අධිරාජ්‍යයා නැති පාළුව කැරැලිකාරයාට තදින්ම දැනෙනවා-හේමාල් රණසිංහ



සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටය මේ දිනවල සාර්ථක ලෙස තිරගතවෙනවා. ජැක්සන් ඇන්තනී තිරරචනය ලියූ මෙම චිත්‍රපටය කැරැලිකාරයාගේ චරිතය නිරූපණය කරන්නේ සිංහල සිනමාවේ ආකර්ෂණීයම නළුවා වන හේමාල් රණසිංහයි. අද අපි කැරැලිකරුවා සමග වෙනස්ම කතාබහකට මුලපිරුවා.


කැරැලිකාරයා කියන්න ද හේමාල් කියන්න ද? 



මේ දවස්වල හැමෝම කැරැලිකාරයා ගැන කතා කරනවා... ඒ නිසා කැරැලිකාරයා කිව්වට කමක් නැහැ


පසුගිය කාලේ කැරැලි ගැහුවා නේද?


මම හිතන්නේ ඒ කැරැල්ල ගැන සයිමන් නවගත්තේගම සූරීන් දැක්කේ කොච්චර කාලෙකට කලින්ද... සමහරු ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටය හැදුවේ පසුගිය අරගලයට පස්සේද කියලා අහනවා... සයිමන් නවගත්තේගම සූරීන් මේ දේවල් දැක්කේ ඒ කාලෙදීමයි...


කැරැලිකරුවාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මේ චිත්‍රපටයේ මුහුරත් උළෙල දවසේ චිත්‍රපටයේ තිරරචනය ලියපු ජැක්සන් ඇන්තනී මහතා කිව්වේ මේ පොත චිත්‍රපටයට නැගීම පවා අභියෝගයක් කියලා... එතකොටම මමත් ඒ අභියෝගය හිතට ගත්තා... චිත්‍රපටය කරලා ඉවර වෙලා පසුගියදා තමා මටත් මුල්වරට නරඹන්න ලැබුණේ. මගේ රඟපෑම ගැන මුල්ම කමෙන්ට් එක දුන්නේ සුනිල් ආරියරත්න සර්. ඇත්තටම මම ලොකු සතුටක් දැනුණා. හැබැයි ඒ සතුට විඳින්න තරම් හිතේ සැනසීමක් මට ඒවෙලේ තිබුණේ නැහැ.


ඒකට හේතුව මොකක්ද?


මේ චිත්‍රපටයේ තිරරචනය ලිව්වේ ජැක්සන් ඇන්තනී මහත්මයා. මේ චිත්‍රපටයේ අපි දෙන්නා රඟපෑවේ එකට. බොහෝ දේ අපි බෙදාගත්තා... මාස ගාණක් අපි නොයෙක් දේ ගැන තර්ක කළා. අපේ අඩුපාඩු ගැන කතා කළා. චිත්‍රපටය නරඹනකොට මට ඒ දේවල් මැවිලා පෙනුණා. කොටින්ම එක හිතකින් මට චිත්‍රපටය බලන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හැම දෙයක්ම මැවි මැවී පෙනුණා. ජැක්සන් ඇන්තනී තමා මේ චිත්‍රපටය ගැන හොඳටම දන්න කෙනා... ඔහු අද මෙතැන සිටිය යුතුමයි... ඒ අඩුව තදින්ම දැනුණා...


මොනවද ඔහු කියලා දුන්නේ?


ක්ෂීර සාගරය කැලඹිණ පොත මම කියෙව්වේ ඉස්කෝලේ යන කාලේ. තිරරචනය ලැබුණට පස්සේ මට නැවතත් පොත කියවන්න ඕන වුණා. ඔහු මට කිව්වේ හේමාල් පොත් කියෙව්වාට කමක් නැහැ පොතේ තියෙන දේම කරන්න යන්න එපා කියලා...


ඔබ කැරැලිකාරයා... ඔහු අධිරාජ්‍යයා... ඔබ දෙදෙනා අතර තියුණු තරගයක් තියෙනවා නේද?


ඒක තීරණය කරන්න මම ප්‍රේක්ෂකයාට භාර කරනවා. හැබැයි රංගනයේදී අපි උපරිමයෙන් කළා. සමහරු මගෙන් අහනවා රඟපානකොට තරගයක් තියෙනවා නේද කියලා... කවදාවත් රඟපානකොට තරගයක් ඇතිවෙන්න බැහැ. චිත්‍රපටයේ නළුවන් අතර හොඳ සමගියක් තියෙන්න ඕනේ. චිත්‍රපටයේ කැරැලිකාරයා කියන්නේ අධිරාජ්‍යයාව විශ්වාස කරන කෙනෙක්. මේ චිත්‍රපටයේ මම දැක්ක එකම දේ කිසිම කෙනෙක් තව කෙනෙක්ව අබිබවා යන්න උත්සාහ කළේ නැහැ. කණ්ඩායම් හැඟීමකින් අපි සියලු දෙනාම චරිත ගොඩ නැගුවා.


මීට ප්‍රථම ඔබ විජයබා කොල්ලයේ චරපුරුෂයා... ඉන්පසු කැරැලිකරුවා... කොහොමද මේ අභියෝගය ඔබට දැනෙන්නේ?


විජයබා කොල්ලයේ චරපුරුෂයාගේ චරිතය තුළ ඉක්මනින් හැඩතල මාරු කරගන්න පුළුවන් කමක් තිබුණා. නමුත් කැරැලිකාරයාගේ චරිතය ඊට වෙනස්... කැරැලිකාරයා ජීවත්වෙන්නේ කැලේ. ඒ නිසා මම හිතාගත්තේ ඔහු ගරිල්ලා සටන් පුරුදු විය යුතුයි කියලා. කැලේ ඉන්නවා නම් ඔහුගේ ස්වරූපය, කොණ්ඩෙ, රැවුල වවාගත් අවුල්සහගත එක්ක විය යුතුයි. ඒ වගේම ශරීරය කෙට්ටු කරගන්න උත්සාහ කළා. වේගවත් මිනිහෙක් වෙන්න උත්සාහ කළා. කැරැලිකාරයාව දකිනකොට රාජද්‍රෝහියෙක් කියන ලක්ෂණ ඔහු තුළ තිබිය යුතුයි. ඒ ආකාරයට තමා මම සියල්ල ගොඩනගාගත්තේ. චරපුරුෂයාට වඩා කැරැලිකරුවා අභියෝගයක් වුණා.


රූපගත කිරීම් කරන කාලයේ කොරෝනා ලොකු ප්‍රශ්නයක් වුණා නේද?


චිත්‍රපටය අංගම් ගුරුතුමා හැටියට රඟපාන ශිල්පියාට තමා මුලින්ම කොරෝනා ආසාදනය වුණේ. කලින් දවසේ ඔහු මාත් එක්ක එකට උන්නේ. දැන් හැමෝම සැක කරනවා තමන්ට රෝගය ආසාදනය වෙලා ඇති කියලා. අවසානයේ අපි සියලුම දෙනා නිරෝධායනය වුණා. මම හිතන්නේ නිෂ්පාදකතුමාට අපි වෙනුවෙන් තවත් අමතර මුදලක් වැය කරන්න සිද්ධ වුණා.


අවසානයේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනකොට එය නරඹන්න අධිරාජ්‍යයා නැහැ නේද?


ඒක තමා මම මුලදිත් කිව්වේ මංගල දර්ශනය නරඹනකොට මට ලොකු පාළුවක් දැනුණා. වෙනදා නම් මංගල දර්ශනය කියන්නේ මංගල්‍යක් වගේ. චිත්‍රපටයට රංගනයට ලැබුණ ඉහළ ප්‍රතිචාර හදවතින්ම භුක්ති විඳින්නට අධිරාජ්‍යයාත් මෙතැන ඉන්න ඕන. ඒ අධිරාජ්‍යයා නැතිව ආලෝකයක් නැහැ කියලයි මට හිතෙන්නේ. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔහුට ඉක්මන් සුවය ලැබෙන්න කියලා.


ඔහු සමග ගෙවුණු දවස් ගැන මතක් කරන්න?


ඔහුත් සමග ගත කළ හැම මොහොතක්ම මිල අධික අවස්ථාවක් කියලයි මම විශ්වාස කරන්නේ. ඔහු සමග රඟපානකොට බොහෝ දේ අත්හදා බලන්න අවස්ථාව ලැබුණා. කලාතුරකින් තමා ජැක්සන් වැනි කෙනෙක් බිහිවෙන්නේ... ජයලත් මනෝරත්නයන්ගේ අවමංගල්‍ය දවසේ මාධ්‍යවේදියෙක් අහලා තියෙනවා මනෝරත්නගෙන් වැඩ ගත්තේ නැහැ නේද කියලා. ජැක්සන් ඇන්තනී එදා කිව්වේ ඔහු වැඩ කළා. අපි දැක්කේ නැහැ කියලා.... ජැක්සන් ඇන්තනී සම්බන්ධයෙනුත් ඒ කතාව වලංගුයි... ජැක්සන්ගේ දක්ෂතා පසුගිය කාලේ සමාජය දැක්කේ නැහැ.


ක්ෂීර සාගරය ඇතුළේ දේශපාලනයක් තියෙනවා නේද?


අදට ගැළපෙන දේශපාලනය අපූර්වට මේ චිත්‍රපටය ඇතුළේ තියෙනවා. මම මුලදිත් කිව්වේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පොත ලිව්වේ අරගලයට පස්සේද කියලා... නමුත් අරගලයට අවුරුදු ගාණකට කලින් සයිමන් නවගත්තේම සූරීන් මේ දේ දැක්කා. ගැළපෙනම වෙලාවේ චිත්‍රපටය එළියට ආවා.


නිරූපණය කළ සෑම චරිතයක් ගැන ඔබ තෘප්තිමත්ද?


නිර්මාණයක් කරනකොට ප්‍රේක්ෂකයා සතුටු කරන්න කලින් මම සතුටු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. නමුත් කරපු හැම නිර්මාණයකින්ම සතුට ලැබිලා නැහැ. වෘත්තිය රංගන ශිල්පියෙක් හැටියට මටත් සීමාවන් ටිකක් තියෙනවා..


ඒ කියන්නේ චරිත ප්‍රතික්ෂේප කරන්න වූ අවස්ථා තියෙනවද?


ඕන තරම් චරිත ප්‍රතික්ෂේප කරලා තියෙනවා. තෘප්තිමත් නැත්නම් ඇදගෙන යන්නත් බැරි නම් ප්‍රතික්ෂේප කිරීම හැර වෙන විසඳුමක් නැහැ.


කඩවසම් ඔබට තරහාකාරයෝ එහෙම ඇති නේද?


මම හිතන්නේ නැහැ. මට තරහාකාරයෝ ඉන්නවා කියලා... මොකද මම හැම කෙනෙක්වම ආශ්‍රය කරන්නේ හිතවතුන් හැටියට.


ඔබ ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?


මම කිසිම දවසක ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කරලා නැහැ. ඉතා විශිෂ්ට ටෙලිනාට්‍ය තියෙනවා. නමුත් මගේ ප්‍රශ්නයක් තියෙනවා මම ටෙලිනාට්‍යවල රඟපාන්න කැමැත්තක් නැහැ. ඒ නිසා මට ටෙලිනාට්‍යවලට කතා කරන්නෙත් නැහැ. මගේ තෘප්තිය තියෙන්නේ සිනමාවේ.

චිත්‍රපට අධ්‍යක්ෂණයට කැමැත්තක් නැද්ද?


මට මාව තෘප්තිමත් වන චරිතයක් තාම කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා මුලින්ම ඒක කරන්න ඕන. මොකද මාව තෘප්තිමත් කරන්න ලේසි නැහැ. ඒ නිසා අධ්‍යක්ෂණයට තව කල් තියෙනවා.


නර්තනයට ඔබ දක්ෂයි නේද?


නළුවෙක්ට නර්තනය කියන්නේ ආභරණයක්. මමත් නර්තනයට බොහෝම කැමැතියි. මම එය පවත්වාගෙන යන්න උත්සාහ කරනවා.


ඔස්ට්‍රේලියාවට යන්නේ නර්තන ප්‍රසංගයක් සඳහා නේද?


මේ ප්‍රසංගය කොවිඩ් නිසා කල් ගියා. නැත්නම් මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය වන වෙලාවේ මම විදෙස්ගතවන්නේ නැහැ. නමුත් භාරගත් වැඩක් නිසා නොයා බැහැ. නමුත් මම යන එකේ වාසියක් තියෙනවා. ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ සිනමා ශාලා විශාල ප්‍රමාණයක තිරගත වෙනවා. මේ නිසා ඔස්ට්‍රේලියාවේ මගේ චිත්‍රපටයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කතා කළොත් මට සහභාගි වෙන්නත් පුළුවන්...


දේශපාලනයට ආරාධනා ලැබෙන්නේ නැද්ද?


දේශපාලයට ආරාධනා ලැබුණා. නමුත් එය මගේ මාතෘකාව නොවේ.


ජීවිතේ වෙනසක් වෙන්නේ කවදාද?


ජීවිතේ හැම මොහොතකම වෙනස් වෙනවා. අපි බලමු ඉස්සරහට මොනා වෙයිද කියලා.


ප්‍රවේගයේ හේමාල්ව කාලෙකින් දැක්කේ නැහැ?


නමුත් අවුරුදු අටකට කලින් ප්‍රවේගයේ උන්න හේමාල්ව තවමත් කිසිම කෙනෙක්ට අමතක නැහැ. මොකද තාමත් බොහෝ දෙනෙක් මට ඒ අතීතය මතක් කරනවා.


ක්ෂීර සාගරය කැලඹිණ සාර්ථක ලෙස තිරගත වෙනවා. මොකක්ද මේ රහස?


සයිමන් නවගත්තේගම කියන දාර්ශනිකයාගේ චින්තනය ජැක්සන් ඇන්තනී නම් තිර රචකයාගේ අතින් අමුතුම හැඩයකට ලියැවුණා. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එය විශිෂ්ට සිනමා නිර්මාණයක් බවට පත් කළා. අද දවසට ගැළපෙන දේශපාලනය චිත්‍රපටය පුරා අන්තර්ගත වෙලා තියෙනවා. මේ මොහොතේ සෑම කෙනෙක්ම එය නැරැඹිය යුත්තේ ඒ නිසා.





Previous Post Next Post