මගේ හොඳම විචාරකයා මගේ මහත්තයා - අමන්ද්‍යා උත්පලී

 


ජීවිතේ විවිධ පුද්ගලයන් විවිධ හැකියාවන් උපතින් හා තම පරම්පරාවන් තුළින් තමන්ගේ දක්ෂතාවයන් පෙන්වයි. ගායනය උපතින්ම උරුම කර ගත් ඇය වඩාත් සමීප වන්නේ නව පරපුරේ තරුණ දක්ෂ ගායිකාවක් ලෙසිනි. සතා සිවුපාවා ගේ සිට සියලුම දෙනා සැනසුම සතුට වෙනුවෙන් අදට වඩා හෙට හොඳයි කියලා ජීවත් වන යුගයක සියලුම මිනිස් සිත් සතන් සතුටෙන් තබන්න පුළුවන් වුණු ගිරිරාජ් කෞශල්‍ය නම් රංගන ශිල්පියාගේ දුව වීම ද ඇය ලද භාග්‍යයකි.ලයනල් රන්වලයන්ගෙන් පසු සහන් රන්වලගේ නායකත්වයෙන් යුතු රන්වල බලකායේ යාවජීව සාමාජිකාවක වීම ද, හෙළ ජන සංගීතයේ නව පුරුකකි, ජන සංගීතයට ම ආවේණික වූ මධුර හඩකට හිමිකම් කියන තරුණ ජවයකි.සිහිනයකි රෑ ,මාත්‍රා රූපවාහිනි සංගීතමය වැඩසටහන් වලින් ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැඳ ගත්තාසය.ඉන් නොනැවතුණු ඇය ප්‍රාසංගික කලා මාධ්‍යය තුළම නව පිටුවක් පෙරළුවේ ය.පියාගේ රංගන කුසලතාවයන් නිතැතින්ම උරුම කර ගත් ඇය පුංචි තිරයට නවක රුවක් ලෙස පසුගිය වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය වූ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කල්පනාවිය. තවමත් ප්‍රේක්ෂක සිත තුළ කල්පනා රඳා පවතී. ඒ ඇය ප්‍රේක්ෂක සිත හොරාගත් නිසාමයි. ඒ හොරාගත් සිත ප්‍රේක්ෂකයා හමුවට වෙනත් චරිතයක් තුළින් ගෙන ඒමට අධ්‍යක්ෂකවරුන් සිතූ නිසා ඇයට නොනිමි සහ කී යන ටෙලි නාට්‍යයන් තුළින් නැවතත් ප්‍රේක්ෂකයා හමුවට එන්න ලැබුණි.මේ වෙන කවුරුවත් නොවේ පසුගිය දින රැජිනට ඇන්ඳා නමින් ඇගේ නවතම ගීතය එළිදැක්වූ අමන්ද්‍යා උත්පලීයි.


 මොකක්ද අමන්ද්‍යා මේ පටලැවිල්ල කියන්න පුළුවන්ද?


මම කුඩා කාලයේ මාලිනී බුලත්සිංහල ගුරුතුමියගෙන් සංගීතය ඉගෙන ගන්න විට හරිම රහට කතා ඇහුවා. මම සාමාන්‍ය පෙළ දක්වා නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකාවේ ඉගෙන ගත්තට පස්සේ උසස් පෙළ සඳහා දේවි බාලිකාවට එනවා. මගේ පාසල් කාලය තමයි මම ගත කරපු ලස්සනම සුන්දරම කාලය කිව්වොත් නිවැරදියි. ඒ කාලේ මට රහට කතාවක් ඔයාලගේ ගිරා මගේ තාත්තාගේන් අහගන්න ලැබුණා. තාත්තගේ ආච්චි පරණ නිළියක් කියලා අහන්න ලැබුණා. ඒ කාලේ තාත්තා පුංචි ළමයෙක්ලු. නමුත් ඉස්සර ආච්චිගේ යාළුවෝ ඇයව මුණ ගැහෙන්න ගෙදරට එන හැටි, ඇය අඳීන පලඳීන විදිය, ශරීරය පවත්වාගන්නා ආකාරය තාත්තගේ මතකයේ ලියැවුණු පිටු අතර රැඳීලා තිබුණා. තාත්තගේ ආච්චිගෙ අතීත මතක සැමරුම් ගැන තමයි තාත්තා මේ ගීතය වචන වලට පෙරළලා තියෙන්නේ. අතීතයේ සියලු දෙනාගේ ම මතක ආවර්ජනය හරිම පොහොසත්. ඒ නිසා මගේ තාත්තා අතින් මේ ගීතය ලියවෙලා මට පසුගිය දවස් වල එළිදක්වන්නට ලැබුණා. හැම නිර්මාණයක් පිටුපසම ශක්තිමත් බලවේගයක් සහ කතා වස්තුවක් තියෙනවා. ඒ කතා වස්තුව ජීවය දුන්න හින්දා තමයි මට රැජිනට අඳීන්න ලැබුණේ.


 ඇයි ඔබට එවැනි ගීතයක් නිර්මාණය කරන්නට හිතුණේ?


මගේ ජීවිතේ මං ගොඩක් දේවල් මගේ තාත්තාගෙන් ලබා ගත්ත දේවල් කිව්වොත් නිවැරදියි.ඕනෑම කෙනෙකුට සිහින මාළිගා තියනවා. සිහින මාළිගාවල ජීවත් වීම හා ඒ සිහින සැබෑ කිරීම තමයි එකම පරමාර්ථය වෙන්නේ. උසස් පෙළ හදාරන කාලයදි පාසලේ දක්ෂතම ශිෂ්‍යාව බවට වසර දෙක තුළදී ම මට හිමිකම් කියන්න ලැබුණත්, පාසල් වේදිකාවෙ මම සමස්ත ලංකා මට්ටමෙන් හොඳම නිළිය නළුවා වුණත් මගේ ගෙදර සියලු දෙනාම මම නිළියක් වෙනවට කවදාක්වත් කැමති වුණේ නැහැ. විශ්ව විද්‍විද්‍යාල ප්‍රවේශය ලබා වෙනමම විෂය ධාරාවක් හැදෑරලා රැකියාවක් කළත්, මම ගායිකාවක් වෙනවට තමයි ඒ සියලු දෙනාම කැමති වුණේ. දෙමවුපියන්ගේ සිහිනය මම නම් ඒ සිහිනෙන් මම ඔවුන්ව සතුටු කළ යුතුයි. ඒ සතුටුකිරීම තමයි මේ තුළ හැමදාම ගැබ් වෙන්නේ.


 අලුතෙන් නව නිර්මාණයක් කරන්න ඔබ ආසාවෙන් නේද හිටියේ?


මමයි තාත්තයි ගොඩක් කල් ඉඳන් අලුත් සින්දුවක් කරන්න ආසාවෙන් හිටියා. ජීවිතයේ ඇතිවුණු ආර්ථික අපහසුතාවයන් සහ ගීත කලාවේ ඇති තරගකාරිත්වය නිසා නිර්මාණ කිරීම ගැන මම පසුබෑමකට ලක් වෙලා හිටියේ. 2017 මගේ පළවෙනි නිර්මාණය එළි දැක්වුණා. ඒත් ඒ නිර්මාණය ශ්‍රාවකයන් සහ ප්‍රේක්ෂකයන් වැලඳ ගැනීම එතරම් දුරට සිදු වුණේ නැහැ. දෙවන නිර්මාණයත් එතරම්ම සාර්ථකත්වයට ලබා ගන්න බැරි වුණා. ප්‍රචාරණ කටයුතු කරගන්න අධික මුදලක් වැය වෙන නිසා තමයි දෙවැනි ගීතයටත් මට සාර්ථකත්වයක් නොලැබුණේ. 2017 සහ 2019 සිදුවීම් සියල්ල අමතක කරලා මේ අලුත්ම නිර්මාණයට හොඳ පියවරක් තබන්න ඕනේ කියලා මට හිතුණා.


 රැජින රැජිනක් ම කළේ කවුද?


රැජිනට ඇන්ඳා පද රචනය කළේ ගිරිරාජ් කෞශල්‍ය මගේ තාත්තයි.  අවුරුදු ගාණකට කලින් තාත්තා අතින් වචන අකුරු බවට පත්වුණු ගීතයක් තමයි මගේ තුන්වෙනි ගීතය ලෙස මේ එළිදැක්වුණේ. දිගු කාලයක් ඉඳලා සහන් රන්වල සර් තාත්තට කිය කියා හිටියේ අලුත් ගීතයක් ලියල දෙන්න කියලා. තාත්තාගේ සතුට වෙනුවෙන් තමයි මම ඇත්තටම මේ ගීතය කියන්න ඕනේ කියලා මම හිතුවේ. ගීතය තනු නිර්මාණය කළේ සහන් රන්වල සර්. සංගීත යෝජනය හා නිර්මාණ අධ්‍යක්ෂණය කළේ සංගීත් වික්‍රමසිංහ අන්කල්. දැනට ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂතම වාදන ශිල්පීන් සම්බන්ධ කරගෙන සංගීත් අන්කල් ඊපචජඬ එක කරලා.


 නූර්ති නාඩගම් සම්ප්‍රදායට මේ ගීතය නිර්මාණය කළේ ඇයි?


මම අර ඉස්සෙල්ලා කිව්ව වගේ මගේ තාත්තගේ ආච්චිගේ කතන්දරයක් එක්ක තමයි මෙි ගීතය ගොඩනැඟෙන්නේ. පරණ නූර්ති, නාඩගම් නිළියක්, තම වයස අවුරුදු 60 දී පමණ වියපත්භාවය ස්මරණය කරමින් හරිම ආශාවෙන් ඇගේ අතීතය සිහිපත් කරන අවස්ථාවක් ගැන කියවෙන මෙම ගීතයට තිබුණු හොඳම ශෛලියක් ලෙස තමයි මේ නුර්ති නාඩගම් සම්ප්‍රදාය අපි සියලු දෙනාම කතා කරලා යොදාගත්තේ. නුර්ති සහ නාඩගම් සම්ප්‍රදාය සහ ජන සංගීතය වියැකිලා යන යුගයක එය නැවත අපේ යුගයක ගේන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා මට සිය දහස් වාරයක් හිතුණා. අතීතය විඳීන තරමට අනාගතයත් සුන්දරයි කියලා හිතන්න පුළුවන් නම් අපිට ගොඩක් නිර්මාණ කරන්න පුළුවන් වෙයි.


 ප්‍රේක්ෂකයාට නවතම ගීතයක් එළිදකින විට රූප රචනයේ ඉතා වැදගත් නේද?


ඇත්තටම ඔව් නවතම ගීතයක් එළි දකින විට රූප රචනය අද ඉතාම වැදගත් වෙනවා මේ ගීතය නිර්මාණය කරන විට දීම. අපි රූප රචනය ගැන හිතලා තිබුණේ. තාත්තා සහන් සර්, සිවා අන්කල් ඇතුළු හැමෝගෙම අදහස් වලින් හැදුණු රූප වචනයක් තමයි මේ ගීතයේ තියෙන්නේ. ගීතය පුරාවටම තියෙන්නේ නාට්‍යනුසාරි රචනා වෙච්ච රූප රචනයක්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් නැත්නම් ශිවා අන්කල්ගේ රූප රචනා අධ්‍යක්ෂණයක් තමයි රැජිනට ඇන්දා ගීතයේ තියෙන්නේ. මේ ගීතයට ශිවා අන්කල් කිසිදු මුදලක් අය නොකර තමයි රූප රචනය කළේ. ඒ වගේම තවත් ගොඩක් අය රූප රචනාවේදී කිසිදු මුදල් අයකිරීමකින් තොරව සම්බන්ධ වුණා. ප්‍රියන්ත සෙනෙවිරත්න අන්කල් හා හේමන්ත සහ වීරවික්‍රම අන්කල්, සචින් චතුරංග සහ සංගීත් ප්‍රභූ මට ලොකු සහයෝගයක් ලබාදුන්නා මගේ වැඩේ වෙනුවෙන්, ගීත රචනාවේ සෙසු චරිතවලට ගොඩක්ම සහභාගි වුණේ රන්වල බලකායේ සියලුම සහෝදර සහෝදරියන්. ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙක් මේ ගීතයට සහභාගි වුණා. ඒ සියලු දෙනාම මා වෙනුවෙන් මගේ උපන්දින තෑග්ග ලෙස දුන්න මේ ගීතයට කළ මෙහෙවර වෙනුවෙන් සියලු දෙයටම මෙය මම ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා.


 ටවර් හෝල් නාට්‍ය කලාවත් එක්ක ඔබට තියෙන සම්බන්ධතාවය මොකක්ද?


මම පාසල් වේදිකා නාට්‍යවල මගේ රංගන දක්ෂතාවයන් මම පෙන්නලා තියෙනවා. ටවර් හෝල් වේදිකා නාට්‍යවලට යොමු වෙලා හොඳම නිළිය ලෙස ජයග්‍රහණය ලබලා තියෙනවා. ඒ කාලේ වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබුණත් තාත්තා ඒවට මට අවස්ථාව ලබා දුන්නේ නැහැ. මේ කාලය තුළදී මට නිශ්ශංක දිද්දෙණිය, ජයලත් මනෝරත්න මහත්වරු සහ විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න යන අන්කල්ලාගේ ඇසුර ලබන්නට පුළුවන් වුණා. ජයලත් මනෝරත්න මහත්තයාගේ වේදිකා නාට්‍යවලත් මම රඟපෑවා. ඒ ගුරුවරුන් ගේ ආභාසය නිසා මට හොඳට රඟපාන්නට ලැබුණා කියලා මම හිතනවා. ටවර් හෝල් නාට්‍ය කලාවටත්, ටෙලි නාට්‍ය කලාවටත් මාව යොමු නොකළේ ඇයි කියලා මට හිතා ගන්න බැ. එයට හේතු ගොඩක් තාත්තාගේ හිත තුළ තියෙන්න ඇති කියලා අද තමයි මට දැනෙන්නේ. තාත්තාගේ බලාපොරොත්තුව වෙනත් පැත්තකට මාව යොමු කරන්න තිබුණ නිසා වෙන්නැති කියලා මට අද හිතෙනවා.


 රන්වල බලකාය සමඟ ඔබ ළඟින්ම වැඩ කටයුතු කරනවා නේද?


මම රන්වල බලකායට එකතු වෙන්නේ 2011. එදා ඉඳන් අද වෙනකන් සහන් රන්වල සර් සමඟ මම වැඩ කටයුතු කරගෙන යනවා. අපේකම ජාතියේ අභිමානය හැමදේකම රඳා පවතින්නේ ආගම දහම, සංස්කෘතිය, සභ්‍යත්වය සහ ජනවහර, ජන සංගීතය මතයි. රන්වල බලකායේ නිත්‍ය සාමාජිකාවක් ලෙස වැඩ කරන නිසා 2022 අවුරුද්දේ දෙවරක්ම අපේ කම අපේ උරුමය රැගෙන බංගලාදේශයට යන්නට ලැබුණා. ඒ වගේම ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවල් කීපයකම සංචාරය කරන්නට ලැබුණා. ඉදිරියේදී මම සහන් රන්වල සර් එක්ක එකතුවෙලා අලුත් නිර්මාණ කිහිපයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ජන සංගීතයට මම දැඩි ලෙස ඇලුම් කරන නිසා රන්වල බළකායත් එක්ක හැමදාම බැඳී සිටිනවා. රන්වල බළකාය කියන්නේ මගේ ජීවිතයේ එක් කොටසක් වගේයි.


නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයට කතා කළාම මොකද හිතුණේ?


සිවා අන්කල් සහ සද්ධා අන්කල් ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයට කතා කළාම තාත්තාත් මට ලැබුණු අවස්ථාව ගැන හරියට සතුටු වුණා. පාසල් යන කාලයේ නාට්‍යවල රංගනයට යනවට දැඩි ලෙස අකමැත්ත දැක්වූවත් දැන් තාත්තා මම ඉන්න ටෙලි නාට්‍ය නරඹන්නේ හරිම ආශාවෙන්.මම රඟපානවා බලලා සමහර දවස් වලට මට කියනවා අපරාදේ ඔයා රඟපාන්න තිබුණෙ මීට ඉස්සෙල්ලා කියලයි. ගිරිරාජ් කෞශල්‍යගේ දුව කියලා හොයන්නට පටන් ගත්තේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් පස්සේයි මාව. ක්ෂේත්‍රයේ කීපදෙනෙකු ඇරෙන්න ඒ වෙනකන් කිසිම කෙනෙකු දැනගෙන හිටියේ නෑ මම ගිරිරාජ් කෞශල්‍යගේ දුව කියන එක. ඉන් පස්සේ හුඟක් ප්‍රේක්ෂක ආදරය මට ලැබෙන්න ගත්තා. ඒ ආදරේ එක් පැත්තක උරුමක්කාරයා මගේ තාත්තයි. සමහරක් වෙලාවට පාරෙ යන විට මට කට්ටිය කියන්න ගත්තා අර නාඩගම්කාරයෝ එකේ සින්දු කියන ළමයා නේද එහෙමත් නැත්නම් කල්පනා යනවා කියලා. ඒවා ඇහෙන කොට මට සතුටක් දැනුණේ. ඒ ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයෙන් ලබා ගත්ත සතුට හැමදාම තියාගන්න මම උත්සහ කරනවා.


 අලුත් නිර්මාණ දෙකක් මේ දවස්වල විකාශය වෙනවා නේද?


ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අන්කල් අධ්‍යක්ෂණය කළ, ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘කී’ ටෙලි නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් රඟපානවා. ඒ ටෙලි නාට්‍යයේ ගයනි කියන චරිතයත් එක්ක මේ දවස්වල බැඳීලා කටයුතු කරනවා. ප්‍රේක්ෂකයෝ දැන් මම හඳුන ගන්නේ ඒ නමින්ය. ඒ චරිතයත් එක්ක දැන් ප්‍රේක්ෂකයන් හරියට බද්ධ වෙලා ඉන්නේ ඒ ගැන කතා කරනවා. මොනාද ඉස්සරහට වෙන්නේ කියලා අහනවා. ඒ ගැන හරිම සතුටක් දැන් දැනෙන්නේ. මාව මෙතනට ගෙනාපු සිවා අන්කල්ට ස්තුතියි කියන්න තමයි තියෙන්නේ ගොඩක්. ඒවගේම සුරාජ් මාපා අධ්‍යක්ෂණය කරන ‘නොනිමි’ ටෙලිනාට්‍යයේත් මේ දවස් දවස් වල රංගනයේ යෙදෙනවා. ඒකෙ මම සංගීත ගුරුවරියක් ලෙස රඟපාන්නේ. ඒ චරිතය මගේ ජීවිතයත් එක්ක ගොඩක් සමීපයි. සංගීත ගුරුවරියක් ගේ චරිතයක් තමයි මම නොනිමි ටෙලි නාට්‍යයේ රගපාන්නේ. මේ දවස්වල ඒ ටෙලි නාට්‍ය දෙකේ තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. මේ ටෙලි නාට්‍යයේ දෙකේ රූගත කිරීම් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.


 රැකියාවෙන් අයින් වුණේ ඇයි?


මගේම කියලා දෙයක් කරගන්න ඕන කියලා මට හිතුණා. ඒ නිසා හිතුවා රැකියාවෙන් අයින් වෙලා පූර්ණකාලින මගේම කියලා දෙයක් කරගෙන ඉස්සරහට යන එක හොඳයි කියලා. ඒ වගේම පසුගිය කාලය කෝවිඩ් සහ ඇතිවුණ ගැටලු නිසා මම ඔන්ලයින් මාධ්‍යයෙන් මගේ සංගීත පන්ති කරගෙන ගියා. ලංකාවේ ළමයින්ට පමණක්ම නොවෙයි විදේස් රටවල ජීවත් වන අපේ දුවා දරුවන් වෙනුවෙන් මට යමක් කරන්න ඕනේ කියල හිතුණා. අපේ දේවල් ඉගෙන ගන්න ආස වුණත් භාෂාවල පරිහණයේ තියෙන යම් යම් ප්‍රශ්න නිසා සමහර දුවා දරුවන් මේ උගන්වන දේවල් අත්හැරලා ඉන්නවා. ඒ නිසා මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කරනවා නමුත් මම මෙහිදී සිංහල ගීත, සිංහල වචන පුරුදු කරනව. මේ වසරේ පෙබරවාරි වෙද්දී කැස්බෑව ප්‍රදේශයේ මගේ සංගිත ආශ්‍රමය ආරම්භ කරන්නටත් ලොකු විශ්වාසයකින් තමයි කටයුතු කරන්නේ.


අමන්ද්‍යාගේ හොඳම විචාරකයා ගැන කියන්න කැමතිද?


අදටත් මම රඟපාන නාට්‍ය හැම කොටසක්ම ඉවර උණාම මම තාත්තා එක්ක කතාබහ කරලා ඒවායේ අඩුපාඩු අහනවා. කොහොමටත් මායි තාත්තයි දෙන්න හරි ආසයි එකට වේදිකා නාට්‍යයක් සහ චිත්‍රපටයක් බලන්න. එහෙම නිර්මාණ බලද්දි තාත්තගේයි මගේ රසවින්දනය ගොඩක් දුරට සමානයි. මගේ හොඳම විචාරකයා වන්නේ තාත්තයි, අම්මයි. එහි මූලිකත්වය ගෙන විචාරය කරන්නේ තාත්තායි. දැන් මට අලුත් විචාරකයකු ත් එකතු වෙලා ඉන්නවා.


 

අලුතෙන් හම්බවුණ විචාරකයා ගැන කියන්න කැමතිද?


මම ළඟදි විවාහ වුණා. ඒ තමයි මගේ හොඳම විචාරකයා මගේ මහත්තයා. එයා වෘත්තියෙන් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවක තමයි නිරත වෙන්නේ. විශේෂයෙන් කිව යුතුම දෙයක් තියනවා. ඇත්තටම මම නිළියක් වීම සහ මේ ක්ෂේත්‍රයේ වැඩකටයුතු වලට වැඩිපුරම දැන් දායකත්වය ලබා දෙන්නේ විවාහයෙන් පස්සේ ඒ ඔහුයි. සමහර දවස්වලට එයාගේ රාජකාරි කටයුතු පවා නතර කරලා මගේ වැඩ කටයුතු සියල්ල මට කරල දෙන්නේ ඔහුයි. තාත්තාගෙන් සහ අම්මාගෙන් පස්සේ මගේ ළඟින්ම දැන් වැඩ කටයුතු සියල්ල මට කරල දෙන්නේ සාරංගයි.


 ඉදිරියේදී නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා නේද?


තාත්තා අධ්‍යක්ෂණය කළ කතුරු මිතුරු සිනමාපටය තිරගත වෙන්න තියෙනවා. මේ අවුරුද්දේ. නිර්මාණයේ තේමා ගීතය සහ ගීත දෙකක්ම මම ගායනා කළා. එක ගීතයක් සමන්ත පෙරේරා මහතාගේ සංගීතයෙන්ද අනිත් ගීතය රෝහණ විරසිංහ මහතාගේ සංගීතයෙන් ද ඔපවත් වුණා. ඒ ගීත දෙකෙන් එක ගීතයක් මම අමරසිරි පීරිස් සර් එක්ක ගායනා කළ අතර අනික් ගිතය තාරුක ගුණරත්න එකත් ගායනා කළා. එකිනෙකට වෙනස්ම ආරයේ ගීත දෙකක් වෙනවා මේ ගීත දෙක.මීට ටික දිනකට ඉස්සෙල්ලා රූගත කිරීම් අවසන් කළ සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කළ සිංහබාහු චිත්‍රපටයේ සුප්පා දේවියගේ තරුණ කාලය නිරූපණය කරන අවස්ථාවට ගායනයෙන් දායක වුණා. එහි ගායනා කරන කවි පන්ති අපේ සංස්කෘතිය, අපේකම මනා ලෙස විදහා පානවා. ඒ නිර්මාණ එළිදකින තුර තමයි මම ඇඟිලි ගනිමින් දැන් ඉන්නේ.






Previous Post Next Post