එම රංග ප්‍රතිභාව කලාකරුවකු විසින් නිර්මිත කලා නිර්මාණය ද අතික්‍රමණය කරයි. එනයින් රසික හද නිවා මන පුබුදුවයි. මේ විශිෂ්ට රංග ප්‍රතිභාව මෑත ඉතිහාසයේ අපට සානුභුතික වූ ටෙලි වෘත්තාන්තය මාණික්කාවතයි. පසුගියදා රයිගම් ටෙලි සම්මාන උලෙළේ සුදත් රෝ්හණ අධ්‍යක්ෂණය කළ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල රචනා කළ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ හොඳම නළුවාට හිමි සම්මානයෙන් හේ පිදුම් ලබන්නේ මාණික්කාවතේ කෙටි හාමි ලෙස රඟපෑ ජගත් සම්මානයෙන් පිදුම් ලද ප්‍රවීණ රංගවේදී ජගත් චමිලයි.
ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ?
පසුගිය රයිගම් ටෙලි සම්මාන උලෙළේ මාණික්කාවතේ කෙටිහාමිට සම්මානයක් ලැබුණා. ඒ හිමි වීම ගැන මා සතුටට පත් වෙනවා. මමත් කැමතියි සම්මාන ලබන්න. ඒ තුළින් ලැබෙන උත්තේජනය අත් විඳීන්න. නමුත් ඒ සම්මානය පිළිබඳ මා වඩා සතුටට පත්වෙන්නේ කෙටි හාමිට ආදරේ කළ ටෙලි විෂනයෙන් එහා සිට කෙටි හාමි ව නැරැඹූ ඔහුට ආදරය කළ පිරිසගේ සතුට වෙනුවෙන් තැබූ සන්නාමයක් බවට එය පත්වුණු නිස යි. කෙටිහාමි ව අගයපු රයිගම් ටෙලි සම්මාන උලෙළ පිළිබඳ රසික හදවත් සතු ප්‍රසාදය මුහුණු පොතේ පෝස්ටුවල ඔවුන් තැබු සටහන්වල සඳහන් ව තිබුණා.
එදා කෙටිහාමිට ජීවය දෙන කොට සම්මාන ලැබෙයි කියලා සිතුණ ද?
මාණික්කාවතේ කෙටිහාමි නියෝජනය කළේ මේ ධරණි තලයේ අපේ සංස්කෘතික කැබැල්ලේ හද ගැහෙන රාවයයි. අපේ රටේ බොහොමයක් මිනිස්සු බොහොම අහිංසක නිර්ව්‍යජ මිනිස්සු. පපුව ළඟට දෑත් එක්කර ආයුබෝවන් කියලා හදවතින් පිළිගන්නවා. එහෙම නැතිව කෙනෙක් පළමුව අතට අත දුන්නොත් එක අතක් දෙනවා නොවෙයි. ඒ අත දෑතින්ම අල්ලාගන්නේත් හදවතින් ම බොහොම ළෙංගතුව යි. කෙළෙහි ගුණ සැලකීම පිළිබඳ උතුම් හැඟීමක් අපේ මිනිස්සු තුළ තිබෙනවා. තියන විදියට කාලා බීලා, අනෙක් අයටත් දීලා, තවත් ජීවිතයකට හුස්ම දීලයි කෙටි හාමි ජීවත් වුණේ. අන්න ඒ නිසා ම ඒ අය නියෝජනය කළ පුද්ගලයා විදියට කෙටි හාමිව මිනිස්සු දැක්කේ. නමුත් ඒ අය සිතුවේ නැහැ කෙටි හාමිට සම්මානයක් ලැබෙන්න ඕනෙමයි කියලා. නමුත් කෙටිහාමිට ලැබුණු ජනතා ප්‍රසාදය එක්ක ඇතිවුණු විශ්වාසය විනිශ්චය මඬුල්ල විසින් ලබාදුන් තීන්දුව ප්‍රත්‍යක්ෂ කළා.
අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ රංග වේදියකු ලෙස අපේ රටේ සිනමාව ලෝක සිනමාව සමඟ සසදන විට නව නිර්මාණකරණය පිළිබඳ සෑහිමට පත්වෙන්න පුළුවන් ද?
සැබෑ කලාකරුවාට සමාජය සමඟ වගකීමෙන් බැඳෙන්න බුද්ධිමය සංවාදයක් කලා නිර්මාණයක් තුළින් ගොඩනැගෙන්න ඕන. තිස්ස අබේසේකරයන් විටෙක පවසනවා තිරයේ හෝ වේදිකාවේ රංගන ශිල්පියා හෝ ශිල්පිනිය විසින් දුක හෝ සතුට ප්‍රකාශ කරන විට එය බලා සිටින තැනැත්තා තුළත් ඇති වීම සානුභූතිය කියලා. මේ සානුභුතික තත්ත්වය තුළ ඇතිවන්නා වු සහකම්පනීය ස්වභාවය කලා නිර්මාණයක් ප්‍රේක්ෂකයා තුළ ඇතිකරන කාරණාව යි.
පසුගිය කාල වකවානුවෙ නව නිර්මාණකරුවන්ගේ කෙටි චිත්‍රපට 15 ක පමණ මා රඟපෑවා. මේ හැම නිර්මාණයක ම අතිශය මානුෂික හැගීම් සමුදායක් ඒත්තු ගැන්විලා තිබුණා. ඒ හැම නිර්මාණයක ම අපූර්වත්වයක් තිබුණා. ඒ වගේම ඉහළ තාක්ෂණය භාවිත කර තිබුණා. පෙර කී කලාවේ යුතුකම සාධනය වන උසස් නිර්මාණ නවක කලාකරුවන් විසින් බිහි කිරීම පිළිබඳ මා සැබවින්ම සතුටට පත්වෙනවා
ඔබේ වත්මන් නිර්මාණ කටයුතු පිළිබද කතා කරමු?
පසුගිය කාල සීමාවේ වැඩ අවසන් වු සිනමා නිර්මාණ කිහිපයක් ම මේ දිනවල තිරගත වෙනවා. තට්ටු දෙකේ ඉස්කෝලේ විත්‍රපටයේ මගේ පුතත් මා එක්ක රඟපෑවා. හිතුමතේ ජීවිතේ, පාස්පෝට්, ගොවි තාත්තා, මාරක ළිඳේ සවාරියක් එවැනි සිනමා නිර්මාණ කිහිපයක්. රතු කපුවා, නනක ලයන මේ කාලේ වේදිකා සංචාරය කළ වේදිකා නාට්‍යයයි.
ආදරණිය පවුලේ තොරතුරු ගැනත් කියමුද?
මගේ ආදරණීය බිරිය පියුමි උත්පලා ධර්ම ශී‍්‍ර. දරුවො දෙදොනාගේත් මගේත් සියලු කටයුතු සිදුවනුයේ ඇය අතින්. උරුමයෙන් ඇයට කලාව පිහිටලා තිබුණත් කලාවේ නිරත වෙන්න නම් වැඩි උනන්දුවක් නැහැ. ලොකු දුව වෙනුරි කිනාරා, මොරටුවේ ජයලත් අප ස්වාමි දුවගේ කන්‍යාරාමයේ ඉගනුම ලබා ඉන්පසු උසස් පෙළ සඳහා කොළඹ දේවි බාලිකා විදුහලට ඇතුළත් වුණා. දැන් ගණිත අංශයෙන් විශ්වවිද්‍යාල වරම් ලබා තිබෙනවා.පොඩි පුතා පන්සිළු පවන්ට අවුරුදු 14 වෙනවා. ඔහු මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඉගනුම ලබනවා.
අපේ කතාබහ අවසන් කරමින් මා ඔබෙන් දැන ගන්න කැමතියි මේ ජනපි‍්‍රයත්වය සහ සම්මාන ගිලිහුණු දාට ජගත් චමිල ඊට මුහුණ දෙන්නෙ කොහොම ද?
ඇත්තටම මගේ ජීවිතේ ගලවා ගත නොහැකි සේ අලවා ගත් කිසිවක් නෑ. මගේ ගොඩ වැඩිකරගන්න ඕන කියන හැඟීමත් මට නෑ. මා සිතන්නේ මාණික්කාවතේ කෙටිහාමි ගේ චරිතය රඟපැවට පසුව මගේ ජීවිතේ බොහෝ දේ ඒ චරිතය ඇපුරේ පුහුණු කරන්න මා පටන් ගත්තා. ලාභෝ අලාභො අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්කං ලොව සියලු දේ මේ අටලෝ දහමට අවනතයි. අද කෙටිහාමිගේ චරිතය පුරුද්දක් කරගෙන අටලෝ දහමිනි අකම්පිත ව උපේක්ෂාවෙන් ජීවිතය දකින්න ජගත් චමිලටත් හැකිවෙලා තිබෙනවා.