ව්‍යාජ දේවල් පළ කරලා බලාපොරොත්තු වන ජනප්‍රියත්වයෙන් මට වැඩක් නෑ -ඉෂානී විජේතුංග




ඇය පුංචි තිරයේ අහිංසකාවියයි. දෙරණ නාළිකාවේ විකාශය වන සාරංග මෙන්ඩිස්ගේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අරුණිගේ චරිතය තුළින් ඔබ හමුවට එන ඇය ඉෂානී විජේතුංගය. පසුගිය දවස්වල සමාජ මාධ්‍යවලින් ඇය ගැන කතාබහට ලක් වුණා. ඒ ඇගේ නවතම විලාසිතාවක් පාදක කරගෙන.


මොකක්ද එ් කරාබුවක කතාව?


ඒක සම්පූර්ණයෙන්ම ව්‍යාජ ආර්ටිකල් එකක්. එහෙම ආර්ටිකල් එකක් මං කාටවත් දීල තිබුණේ නෑ. සමාජ මාධ්‍යවල ඒක සංසරණය වෙද්දි මාත් ගොඩක් අපහසුතාවට පත් වුණා. නෑදෑ හිතවතුන් මගෙන් අහන්න පටන් ගත්තා. මං ෆැෂන් කරන්න ආසයි තමයි. වයස් භේදයක් නැතුව ඕනම කෙනෙක් කැමැතියි ෆැෂන්වලට. ඒත් මං ලොකුවට ඒ පස්සේ දුවන කෙනෙක් නොවෙයි. මට ගැළපෙන විදිහට ෆැෂන් කරනවා. ආර්ටිකල් එකක් පළ කරද්දී අපි එක්ක කතාබහ කරලා කියන දේවල් විතරක් දානවනම් ගොඩක් වටිනවා. ව්‍යාජ දේවල් පළ කරලා බලාපොරොත්තු වන ජනප්‍රියත්වයෙන් වැඩක් නෑනේ.


 

ඉෂානිව දන්නෙ නැති වුණාට ඕනම කෙනෙක් දෙවනි ඉනිමෙ අරුණිව නම් හොඳට දන්නවා. කොහොමද අරුණිට ලැබෙන ප්‍රතිචාර?


දෙ‍ෙවනි ඉනිම පටන් ගත්ත දවසෙ ඉඳන්ම අරුණිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. එදා ලැබුණ ප්‍රේක්ෂක ආදරේ වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නෑ. කොහේදි හරි දැක්කොත් ප්‍රේක්ෂකයො මට කතා කරන්නේ අරුණි කියලා. ඒ ආදරේ ගොඩක් වටිනවා. මේ දවස්වල දෙවනි ඉනිම අවසන් කොටස් ටික රූගත කරන්නේ. ඒකත් එක්ක තමයි මේ දවස් ගෙවෙන්නේ.


 

අරුණිගෙ චරිතය තුළ ජීවිතේ අවස්ථා කිහිපයක්ම නිරූපණය වුණා. ඒ ඒ අවස්ථාවලට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරත් වෙනස් වුණා ද?


අරුණිගෙ චරිතය පෙම්වතියක්, බිරියක් වගේම මවක් ලෙසත් නිරූපණය වුණා. ඒ අතරින් ප්‍රෙග්නන්ට් කාලෙ රංගනයට ගොඩක් ආස හිතුණා. ප්‍රේක්ෂකයන්ගෙනුත් ඒ කාලෙ විශේෂ ප්‍රතිචාර ලැබුණා. ඔයා ඒක හොඳටම කරනවා කියලා. ගොඩක්ම අම්මල වුණු අයගේ ආදරේ ගොඩක් ලැබුණා.


 

අඩෝ එකෙත් ඔබට කරන්න තිබුණේ ගැබිනියකගේ චරිතයක්. ඒ වගේ චරිතවලටම කොටු වුණොත් අසාධාරණයක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද?


ඇත්තටම ඒක එහෙම වුණා. ඒ නිසා ලැබුණ ආරාධනා මඟහැරුණා කිව්වත් හරි. මටත් හිතුනා එහෙම එකකට කොටු වුණාදෝ කියලා. ඉදිරියේදී ලැබෙන චරිත ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලා දැන් මට දැනෙනවා.


 

දෙ‍ෙවනි ඉනිමේ අරුණිගේ චරිතයට තේරුණේ කොහොමද?


2017 දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් මට ලැබෙන්නේ දෙවැනි ස්ථානය. ඊට පස්සේ තමයි දෙ‍ෙවනි ඉනිම ස්ක්‍රීන් ටෙස්ට් එකට මුහුණ දෙන්න ලැබෙන්නේ. ඒකෙන් සිලෙක්ට් වෙලා තමයි අරුණිගෙ චරිතය ලැබුණේ.


 

සිනමාවට ආරාධනා ලැබිලා නැද්ද තවම?


චිත්‍රපට 2 කට ආරාධනා ලැබුණා. ඒත් ඒ චරිත මට ගැළපුණේ නැති නිසා මඟහැරුණා. කොහොමත් මං අම්මි එක්ක කතා කරලා එයා කැමති නම් විතරයි චරිතයක් භාර ගන්නේ. ටෙලි ෆිල්ම් 2කට සම්බන්ධ වෙලා තියෙනවා.


ඉෂානි තාමත් යෞවනයේ පසුවන සුන්දර තරුණියක්. ඔය හිතට ආදරය ආගන්තුක හැඟීමක් වෙන්න නම් බෑ?


ආදරේ ලස්සනයි හරි කෙනෙක් ජීවිතේට ආවොත්. මං හිතනවා ඒක ඇතුළේ ඔක්කොම දේවල් තියෙනවා කියලා.


 

ආදර ඇරයුම්වලිනුත් අඩුවක් නැතුව ඇති. ඒ ගැන අත්දැකීම් කොහොමද?


මට ප්‍රපෝසල් එනවා ඒ මං තුළින් අරුණිව බලාපොරොත්තුවෙන්. ගොඩක් අය හිතන්නේ මං අරුණි වගේ කියලා. සැබෑ ජීවිතේ මං අරුණිට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. අපි හිතන් හිටියේ අහිංසකයි කියලා බැලුවම මේ කෙල්ල අහිංසක නෑනෙ කියලා කියන අයත් ඉන්නවා.


 

කොහොමද ඔබට ඔබේ මවගෙන් ලැබෙන සහාය?


අම්මාගෙන් ලැබෙන ආදරය ගැන මෙන්ම ඇගෙන් ලැබෙන සහාය ගැන කියන්න මට වචන නැහැ. අපේ ගෙවල් නුවර. මට කොළඹ ෂූටින් තියෙන සමහර දවස්වලට එයාගේ අසනීපවලට ප්‍රතිකාර ගන්නෙත් නැතුව මාත් එක්ක එනවා. එයා ගොඩක් කැමතියි මං මේ ෆීල්ඩ් එකේ ඉන්නවට. සමහර නිර්මාණ කරන්න මං අදිමදි කරද්දි අම්මි තමයි කියන්නෙ නෑ බබා ඒක හොඳයි වගේ නේද කියලා. එයා තමයි නිතරම මාව උනන්දු කරන්නේ.


 කටකතාවලට ඉෂානිගෙ ප්‍රතිචාර කොහොමද?


මට නම් එහෙම ලොකුවට කටකතා හැදිලා නෑ මං දන්න විදිහට. ඒවාට ඉතින් යම්කිසි පිරිසක් තමයි කැමති. දැන් බොහෝදෙනා බුද්ධිමත් විදිහටයි හිතන්නේ.





Previous Post Next Post