මුලදී හිතුවේ රඟපාන එක ගොඩක් ලේසියි කියලා -කවිහාරි හපුතන්ත්‍රී




සතියේ දිනවල රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වන “ජානු“ ටෙලි නාට්‍යය මේ දිනවල අතිශය ජනප්‍රියයි. එහි ජානුට ජිවය දෙන්නේ යසශ්‍රි කවිහාරි හපුතන්ත්‍රී. ජානු කියන්නේ කවිහාරිගේ මුල්ම රංගනය. ඒ නිසාම බොහෝ දෙනා කවුද මේ ජානුට ඉන්නේ කියලා දැන ගන්නත් කැමති ඇති. මේ සොඳුරු කතා බහ ජානුට පණ පොවන යසශ්‍රි කවිහාරි හපුතන්ත්‍රී සමඟ.


මුලින්ම කවිහාරි ගැන විස්තර ටිකක් කිව්වොත්?


මගේ ගම මහනුවර. මගේ පවුලේ අම්මා. තාත්තා සහ නංගිලා දෙන්නා. මම ඉගෙන ගත්තේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන්. මම පාසලේදී කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වෙලා නැහැ. හැබැයි නර්තනය හැදෑරුවා. ඒ කොහොම වුණත් මම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්න.



‘ජානු‘ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?


මේක මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මම වෙඩින් එකකට ගිහින් ගත්ත ෆොටෝ එකක් fb එකෙන් දැකලා මට සමීර හසුන් අයියා කතා කළේ. මට fb එකවුන්ට් එකක්වත් නැහැ. මගේ යාළුවෙක් දාලා තිබුණ ෆොටෝ එකක් දැකලා තමයි මට කතා කළේ. මට කතා කළ මුල් දවසේ ගොඩක් සතුටු හිතුණා. එකපාරටම අදහා ගන්නත් බැරි වුණා. කොහොමහරි ගෙදරට කිව්වම ඒ අයත් කැමති වුණා. තාත්තිම තමයි පළවෙනි දවසේ සමීර අයියා හම්බෙන්න එක්ක ගියේ.


 

පුංචි තිරයේ පළමු පෙම්වතා සහස් (සචින් ලියනගේ), පුංචි තිරයේ පළමු ආදර කතාව කොහොමද දැනුණේ?


මේක මගේ පළවෙනි රංගනය ඇතුළත් නිර්මාණය නිසා හැම අත්දැකීමක්ම අලුත්. ඇක්ට් එකකට ආදරේ කරනවා කියන එක මම කලින් කරලා තිබ්බේ නැති දෙයක්. මුලදී නම් ලැජ්ජා හිතුණා. ඒ නිසා මට ටිකක් අමාරු වුණා රඟපාන්න.


 

ජානු සහ කවිහාරිගේ සමානකම් තියෙනවද?


කවිහාරි කියන්නේ චූටි දේටත් අඬන, චූටිම දේකින් හරි ගොඩක් සතුටු වෙන හරිම සංවේදී කෙනෙක්. එතකොට ජානු කියන්නෙත් ඒ වගේම කෙනෙක්. අනිත් එක ජානු කියන්නේ ගමේ හැදුන දඟකාර, හුරතල්, හොඳ කෙනෙක්. ඉතින් කවිහාරි කියන්නෙත් ඒ වගේ කෙනෙක්. ඒ නිසා සමානකම් ගොඩක් තියෙනවා.


 ජානුට නම් පෙම්වතෙක් ඉන්නව, එතකොට කවිහාරිට?


කවිහාරිට නම් තවම පෙම්වතෙක් නැහැ.


 

අල්පොන්සුගෙ ආදරේ ඉදිරියේදී ජානු තේරුම් ගනීද?


ඇත්තටම අල්පොන්සු ජානුට ගොඩක් ආදරෙයි කියන එක ඉදිරියේදී ජානුට තේරුම් ගන්න දෙයක් නැහැ. ජානු ඒක දැනටමත් තේරුම් අරන් ඉන්නේ. ජානු අම්මගේ කීමට අල්පොන්සුව බැන්දත් ජානුගේ හිතේ ආදරේ තියෙන්නේ සහස් ගැන. හිතේ සහස් ගැන තිබුණත් දැන් මොනවා වුණත් අල්පොන්සු තමන්ගේ ස්වාමිපුරුෂයා කියන එක ඔළුවේ තියෙන නිසා බිරියක් විදියට කරන්න ඕනේ වගකීම් ටික ඉටු කරනවා. ජානු දන්නවා අල්පොන්සු මොන තරම් තමන්ට ආදරේ ද කියලත්, ඒ එක්කම සහස් ගැන හිතේ තියාගෙන ඉන්න එක වැරදියි කියලත්.


 

කොහොමද මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර


මම හිතුවටත් වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ජානු නාට්‍යයට ලැබෙනවා. මඟ තොටේදී ගොඩක් අය ඇවිත් කතා කරනවා. ඒ ගැන සතුටක් තියෙනවා.


 

රංගනය හිතන තරම් ලේසිද?


මුලදී හිතුවේ රඟපාන එක ගොඩක් ලේසියි කියලා. ඒ වුණාට ඇත්තටම ඒක හිතන තරම්ම ලේසි දෙයක් නෙවෙයි. රංගනය තුළ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම රඟපාන්න කලින් ඒ දේවල් දැනන් හිටියේ නැහැ. දැන් රංගනය තුළින් මම ඒ දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා.


 

දිගටම රඟපාන්න ද කැමැත්ත?


ඔව්. දිගටම රඟපාන්න කැමැතියි. ඒ නිසා දන්නේ නැති දේවල් එකිනෙක ඉගෙන ගනිමින් හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමතියි. ඒ එක්කම මම ආසයි මගේම ව්‍යාපාරයක් පටන් ගන්න. ඉස්සරත් මම කළා ක්ලෝතින් බෑන්ඩ් එකක්. මම ෆැෂන් ඩිසයිනින් වලට කැමතියි. මම ඉගෙන ගෙන නැහැ. නමුත් මමම ඩිසයින් කරලා මමම මෙටිරියල් සිලෙක්ට් කරලා කළේ. ඒක මේ වෙද්දී නතර කරලා තියෙන්නේ. මම ආසයි තව ටිකක් වැඩි දියුණු කරලා පටන් ගන්න.


 

මේ වෙද්දී තව නිර්මාණවලට ඇරයුම් ලැබුණද?


ඇත්තෙන්ම ඔව්. ජානු ලැබුණට පස්සේ මට තව නිර්මාණ හත අටකටම කතා කළා. නාට්‍ය තුන හතරක්ම ප්‍රධාන චරිතවලට කතා කළේ. හැබැයි ඒ කිසි එකකට මම ගියේ නැහැ. මොකද ජානු මගේ පළවෙනි ටෙලි නාට්‍යය නිසා මම කැමතියි ජානු තුළින් ප්‍රේක්ෂකයන් අතරට මුලින්ම ගිහින්, ආ මේ ජානු නේ කියලා මතක් වෙන තරමට ප්‍රේක්ෂකන් අතරට එන්න. ඒ නිසා මම තීරණය කළා ජානු නාට්‍යය ඉවර වෙනකම් වෙන ආරාධනා භාර නොගෙන ඉන්න.


 ජානු වටා එකතු වෙන ප්‍රේක්ෂකයන්ට මොනවගේ දෙයක් ද කියන්න තියෙන්නේ


ජානු කියන්නේ මගේ පළමු රංගනය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. මම උත්සහ කළා ජානුට සාධාරණයක් කරන්න. දැනට නම් ජානුට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. ජානු කියන්නේ කොහොමත් ගොඩක් අය ආදරේ වෙන චරිතයක් කියලා සීයට සීයක් මට විශ්වාසයි. ඉතින් ජානුට පණපොවන්නේ මම නිසා මටත් ඒ ආදරේ ලැබෙයි කියලා මම හිතනවා.


 




Previous Post Next Post