ගායිකාවක් වෙන්න හීනයක් තිබුණේ නැතත් ගායිකාවක් වීම සතුටක් - මහේෂා සඳමාලි



 

දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් සෙවන්හි අනුශූරතාව දිනාගත් මහේෂා සඳමාලි දෙරණ ලිට්ල් ටයිටන්ස් තරඟාවලියේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් ද වනවා. “මේ වාගේ ළංවීලා“ ඇය ගයන අලුත්ම ගීතයයි. මහේෂාගෙ අලුත්ම ගීතය ගැන වගේම මෙතෙක් ආ කලා ගමන් මග ගැන  කළ කතාබහයි මේ….


මහේෂා ඔබේ අලුත්ම ගීතය ගැන විස්තර කළොත්?


අලුත්ම ගීතය “මේ වාගේ ළංවීලා” කියන ගීතයයි. මමත් මගේ මල්ලිත් තමයි ඒ ගීතය ගායනා කරන්නෙ. මේකෙ මෙලඩි එක, රැප් එක ලියන්නෙ සහ රැප් එක ගායනා කරන්නෙත් මගෙ මල්ලි ක්‍රිශාන් කරුණාරත්න. ගීතයේ පද රචනාව කළේ යශෝධා අධිකාරි. සංගීතය ළහිරු ඩී. කොස්තාගේ. මෙය ඉතාම ඉක්මනින් නිර්මාණය වුණු ගීතයක්. මේ ගීතය මගෙ විවාහ උත්සවය වෙනුවෙන් කළ එකක්. ළහිරු අයියාත් මම හිතුවටත් වඩා ලස්සනට වැඩේ කරලා දුන්න.


 

මේ ගීතය ගයන ඔබේම සොයුරා ගැනත් විස්තර ටිකක් කියමු


මල්ලි හිරු ස්ටාර් 2 තරඟාවලියේ පස්වෙනි ස්ථානය දිනාගන්නවා. එයා රැප් ගායනය මූලික කරගෙන තරයට මුහුණ දුන් කෙනෙක්. මේ ගීතයේ රැප් එක ගායනා කරන්නෙ මල්ලි. ඒ වගේම ඉදිරියට තව ගීත දෙක තුනක්ම එන්න තියෙනවා. ඒ ගීතත් මමත් මල්ලිත් ගායනා කරන්නෙ.


 

මේ වෙද්දි ඔබේම නිර්මාණ කීයක් තියෙනවා ද?


මා ගායනා කරපු නිර්මාණ බොහෝමයක් තියෙනවා. දෙරණ නාලිකාවේ දෙවැනි ඉනිම වගේ නාට්‍ය වල පසුබිම් ගායිකාවක් විදියට ගායනා කරපු ගීතත් බොහොමයක් තියෙනවා. ඒ වගේම ලලිත් රත්නායක මහතාගේ විෂම භාග චිත්‍රපටයේ ගීතයක් ගායනා කළා. ඒ ගායනය වෙනුවෙන් මට 2020 හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සිග්නීස් සම්මානය හිමිවුණා.


 

රියැලිටි තරගයකින් ගායන ක්ෂේත්‍රයට පැමිණි ඔබ, කවදා හෝ ගායිකාවක් වෙන්න ද හීන මැවුවෙ?


කිසිම දවසක රියැලිටි එකකට එනවා කියලා මගේ හිතේ අදහසක් තිබුණේ නැහැ. මේ හැමදේම අහම්බයක්. මම විශ්වාස කරන්නෙ මගේ වාසනාව හෝ වෙන දෙයක් මූලික වෙලා මේ දේ වුණා කියලා. මට ඕනෙ වුණේ කථිකාචාර්යවරියක් වෙන්න. මම විශ්ව විද්‍යාලයෙ ඉන්න කාලේ තමයි ඩ්‍රීම්ස් ස්ටාර් සීසන් සෙවන් එකට එන්නෙ. ඇත්තම කිවුවොත් අයදුම්පතක් නොදා, දුරකතන ඇමතුමක් දීලා මම එදාට එන්නද කියලා අහලා ගියේ. ඒ ගිය ගමන අවසන් මහා තරගයෙන් ඉවර වුණේ. තරගේ මැදදි මට ලොකු වුවමනාවක් ආවා අවසන් තරගයට යන්න. ඒ අතරතුර මම උපාධියේ අධ්‍යයන කටයුතු හොඳින් කරා. මට ‍රන් සම්මානයක් ලැබුණා. ඒ එක්කම මගේ සිහිනය සැබෑ වෙලා විශ්වවිද්‍යාලයෙ කථිකාචාර්යවරියක් හැටියට උගන්වන්නත් ලැබුණා. ගායිකාවක් වෙන්න මට හීනයක් තිබුණේ නැතත් ගායිකාවක් වීම ගැන සතුටුයි.


 

ඔබ දැන් ගායිකාවක් ද? එහෙමත් නැත්නම් ගුරුවරියක්ද?


මම කැමැතියි මාව ගායිකාවක් විදියට හඳුන්වනවා වගේම ගුරුවරියක් විදියට හඳුන්වනවාට. මම මේ වෙද්දිත් ළමයි රැසකට දැනුම බෙදා දෙමින් ඉන්නෙ. පොඩි කාලේ ඉඳන් පුදුම වුවමනාවක් තිබ්බා මම දන්න දේ අනිත් අයට කියලා දෙන්න. ඒ වුවමනාවම වෙන්න ඇති මාව අද මේ තැනට ගෙනාවේ.


රියැලිටි වේදිකාවෙන් පැමිණ එම වේදිකාවේම විනිශ්චය මණ්ඩලයේත් ඉන්න ලැබෙන කොට දැනෙන හැඟීම කුමක්ද?


ඇත්තටම මට හරි සතුටක් දැනෙනවා. ඒක මට විශේෂ අත්දැකීමක් වුණා. මම ගීත ගායනා කරපු වේදිකාවේම අද වෙද්දි පුංචි පැටවු ගීත ගායනා කරනවා. එදා ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ඉඳගත්ත පුටුවක මට ඉඳගන්න අවස්ථාව ලැබුණා. ඒ තුළින් මගේ ජීවිතේ ට ගත්ත දේවල් බොහොමයි.


 

ඔබ විවාහ වුණේ මෑතකදී. කොහොමද ඔහුගෙන් ලැබෙන සහයෝගය?


මගේ සැමියා නාවික නිලධාරියෙක් නිසා බොහෝ වෙලාවට විදේශගතව ඉන්නෙ. නමුත් එයා කොහෙ හිටියත් මගේ වැඩවලට දෙන සහයෝගය ගැන කියන්න වචන නැහැ. එයාගෙ තේරුම් ගැනීම ඉතා ඉහළයි. කලාව කරන්න අවශ්‍ය කරන මානසික නිදහස එයා උපරිමයෙන් මට දීලා තියෙනවා. ඒ එක්කම මගේ ගෙදරින් සහ ඔහුගේ ගෙදරින් ලැබෙන සහයෝගයත් මතක් කරන්නම ඕනේ. ඒ සහයෝගය නැත්නම් මට මේ ගමන මේ තරම් දුර එන්න බැහැ.


 

රංගනයට එහෙම ආරාධනා ලැබිලා තියෙනවා ද?


ඕනේ තරම් ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ලැබෙනවා. එක කෙටි චිත්‍රපටයක රඟපෑවා. නමුත් මම කැමැති නැහැ ගායිකාවක් ගුරුවරියක් විදියට මිස රංගන ශිල්පිනියක් විදිහට ජනතාව අතරට යන්න. ඒ හැර රඟපාන්න යන්න එපා කියලා කාගෙන්වත් කිසිම තහංචියක් නැහැ. හැබැයි මම යන්නෙ නැහැ.


 අනාගත බලාපොරොත්තු මොනවාද?


ලොකුම බලාපොරොත්තුව මම දැන් කරගෙන යන ශ්‍රාස්ත්‍රපති උපාධිය ඉවර කරලා PHD එක කරන එක. ඒ වගේම මට ඕනේ කවදාහරි දවසක මහාචාර්යවරියක් වෙන්න. මට විශ්වාසයක් තියෙනවා ඒ දේ මට කරන්න පුළුවන් කියලා. මගේ ගායන ක්ෂේත්‍රයටත් මගේ අධ්‍යාපනය ලොකු ආලෝකයක් එකතු කළා. මට හැමදාම ඕනේ වටින කෙනෙක් වෙන්න. 





Previous Post Next Post