත් වන දෙදෙනකු පවා ඉරණම් දෙකක් අත්විඳීන්නේ කොහොමද කියන කාරණයයි. එහිදී එක් අයකු කැපී පෙනෙනසුලු දිවි පෙවෙතකට හිමිකම් කියද්දි තවකකු ඇයි අපෙන් මඟ හැරෙන්නේ කියන එක පිළිබඳ මම ගොඩක් කල්පනා කළා. ඇත්තටම මට අසන්න දකින්න ලැබුණු ඉතා සමීප හා සංවේදී අත්දැකීම් මීට ගොඩක් පාදක වුණා. මා දකින ලෙස මේ සමාජයේ හැම දෙයක් ම බෙදිලයි තියෙන්නේ. ලස්සන, කැත, සල්ලි ඇති, සල්ලි නැති තත්ත්වයන් වගේම තත්ත්වයක් ඇති තත්ත්වයක් නැති ආදි වශයෙන්. හැබැයි මිනිසුන්ම තමයි ඒවා බෙදාගෙන තියෙන්නේ. ඒ බෙදීම නිසා තමයි කොටසක් සමාජයෙන් මඟ හැරී තියෙන්නේ. හැබැයි කිසිවකු ඒ ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්නේ නැහැ. ඉතින් එබඳු පසුබිමක් තුළ හඬක් නැති අයට හඬක් නඟන්න තමයි මට ඕන වුණේ. ඉතින් මම මේ ක්ෂේත්‍රයටආ පසු ඒ පිළිබඳ සමාජයේ අවධානය ටිකක් වැඩිපුර ව්‍යාප්ත කරන්න මට ඉඩක් ලැබුණා.
පරිසරවේදිනියක් විදියටත් ඔබ උනන්දුවෙන් කටයුතු කරන කෙනෙක්.
ඔව්. සමාජ අදෘශ්‍යතාව පිළිබඳ කටයුතුවල නියැළී ඉන්න අතරෙමයි පරිසරය ගැන හිතුවේ හා කතා කළේ. මොකද කාලගුණ වෙනස්කම් හා ගෝලීය උණුසුම කියන කාරණා වර්තමාන ලෝකයට බරපතළ ගැටලු බවට පත් වී තියෙන නිසා වසර 2050වන විට එම කාරණා පාලනය පිණිස අත්පත් කරගත යුතු ඉලක්ක ලෝකයේ අවධානය සඳහා මේ වන විට යොමු කර තියෙනවා. ඉතින් අපි තනි පුද්ගලයන් විදියට වුණත් ඒ ගැන අවධානයක් යොමු කළොත් කුමක් හෝ වෙනසක් කරන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිද්දියි මට 2020දී අමෙරිකාව කේන්ද්‍ර කරගෙන පිහිටුවා තිබෙන පාරිසරික සංවිධානයක් වන Earth Day Network සංවිධානය සමඟ එක්ව කටයුතු කරන්න ලැබුණේ. ඒ සමඟ සම්බන්ධ වී සිටිනවා ලෝකයේ බලවත් හා ජනප්‍රිය පුද්ගලයන් රැසක්. 2020 වසරේදී එම සංවිධානය දකුණු ආසියාතික රටවල එම සංවිධානය වෙනුවෙන් තානාපතිවරුන් තෝරා ගැනීමක් කළා. ඒ අවස්ථාවේදී තමයි ඔවුන් මාවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එහි තානාපතිනියක් ලෙස තෝරා ගනු ලැබුවේ.
සමාජ හිතවාදිනියක් විදියට ඔබ කුමනාකාර මෙහෙවරකද වර්තමානයේ නිරත වෙන්නේ ?
විශේෂයෙන් කෝවිඩ් අර්බුදය සමඟ සමාජයක් විදියට අපි මුහුණ දුන් ගැටලුවල ශේෂයන් තාමත් ඉතිරිව තියෙනවා. ඒවගේ පසුබිමක විශේෂයෙන් දරුවන්ගේ අවශ්‍යතා මම හොඳීන් නිරීක්ෂණය කරමින් හා තේරුම් ගනිමින් ඉන්නවා. දරුවන් යනු රටක අනාගත නායකත්වයයි. ඉතින් ඔවුන් මේ අවධියේ යම් අපහසුතාවලට මුහුණ දෙනවා නම් ඉන් ඔවුන්ගේ අනාගතයට විශාල බලපෑමක් ඇති විය හැකියි. ඉතින් එබඳු දරුවන්ට යම් සවියක් වන්නයි නුවරඑළිය, කුරුණෑගල, දළුපොත, සහ කටුවපිටිය යන ප්‍රදේශවල දරුවන්ට පාසල් පාවහන් ලබාදෙන කටයුත්තකට පසුගියදා මුල් වුණේ.
ඒ කටයුතු වෙනුවෙන් කදිරාන ශ්‍රී මහින්දාරාම බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දැවමොට්ටාවේ මහින්ද හිමි, දළුපොත ධම්මරතනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගෝනපතිරාවේ ධම්මවිමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් පෙර පාසල් ගුරුශිරෝමි කොඩිතුවක්කු මහත්මිය සහ නුවරඑළියේ එස්. ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදු කළේ. මම උපයන ආදායමෙන් සියයට හැටක ප්‍රමාණයක් මෙබඳු කටයුතු වෙනුවෙන් වැය කරන්න මම පුරුදු වී ඉන්නවා. කොහොමත් මසකට වරක් මෙබඳු ව්‍යාපෘති දෙකක් පමණ සිදු කරනවා. ඉදිරියටත් එය එලෙසම කරන්නයි කැමැත්තෙන් ඉන්නේ.
මේ දිනවල ඔබේ රංගන කටයුතුවල පසුබිම කොයි වගේද ?
මේ දිනවල ජාතික රූපවාහිනියේ කාසි ටෙලි නාට්‍යය විකාශය වෙනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ ඉරේෂ් ලොකුබණ්ඩාර. නිෂ්පාදනය කරන්නේ සමුද්‍රා හික්කඩුව මහත්මිය සහ ශ්‍රීනාත් අර්ල් ද සිල්වා මහාතායි.
ඊළඟට මැයි 10 වැනිදා සිට ස්වර්ණවාහිනියේ රාත්‍රී හතයි තිහට ‘සිදාදියේ සමනළියෝ’ නමින් ටෙලි නාට්‍යයක් විකාශය වීමට නියමිතයි. එය අධ්‍යක්ෂණය කරන්නේ ධනංජය සිරිවර්ධනයි. නිෂ්පාදනය කරන්නේ පණ්ඩුක වීරසේකර.
එය ගැහැනු දරුවන් පස්දෙනකු වටා ගෙතුණ කතාවක්. විවිධ ප්‍රදේශවලින් පැමිණ කොළඹ නවාතැන් ගෙන සිටින එකිනෙකට වෙනස් සිතුම් පැතුම් සහිත ජීවිත පහක කතාව තමයි මෙහි දිගහැරෙන්නේ. මම එහි මල්කි කියන චරිතයයි නිරූපණය කරන්නේ. එය ලොකු වෙනසක් ඇති කරයි කියා බලාපොරොත්තු වෙනවා.