කුරුලුට අභිමන්ව නැවත හිමි වෙයිද? මේ දිනවල නීල පබළු ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවක් තමයි එය. ඉතින් රසඳුන අපි හිතුවා මේ කතාවේ අගමුල වගේම අභිමන් චරිතයට පණ පොවන සුමිරාන් ධනංජය ගුණසේකර සමඟ සුන්දර කතාබහක් ඔබට ගෙනෙන්න.
ඔබ වෘත්තිය නළුවෙක්ද?
මම ඇත්තටම වෘත්තිය වශයෙන් ව්‍යාපාරිකයෙක්. මගේ විනෝදාංශය සහ මගේ ආදරය, මගේ නිදහස තමයි රංගනය හා නිවේදනය. අලුත් අවුරුද්දේ තියෙන බලාපොරොත්තුව තමයි මේ සියල්ලම අතරේ හිතේ නිදහසේ ජීවත් වෙන එක. හිතේ නිදහසෙන් ජීවත් වෙන්න වටපිටාව හැදෙනවනම් ඒක තමයි ලොකුම දේ..
ඔබ නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ වුනේ කොහොමද ?
මම රංගන ක්ෂේත්‍රයට එන්නෙ 2010දී. ඒ සුළඟ ටෙලි නාට්‍යයයෙන්. එහි මම ප්‍රධාන චරිතය කළා ආශා අක්කා එක්ක. ආශා අක්කා, සඳරුවන් අයියා තමයි මාව ක්ෂේත්‍රයට ගේන්නෙ. මාව කලාකාරයෙක් කිරීමේ මුල්ම ගෞරවය හිමි වෙන්න ඕන එයාලට. ඊට පස්සෙ සඳරුවන් අයියා මාව ITN එකේ වැඩසටහන්වලට සම්බන්ධ කර ගන්නවා. නමුත් මම නිවේදකයෙක් විදියට තමයි ඉස්සෙල්ලාම කැමරාවක් ඉස්සරහට යන්නෙ. පාසලේ 11 වසරේ ඉගෙන ගන්නකොට ජාතික රූපවාහිනීයේ හැම සෙනසුරාදා, ඉරිදාවකම පැය හතරක සජීවී වැඩසටහනක් කළා සුපිපි තාරකා කියලා. ඒ එක්ස්පීරියන්ස් තමයි මාව කැමරාවක් ඉස්සරහ බය නැති මනුස්සයෙක් සහ දැන් නිවේදකයෙක් විදියට මේ වගේ ස්ටේජ් එකක් උඩ කටයුතු කරන්න පන්නරය ලබලා දුන්නෙ.
එතකොට ඔබේ හීනය වුණේ නිවේදකයකු වීමද?
ඔව්. මගේ හීනය වුනේ නිවේදකයෙක් වෙන්න. මගේ අම්මගේ හීනය වුනේ මාව ඩොක්‍ටර් කෙනෙක් කරන්න. මම පවුලේ එකම දරුවා. හීන ගොඩක් මැද්දෙ අම්මා මාව හැදුවේ. මම ඒක අතාරිනකොට අම්මට ඕන වුණා මාව නීතිඥයෙක් කරළා ජජ් කෙනෙක් කරන්න. ඒ හීනය යථාර්තයක් කරන්න තමයි මගේ උපාධිය වශයෙන් LLB එක කළේ. හැබැයි ඒක කරලා ඉවර වෙද්දී මට හිතුණා මේක මට හරියන් නෑ කියලා. මම කරන දේ මට ආත්ම තෘප්තියක් නැත්තන් මම ඒක අතහැරලා දානවා. ඒක මගේ හැටි. ඉතින් ක්ෂණිකව ඒකත් මම අතහැරලා දැම්මා. අපේ අම්මා සෑහෙන්න දුක් වුණා. ඊට පස්සෙ තමයි මීඩියා, බිස්නස්වලට සම්බන්ධ වුණේ.
මේ දිනවල අභිමන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
මිනිස්සු මේ දවස්වල අභිමන්ට බණිනවා. ප්‍රතිපත්තියක් නෑ. කොන්දක් නෑ කියලා. හැබැයි එහෙම බැන්නට පාරට බැස්සම තියෙන්නෙ ආදරේ විතරයි. මම හිතනවා අපිට ගන්න පුළුවන් ලොකුම සම්මානය ජනතා සම්මානය කියලා. ජනතා සම්මානය උපරිමය ලැබෙනවා. මම කියන්න ඕනෙ අපේ සම්මානය තමයි ප්‍රේක්ෂකයා. ඔවුන් අපිව ප්‍රතික්ෂේප කරපු දවසට කලාකාරයා පවතින් නෑ. මට ලැබෙන ඒ ආදරය මිල කරන්න බැරි තරම් වටිනවා.
සුමති ටෙලි සම්මාන උලෙළෙහි ජනප්‍රිය නළුවන් 20දෙනා අතරට මෙවරත් ඔබ තේරීපත් වෙනවා. එක් අවස්ථාවක ඔබ සමාජ මාධ්‍ය හරහා ජයග්‍රහණයට sms මනාප පළ නොකරන ලෙස ප්‍රේක්ෂකයන්ට කියනවා. ඇත්තටම මොකද්ද ඒ සිදුවීම?
මම මුලින්ම ජනප්‍රිය නළුවාට නොමිනේට් වෙන්නෙ මගේ සුළඟ නාට්‍යයයෙන්. ඊට පස්සෙත් මම නීල පබළු නාට්‍ය රඟපාන කොට අවුරුදු කිහිපයකම නොමිනේට් වෙලා මම එක අවුරුද්දක ජනප්‍රිය නළුවා වෙනවා. මිනිහෙක්ට තියෙන්න ඕන සෑහීමක් කියලා දෙයක් සහ ඕනම දේකින් තෘප්තිය ලබලා ඒ තෘප්තිය අවසන් වෙන්න. අතෘප්තිකර වුනාම තමයි මේ ලෝකෙ ප්‍රශ්න වැඩි. මම එක පාරක් ඒ සම්මානය ගත්තා. ඒ සම්මානයට තේරුණ අනිත් 19දෙනාම මන් හිතනවා මට වැඩිය දක්ෂයි. මට වැඩිය කඩවසම්. නමුත් මම ඒක ගත්තා. ඒකට හේතු දෙකක් තියෙනවා. එක මම හරි වාසනාවන්තයි ඒ සම්මානය ගන්න. මම ඒ සම්මානයට ගරු කරනවා. දෙක ඒ සම්මානය මට ලබා දෙන්න කැම්පේන් කළා සෑහෙන පිරිසක්. මම අවංකවම බය නැතුව, දුක නැතුව ලැජ්ජ නැතුව ඒක කියනවා. මගේ පාසලේ මිතුරෝ මම ගියේ රාජකීය විද්‍යාලයට. අපේ තියෙනවා වෙනම නිවේදන සංගම්. ඒ මිතුරන් චැනල් බලන්නෙ නැතුව පක්ෂ පාට භේදයක් නැතුව ඉන්න ඔක්කොමත් මම වෙනුවෙන් sms කළා. මගේ ව්‍යාපාර ලෝකෙ ඉන්න මිතුරෝ මගේ පවුලේ මිනිස්සු මේ හැමෝම කැම්පේන් කලා. මම සල්ලිත් වියදම් කළා ඒ සම්මානය මගේ අතට ගන්න. මට ඕන වුණා ඒ සම්මානය අරගෙන ඒ සතුට මොකද්ද කියලා බලන්න. ඉතින් මම එහෙම කරලා එක පාරක් ඒ සම්මානය ගත්තා. දැන් මන් ඒ ආතල් එක ඒ සතුට විඳලා ඉවරයි. දැන් මට ඒක ඇති. එතැනින් එහාට ඒ සම්මානයේ ආතල් එකක් මට නෑ. ඒක එක හේතුවක් මම මේ සම්මානය එපා කියන්න. දෙවැනි හේතුව අපි ඉන්නෙ මාර අමාරු කාලයක. මගේ ආයතනයට එනවා දවසකට මිනිස්සු විස්සක් තිහක්. මහත්තයො දරුවට පොත් ටික අරන් දෙන්න. දරුවට උදවු කරන්න කියලා. මම සාමාන්‍යයෙන් කරන පින් වැඩ කියන්නෑ. අපි එහෙම මිනිස්සුන්ට උදවු කරනවා. මම කියන්නෙ ඒ සල්ලිවලිනුත් ළමයෙක්ට පොතක් අරන් දෙන්න. මේ කාරණා නිසා තමයි මට මේ සම්මානය එපා කිවුවෙ. මට sms ගහන්න එපා කිව්වෙත්. තව තැනක මම දැක්කා මූ මෙහෙම sms ගහන්න එපා කිවුවට වොයිසි ටීන් එකේදී තරගකරුවන්ට sms ගහන්න කියයි කියලා. ඒක මගේ රස්සාව. රස්සාවේදී මට කියනදේ කරන්න වෙනවා. මම ඒ ආයතනයට බැඳිලා ඉන්නවා. සම්මානයක් කියන්නෙ මගේ ජීවිතේ. ඒක මට එපා කියන්න අයිතියක් තියෙනවා. ඒක පටලවගන්නෙ නැතුව තේරුම් ගත්තොතින් හොඳයි.
ඔබේ ආදරණීය කැදැල්ලේ තොරතුරු ටිකකුත් කියමු.
අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු පහයි. මගේ පුතාට අවුරුදු 3යි. අපි හරි සතුටින් ජීවත් වෙනවා. මම හිතනවා මගේ ජීවිතේ මට වාසනාව ගෙනාවේ මගේ පුතයි බිරියයි කියලා. මම සතුටින් ඉන්නෙත් ඒ දෙන්නා නිසා. මේ හැමදේම කරන්නෙත් ඒ දෙන්නා නිසා. ජීවිතේ හරි පරිපූර්ණයි. හැබැයි මම තව දරුවො හදන එකක් නෑ. මොකද දරුවෙක් වුණත් මාර බැඳීමක්. මම හරි අකැමැතියි බැඳීම් වැඩි කරගෙන දුක වැඩි කර ගන්න. අපි තුන්දෙනත් එක්ක මේ කැදැල්ලේ සතුටින් ජීවත් වෙයි.