පුංචි තිරයෙන් මෙන්ම සිනමාවෙන් ඇය ප්‍රේක්ෂකයන් අතරට එන ගීතිකා රාජපක්ෂ කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියකි.
මේ දවස්වල මොනවද වෙන්නේ?
රංගනය පැත්තෙන් කාර්යබහුල වෙලා ඉන්න කාලයක් නම් නෙවෙයි. හැබැයි වෙනත් කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ වගේම මේ කාලේ පටන් ගන්න නියමිතව වැඩ කිහිපයක් තිබුණා. ඒ දේවල් බොහෝ දුරට පෙබරවාරි වගේ වෙද්දී පටන් ගනී.
විකාශය වෙන්න නියමිත නිර්මාණ තියෙනවද?
එහෙම බැලුවොත් නම් නිර්මාණ සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. නිර්මාණ අතරත් යම් තරගයක් තියෙන නිසා වෙලාව එන්නත් ඕනනේ. ඒ නිසා ඒ නිර්මාණ විකාශය වෙද්දී තමයි කතා කරන්න වෙන්නේ.
සිනමාව පැත්තෙන් ගත්තොත් කොහොමද?
අලුත්ම සිනමා නිර්මාණයක් පටන් ගන්නවා. ටෙලි නාට්‍යය ක්ෂේත්රයේ ඉන්න නිෂ්පාදකවරයෙක් වන කෙනෙක් සිනමාවට යොමුවෙලා අලුත් නිර්මාණයක් කරන්න යනවා. ඒ නිර්මාණයට මටත් කතා කරලා තියෙනවා.
වැඩි කැමැත්ත තියෙන්නේ සිනමාවටද?
පුංචි තිරය තුළින් තමයි අපිව ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්නේ. නමුත් සිනමාව කියන්නේ ඊට ගොඩක් ඉහළින් තියෙන එකක්. ඇත්තටම දැන් සිනමාවට ආසයි සහ ආදරෙයි.
චරිතයක් තෝරා ගනිද්දී මොනවද බලන්නේ?
ඉස්සර නම් ගොඩක් දේවල් බැලුවා. ගීතිකාගෙන් එහාට ගිය මතකයේ හිටින දෙයක් කරන්න පුළුවන් නිර්මාණයක් ද කියන එක ඉස්සර බැලුවා. හැබැයි දැන් අපි වෘත්තිය මට්ටමෙන් මේ රංගනය කරද්දී දැන් ලොකුවට දේවල් හොයන්න අමාරුයි. තෝරා බේරා ගැනීම කියන එක නැතුවාම නෙවෙයි. නමුත් එක දිගටම එකම විදියේ චරිත කරන්න මම කැමති නැහැ. පහුගිය ටිකේම ලැබුණේ එකම විදියේ ගැමි චරිත. කාලයක් ගැමි චරිතයක් කරන්න ආසාවෙන් හිටියා. දැන් ඇති වෙන්න මට ගැමි චරිත ලැබුණා. ඒකට අකමැති නැහැ. නමුත් මම හාස්‍ය මතුවන චරිතවලට වැඩිය යන්නේ නැහැ. හාස්‍ය කියන එක හොඳයි හැබැයි මම ඒ පැත්තට යොමු වෙන්න කැමැත්තක් නැහැ. හාස්‍ය චරිත උපරිමයෙන් කරන්න පුළුවන් අය ඉන්නවා. මේ කාලේ තෝරා ගැනීම්වලදී හාස්‍ය මතුවන චරිත පමණයි තෝරා නොගන්නේ.
ගීතිකාට රංගනය තුළ සීමාවන් තියෙනවද?
නැහැ. රංගන ශිල්පිනියක් නම් එහෙම සීමාවන් තියෙන්න බැහැනේ. රංගනයට එන කෙනෙක් මැටි පිඬක් වගේ වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තුළින් ඕනෙම චරිතයක් අඹන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා සීමාවන් තියා ගන්න බැහැ. හැබැයි පෞද්ගලිකව එක එක සීමාවන් තියා ගන්න පුළුවන්. අපේ රටේ තියෙන දෙයක් තමයි එක චරිතයක් කළොත් දිගටම ලැබෙන්නේ එක හා සමාන චරිත. ඒ නිසා එතනින් මිදිලා වෙන පැත්තකට යොමු වෙන්න අමාරුයි. ඒ නිසාම තමයි මම හාස්‍ය උත්පාදන චරිතවලට පවා යොමුවෙන්න බය.
ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙන රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?
මම මෙතෙක් කරලා නැත්තේ රජ කාලේ නිර්මාණ පමණයි. මම ආසාවෙන් ඉන්නවා එවැනි නිර්මාණයක් කරන්න. අනෙකුත් චරිත සියල්ල පාහේ මට ලැබිලා තියෙනවා.
රංගන ක්ෂේත්රයේ ඉන්න හොඳම මිතුරියන් කවුද?
පාසල් කාලේ හොඳම යාළුවො දෙන්නෙක් හිටියා. විශ්ව විද්‍යාල කාලේදීත් හොඳම යහළුවන් හිටියා. අපේ සෙට් එකට කියන්නේ දහයේ සෙට් එක කියලා. නමුත් එතන හිටියේ අටයි. ඒ යාළුවො අද වෙද්දී ගොඩක් හොඳ තැන්වල ඉන්නවා. රංගන ක්ෂේත්රයට ආවට පස්සේ හොඳම යාළුවො කියලා හිතාගෙන හිටිය අය ළඟ මම හිතන් හිටිය යාළුකමක් තිබුණේ නෑ. ඒ නිසා මට හරි කලකිරීමක් ඇති වුණා. සමහර විට ඕනෙවට වඩා මම ඒ අයව විශ්වාස කරන්න ඇති. එදා ඉදන් හිටිය යාළුවන්ගෙන් අද වෙනකම් මට ඉන්න ඕනෙම දෙයක් කියන්න පුළුවන් යාළුවො දෙන්නයි. ඒ ශලනි තාරකා සහ ධනංජි තාරුකා.
ආදරේ ගැන ගීතිකා මොකද හිතන්නේ
ආදරේට මම හරිම බයයි. ආදරේට මම ගොඩක් ආදරණීය කෙනෙක්. ඒ නිසාම ආදරේදී මම ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් බිඳෙන කොට මගේ හිතත් බිඳෙනවා. ඒ හින්දා මම හරි කැමතියි තනියම ඉන්න. මොකද හැම බැඳීමක් ම හරිම වේදනාවක්. මගේ තාත්තා අසනීප වුණා. තාත්තා ගාව මමයි මල්ලියි දෙන්නම හිටියා. මේ වෙද්දී මගේ ලෝකයේ වෙන කවුරුත් නැහැ ඉන්නේ මවුපියන් පමණයි. මේ වෙද්දී මගේ සහෝදරියන් දෙන්නම විවාහ වෙලා බබාලා ඉන්නවා. ඒ අයගේ ජිවිත මගේම ජිවිත වගේ. බැඳෙන හැම බැඳීමක් තුළම මට දැනුණේ ලොකු දුකක්. බැඳීම් අඩු වෙද්දී මට දුක් වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා මම දුක් වෙන්න හේතු හදාගන්නේ නැතුව පාඩුවේ ජීවත් වෙනවා.
මෙතෙක් ආව ගමන් මඟ ගැන තෘප්තිමත් ද?
බොහොම හිමින් ආව ගමනක් මට තියෙන්නේ. කාලයක් නිතර පුංචි තිරයේ දකින්න ලැබෙන චරිතයක් වෙලා හිටියා. ඒ වගේම මේ මැද කාලය තුළ යමක් කරන්න ට හැකි හොඳ බර චරිත මට ලැබුණා. ඒ එක්කම මම සිනමාවට ආවා. ඒ නිසා මම ආව ගමන ගැන සතුටුයි. එක පාරට ආව ගමනක් නෙවෙයි මට තියෙන්නේ. මම මේ රංගනයට හරි ආදරෙයි. ඒ ආදරේ එක්ක බොහොම ගෞරවයෙන් මම මගේ ගමන යනවා. ඒ නිසා මේ ආව ගමන ගැන සතුටක් මිස දුක් වෙන්න දෙයක් නැහැ.