පියුමිට අමුතුවෙන් ප්‍රසිද්ධ වෙන්න වුවමනා නෑ -පියුමි හංසමාලි




පියුමි හංසමාලි කිව්වම කවුද නොදන්නේ... ඇය ඒ තරමටම අපේ රටේ ප්‍රසිද්ධ චරිතයක්. ඒ හින්දම කාලෙන් කාලෙට ඇය විවිධ මාතෘකා එක්ක සමාජයේ ඉහළට පැමිණියා. පහුගිය දිනවලත් ඇය විවිධ සිදුවීම් එක්ක සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වුණා.


ඉස්සර වගේ නෙවෙයි දැන් පියුමිට හැමෝම වගේ කැමතියි. ඇත්තටම රහස මොකක්ද?


අනේ කිසිම රහසක් නෑ. රහසක් තිබුණා නම් ඒ රහස තමයි මං හැමදේම කාලයට භාරදුන්න එක. ඉතින් එහෙම කළාට පස්සේ කාලය හැමදේටම උත්තර දුන්නා. දැන් හැමෝම පියුමි හංසමාලි කියන්නේ කවුද කියලා තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා මට දැන් අපේ රටේ හැමෝම වගේ ආදරෙයි.


කවදත් පියුමිට වැඩියෙන්ම ඇඟිලි දික්වුණේ අඳින පලඳින විදිහත් එක්ක...


ඇඳුමින් පැලඳුමින් මිනිස්සු මනින්න බෑනේ. ඒකට හොඳම උදාහරණය මං. කොහොමත් පොඩි කාලේ ඉඳන්ම මං ආසයි කොටට අඳින්න. මං තැනකට ආවත් හරි හැමදාම මිනිස්සු දැක්කේ මං කොටට අඳින එකයි ඕපන් අඳින එකයි. ඒත් ඒ අයටම දැන් තේරිලා තියෙනවා එහෙම අඳින එක එක්තරා ෆැෂන් එකක් කියලා. දැන් කවුරුත් කියන්නේ නෑනේ පියුමි අඳින විදිහ අවුල් කියලා. සරලවම අඳින පලඳින විදිහ කියන්නේ එක ෆැෂන් එකක්. ඉතින් ෆැෂන් එකකින් මිනිස්සු මනින්න බෑ.


ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ පියුමිගේ ෆැෂන්වලට සමහරු කිව්ව කතාවලට හිත රිදුණේ නැද්ද?


ඇත්තටම කිව්වොත් පියුමි හංසමාලි කියන්නේ හරි ශක්තිමත් ගැහැනියක්. මං මේ ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන් මට ඇඟිලි දික්වුණා. හිත රිදෙන කතා අහන්න වුණා. හැබැයි මං ඒ හැමදේම තනියම දරාගෙන අදටත් ගහක් ගලක් වගේ ඉන්නවා. ඒකෙන්ම පේනවනේ මං මොන තරම් හිත හයිය තියෙන ශක්තිමත් ගැහැනියක්ද කියලා. ගඟ කොච්චර බාධා එක්කද මුහුදට ගිහින් එකතුවෙන්නේ. ඒ වගේ තමයි මනුස්ස ජීවිතෙත්. අපිට ඕන තරම් කතා හැදෙනවා, මඩ වදිනවා, ඇඟිලි දික්වෙනවා. ඒත් අපි ඒ හැමදේම එක්ක ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි ජීවත්වෙනවා කියන්නේ. ඒවට හිත රිද්දගත්තොත් අපි පරාදයි.


අසරණ මිනිස්සුන්ට සහ සත්තුන්ට පිහිට වෙන හැටි ගැන කිව්වොත්?


ඇත්තටම කිව්වොත් හිනාවක් අහලකවත් නැති මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන එකයි අසරණ සත්තුන්ට පිහිටවෙන එකයි දැන් මගේ ජීවිතේ කොටසක් වෙලා. මං හරි ආසයි ඒ වගේ දේවල් කරන්න. කවුරුත් නොදන්නවාට මගේ ළඟ ලොකුවට සල්ලි නැති කාලෙත් මං මිනිස්සුන්ට ඇති තරම් උදව් කරලා තියෙනවා.


පියුමිට මේ වගේ ජීවිතයකට හුරුවෙන්න හිතුණේ ඇයි?


මං ජීවිතේ යථාර්ථය කියන එක හොඳට තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසා මං දන්නවා සල්ලි හම්බකරලා පොට්ටනි ගහලා බැංකුවේ දාලා පරිස්සම් කළත් අපි මේ ලෝකෙන් යන දවසට ඒවා අරන් යන්න බෑ කියලා. එදාට අරන් යන්න තියෙන්නේ අපි කරපු හොඳ නරක ටික විතරයි. ඉතින් ඒ නිසා මං කොච්චර සල්ලි හෙව්වත් මට කන්න බොන්න අඳින්න සල්ලි ටිකක් තියාගෙන ඉතුරු ටික පින් අතේ වැඩ වෙනුවෙන් වියදම් කරනවා.


පියුමිට ඔය වගේ හොඳ පුරුදු ආවේ තාත්තගෙන් කියන්නේ ඇත්තද?


ඔව්, මට මේ වගේ හොඳ පුරුදු ආවේ තාත්තගෙන් තමයි. මොකද එයත් මේ වගේ දේවල් කරපු හරි හොඳ මනුස්සයෙක්. ඉතින් ඒ දේවල් අඩුවක් නැතිව මටත් දැන් ඇවිත් තියෙනවා.


මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන පියුමිට කඳුළු එක්ක ගනුදෙනු තිබිලා නැද්ද?


මොකද නැත්තේ. මමත් හරි දුප්පත් පවුලක කෙනෙක්. තාත්තා නැතිවුණාට පස්සේ අම්මා තමයි ගොඩක් දුක් මහන්සි වෙලා අමාරුවෙන් මාව හදාගත්තේ. ඒ නිසා නැතිබැරිකමයි බඩගින්නයි මං හොඳට දන්නවා. ඒ වගේ කඳුළු එක්ක ගනුදෙනුවක් මට තිබිලා තියෙනවා. ඒ නිසා හිනාවක වටිනාකම මට ගොඩාක් දැනෙනවා.



කවුරු හරි කිව්වොත් පියුමි මේ වගේ දේවල් කරන්නේ ප්‍රසිද්ධිය බලාගෙන කියලා?


ඇත්තටම ඒක හිනා යන කතාවක්. මට තවත් ප්‍රසිද්ධ වෙන්න වුවමනාවක් නෑ. මොකද පියුමි හංසමාලි කිව්වම නොදන්න අයට වඩා දන්න අය වැඩියි. අනික තමයි මං කාට හරි උදව්වක් කරන ගානේ ඒක වීඩියෝ කරලා ෆේස්බුක් දාන්නේ නෑ. හැබැයි එහෙම ප්‍රසිද්ධිය හොයන පිරිසකුත් දැන් ඉන්නවා. ඒත් මං එතැන නෑ.



දැන් පියුමි කියන්නේ නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විතරක්ම නෙවෙයි නේද?

තාමත් පියුමි කිව්වම ගොඩක් අය මාව දන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහට. ඒත් මං දැන් ව්‍යාපාර කටයුතුවලටත් අතගහලයි ඉන්නේ. ඒ වැඩත් ලස්සනට පිළිවෙළට කරගෙන යනවා. 





Previous Post Next Post