උරුමය සහ අනන්‍යතාව කසුන් - කුෂාණි සඳරේඛා




හිතක රැඳුණ ප්‍රේමය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒ ප්‍රේම සිතුවිලි ජීවිත කාලෙම ජිවන ගමන යන්න ශක්තිය සපයනවා. මේ කියන ප්‍රේමයත් ඒ වගේ සදා නොමියෙන ප්‍රේමයක්. දිවි ගමන් මඟ සතුටින් එක්ව යන්නට ශපථ කර ගත් ඒ ප්‍රේමය අද විවාහය දක්වා බොහෝ දුර ගිහින්. ඒ විතරක් නොවෙයි. ඒ අසිමාන්තික ප්‍රේමයේ ආදරණිය ඵලය පුංචි දියණියකගෙන් මවිපිය පදවිවලටද අභිෂේක ලබලා.

පිරිමියෙකුට පිය පදවිය තරම්වත්, ගැහැනියකට මව් පදවිය තරම්වත් කිරුළක් ලොවේ තව ඇතැයි විශ්වාස කළ නොහැකියි. ඒ කිරුල ආදරයෙන්, ප්‍රේමයෙන් පැළඳ ගත් විට එහි තිබෙන ආශ්චර්යය කොච්චරද කියලා කියන්න බෑ. ඒ ආශ්චර්යවත් කිරුළ පැලැඳී ඔවුන් ප්‍රවීණ ගායක ගායිකා යුවළක් වන කසුන් කල්හාර සහ කුෂානි සඳරේඛායි. මේ දෙදෙනා එක්ව යන යුගදිවි ගමන සේම නිර්මාණ ජිවිතයද රන් රස සේ ගැළපීම විශේෂයෙන් සංගිත ක්ෂේත්‍රයට සුන්දර අත්දැකීම් එකතු කරනවා. 

මීට බොහෝ කලකට ඉස්සර ඔවුන් දෙදෙනාම තනි තනිවම තම නිර්මාණ ජිවිතය ආරම්භ කළ දෙදෙනෙක්. එසේම මේ දෙදෙනාම තනි තනිව ඒ නිර්මාණ ජිවිතය තුළ බොහෝ දුර ගමන් කළ දෙදෙනෙක්. මේ දෙදෙනාගේ සුසංයෝගය අද වන විට අපේ සංගීත ක්ෂේත්‍රය වර්ණවත් කිරිමට හේතුවක් වෙනවා. දෙදෙනාටම අනන්‍ය වූ ගායන හැකියාවෙන් අපේ රටේ රසික ජනතාව පමණක් නොව විදේශ රටවල රසිකයින්ද නැළවීමේ හැකියාව අපරිමයෙන් ඔවුන් දෙදෙනාට පවතිනවා.

නව නිර්මාණත් සමඟ සංගීත ලෝකයේ උඩුගං බලා පියමනින කුෂානි සමඟ ගෙවුණු සොඳුරු හෝරා කිහිපයකදි කළ කතා බහකුයි මේ.

‘පසුගිය කාලයේ අලුත් ගීත කිහිපයක්ම ජනගත කළා. ඉන් ප්‍රමුඛ වෙන්නේ උපුල් ශාන්ත සන්නස්ගල ලියපු ගීත කිහිපය එය ඔහුගේ යූ ටියුබ් චැනලය හරහා ජනගත කළා. මේ ගීත ඔහු ලියලා තිබුණේ ඔහු ලියපු ‘නිර්වාණ්’ කියන පොතත් එක්ක. ඔහුට ඕන වුණේ මේ කතාව ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඒ නිසා චිත්‍රපටයේ ගීත ටික මිට ටික කලකට ඉහතදි ඔහු රෙකෝඩ් කළා. ගීත ඔක්කොම සංගීතවත් කළේ කසුන්. ගායනය කළෙත් කසුනුයි මමයි. ‘බුදුවරිය මගේ, ප්‍රේමානුමෝදනා කියලා ගීත දෙකක් කසුන් විසින් ගායනා කරනවා. මන්දාකිණියේ පාරදිගේ කියන ගීතය මම ගායනා කරනවා. මේ ගීත සියල්ලම හරිම ලස්සනයි. අලුත් ආරක ගී තනු සහ පද රචනා. ඉතින් මම හැම දෙනාටම ආරාධනා කරනවා මේ ගීත රසවිඳීන්න කියලා.

මේ දිනවල බොහෝ දෙනෙක් කැමැති තවත් ගීතයක් තමයි ‘සරා සඳේ සිරියාවි’ කියන ගීතය . ඒක මම මිට කලින් කරපු ගීත අතර තිබුණු ගීතයක්. කසුනුයි මමයි කියන මේ යුග ගීතය ඒකාලේ වැඩිය අවධානයට යොමු වුණේ නෑ. නමුත් පසුගිය දිනක ඒ ගීතය රි මේක් එකක් කරලා අපි නැවතත් ඉදිරිපත් කළා. දැන් ඒ ගීතයට හොඳ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඉතින් පසුගිය කාලේ ඔන්න ඔය වගේ වැඩ කටයුතුත් එක්ක තමයි හිටියේ. අප්‍රේල් මාසයේ කසුනුත් එක්ක සිංගප්පූරුවේ පැවති ප්‍රසංගයකට සහභාගි වුණා.’

කුෂානි ගේ කලා ජීවිතය පටන් ගන්නේ මවු කුසේ සිටයි. ඒ වගේම තමයි කසුන්ටත්. ඔහුගේ කලා ජිවිතය පටන් ගන්නෙත් මවු කුසෙන්. පරම්පරාවෙන් එන ඒ ජාන, ඒ දක්ෂතා, හැකියාවන්ගෙන් පිරිපුන් ඒ ලේ ඔවුන් දෙදෙනාගේම ජීවිතවල නිධන් ගත වෙලා තිබෙනවා. හැබැයි විශේෂත්වය වෙන්නේ පාරම්පරික අරුමය ආශිර්වාදයක් කොට ගනිමින් මේ දෙදෙනාම තමන්ටම අරුම වූ දක්ෂතාවයන්, හැකියාවන් මත තම අනන්‍යතාවය තහවුරු කර ගන්නා ගමනක නිරත වීමයි.

මේ දෙදෙනාටම ඇත්තේ ඔවුන් දෙදෙනාට පමණක් වෙන්වූ හඩ පෞරුෂයකි. කසුන් වගේ ගීත ගයන ඒ හඬට සමාන හඩ ඇති ගායකයන් තව අපට නැත. ඒ වගේම කුෂානි ගේ හඩ පෞරුෂයට සම කළ හැකි හඩ පෞරුෂයන්ද අපට හමු නොවේ. අනෙක් සුවිශේෂීම කාරණය වන්නේ මේ දෙදෙනාගේම හඬ චිත්‍රපට පසුබිම් ගීත ගායනයට කියාපු හඬවල් වීමය. ආදරණීය වස්සානය, සිකුරු හතේ ඇතුළු චිත්‍රපට ගණනාවක පසුබිම් ගී ගයමින් කසුන් එය අපට ඔප්පු කොට හමාරය. එසේම කුෂාණි ද චිත්‍රපට පසුබිම් ගී ගායනය වෙනුවෙන් හොඳම පසුබිම් ගී ගායිකාව වශයෙන් සරසවිය සම්මානයද දිනා ගනිමින් එය ඔප්පු කොට හමාරය.

නුදුරු දිනකදි තිර ගත විමට නියමිත ජයන්ත චන්ද්‍රසිරි ගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය ඊට සාක්ෂි සපයන තවත් චිත්‍රපටයකි.

‘ඇත්තටම මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය තිරගත වනතුරු. මේ චිත්‍රපටයේ තේමා ගීතය සහ තවත් ගීතයක් ගායනා කිරීමේ අවස්ථාව මට ලැබුණා. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ආදරණිය බිරිඳ මධුමනි හපුආරච්චි තමයි මේ ගීතය රචනා කළේ. නවරත්න ගමගේ මහත්මයා තමයි සංගීතවත් කළේ. මට හිතෙනවා මගේ චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් මිදුණු විශ්වයේ තියෙනවා කියලා. ඇත්තටම මම චිත්‍රපට පසුබිම් ගායනයට සුවිශේෂි කැමැත්තක් තිබෙනවා. මගේ හඬ පරාසයෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට තව හොඳට වැඩ ගන්න පුවවන්. චිත්‍රපටයකදි අපි සිද්ධ කරන්න ඕන හැඟීම් ගායනයක්. මම හිතන්නේ ඒක ලේසි පහසු ක්‍රියාවක් නොවෙයි. නමුත් ඒ අභියෝගය ගන්න මම හුඟාක් කැමැතියි.’

කුෂානි ගේ හැඟිම් ගායනා අපි කොතෙකුත් අසා තිබෙනවා. විශේෂයෙන්ම ඇගේ මව කලකට ඉහත ‘ අරලිය මල්’ චිත්‍රපටය ට ගැයූ ‘කුරුල්ලෝ නුඹේ තාලෙන්’ ගීතය ඇය නව ආරකින් ගයා තිබෙන අයුරු කවුරුත් රසවිඳලා ඇති.

කුෂාණි ලංකාවේ ලොකුම කලා පවුලේ සාමාජිකාවක්. කසුන්ගේ විවාහයක් සමඟ ඇය තවත් කලා පවුලකට එකතු වෙනවා. කසුන්ටත් කුෂානිටත් රකින්නට අති විශාල නිර්මාණ සම්භාරයක් තිබෙනවා. කුෂානිගේ පියා, වික්ටර් විජයන්ත ගායනා කළ සහ නිර්මාණය කළ ගීත ඇගේ මව ගායනා කළ ගීත මෙන්ම කසුන්ගේ පියා නිර්මාණය කළ ගීත සහ කසුන්ගේ මව ගායනා කළ ගීත ගොන්න ඒ අතර වෙනවා. මේ වන විටත් ඔවුන් ඒවා සංරක්ෂණය කරමින් ඉදිරියට පවත්වාගෙන යැමේ ක්‍රමවේදයක සිටිනවා.

ඇත්තටම කසුන්ගේ අම්මට තාත්තට අයිති ගීත ඔක්කොම දැන් කසුන්ට අයිති නිසා කසුන් ඒවා ඔහුගේ යු ටියුබ් චැනලය ඔස්සේ නැවත අසන්නට සලස්වමින් සහ ආරක්ෂා කරමින් සිටිනවා. අපේ තාත්තාගේ ගීතත් සංරක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් අපි දෙන්න එකතු වුණාට පස්සේ අපේ නිර්මාණ ජීවිතෙත් වෙනස් වුණා. දැන් අපි දෙන්නම එකට සංදර්ශනවලට සහභාගි වෙනවා. ඒකෙත් වෙනම නැවුම් බවක් තිබෙනවා. මට හිතෙනවා රසිකයොත් ඒ නැවුම් බවට කැමැතියි කියලා.‘

අපේ දියණියත් සංගීතය පැත්තට ලොකු ආශාවක් වගේම දක්ෂතාවයකුත් ඇයට තිබෙනවා. නමුත් ඉතින් මුලින්ම ඇය අධ්‍යාපනය ඉවර කර ගන්න ඕන නිසා අපි ඒ පැත්තට තමයි උනන්දු කරන්නේ. නමුත් මට හිතෙනවා කවද හරි දවසක අපි දෙන්න ඉවර කරන තැනින් අපේ දියණිය පටන් ගනී කියලා.





Previous Post Next Post