රුක්ෂානා දිසානායක කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම නිහතමානී සුන්දර රංගන ශිල්පිනියක්. මේ දිනවල වැඩි ප්‍රේක්ෂක ආදරයක් දිනා තියෙන්නේ නීල පබළු නාට්‍යය තුළින්. මේ සොඳුරු කතාබහ රුක්ෂානාගේ ඉදිරි කලා කටයුතු සහ ජිවිතේ ගැන.
කොහොමද ජීවිතේ
ජීවිතේ හොඳින් කියන්නත් බෑ. බාධක කම්කටොලු සතුට දුක හිනාව කඳුළ මැද්දේ ඉස්සරහට යනවා.
මේ දවස්වල ඉන්න නිර්මාණ ගැන කිව්වොත්
නීල පබළු නාට්‍යය විකාශය වෙනවා. තව අලුත් නිර්මාණ දෙකක රූපගත කිරීම්වලට සම්බන්ධ වුණා. ඒ ඒක්කම වේදිකා නාට්‍යය දෙකකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
ඔබට මඟ තොටේදි ලැබෙන ප්‍රතිචාර කොහොමද?
නීල පබළු නාට්‍යය නිසා විශේෂයෙන්ම මේ දවස් වල හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ වෙද්දි ඒ නාට්‍යය බොහෝ දෙනෙක් බලනවා. ඒ නිසාම බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. ඒක මගේ රංගන ජීවිතේට ලොකු හැරවුම් ලක්ෂ්‍යක් වුණා.
ළංවී නාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
චරිතයක් තෝරා ගන්නෙ කොහොමද?
විශේෂ දේවල් බලන්නෙ නැහැ. ලැබෙන චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන් ද කියන දේ බලනවා. ඒ වගේම ඒ චරිතය ගැන හොඳ අධ්‍යයනයක යෙදෙනවා. දැන් ඉස්සර වගේ චරිත තෝරන්න තරම් නිර්මාණ නැහැ. ඒ නිසා ලැබෙන චරිතය සාධාරණව කරන්න උත්සාහ කරන්නෙ. මම ප්‍රධාන චරිත කරලා තියෙන්නේ නාට්‍ය තුනක විතරයි. අනෙක් ඒවා උප ප්‍රධාන චරිත. ලැබෙන හැම චරිතයකටම උපරිම සාධාරණය ඉෂ්ට කරනවා.
එන්න තියෙන නිර්මාණ මොනවාද?
රූපගත කිරීම් කරලා එන්න තියෙන ටෙලි නිර්මාණ 12ක් විතර තියෙනවා. චිත්‍රපට හතරක් එන්න තියෙනවා.
ඔබ රංගන ශිල්පිනියක් නොවුණා නම් කවුරු වෙන්න තිබ්බද?
එහෙනම් මම අනිවාර්යයෙන්ම ගුරුවරියක් වෙයි.
ජීවිතේ ලැබීම් නොලැබීම් ගැන මොකද හිතෙන්නෙ
ජීවිතේ ලැබීම් නොලැබීම් ගැන කියනවා නම් වැඩියෙන්ම නොලැබීම් තමයි ලැබිලා තියෙන්නේ. බලාපොරොත්තු කඩවීම් ගොඩක් තියෙනවා. නමුත් ඒ කිසිවක් ගැන පසුතැවීමක් නැහැ. හැම පරාජයක්ම අපේ ජයග්‍රහණයට මාවතක් කර ගන්න ඕනේ. ඒ නිසා මම කිසි දෙයක් ගැන දුක් වෙන්නෙ නැහැ. සමහර නොලැබීම් මගෙ ජීවිතේ යම් යම් දේවල්වලට තීරණ ගන්න සහ අනාගතය උදෙසා ඒවා පිටිවහලක් වුණා කියලා මම හිතනවා. ඉදිරියට හැම දෙයක්ම සාර්ථකව කර ගන්න උත්සාහ කරනවා.
ආදරේට කොයිතරම් ඉඩක් දීලා තියෙනවා ද?
ජීවිතේ ලොකු ඉඩක් දීලා තියෙනවා. ඉඩක් කියනවාටත් වඩා ජීවිතේ මම සම්පූර්ණයෙන්ම ආදරේ වෙනුවෙන් කැප කරන්නෙ. ආදරේ නැත්නම් අපේ ජීවිතේ පුදුමාකාර හිස් බවක් තේරෙනවා. ආදරේ එක්ක තමයි අපිට හැමදෙයක්ම කරන්න ශක්තිය ලැබෙන්නේ. මම විශ්වාස කරන්නෙ මොන දේ තිබ්බත් මේ ලෝකේ අපිට ආදරයක් නැත්නම් කිසිම දෙයක් කර ගන්න අමාරුයි. ඒ නිසා ලැබෙන ආදරේ පරිස්සම් කර ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ.
මේ වෙද්දි ආදරවන්තියක්ද?
ඔව්, මම ආදරවන්තියක්.
ඔහු ගැන කියමුද?
ඔහු සිනමා කැමරා ශිල්පියෙක්. ඉතින් තව ඉස්සරහට තව විස්තර කියන්නම්.
ජීවිතේ මෙතෙක් ආ මඟ ගැන තෘප්තිමත් ද?
කලාව සම්බන්ධව නම් ලොකු තෘප්තිමත් බවක් නැහැ. මම බලාපොරොත්තු වුණු චරිත මම බලාපොරොත්තු වුණු දේවල් සහ මම ආස කරන විදියෙ චරිත තව ගොඩක් තියෙනවා. නමුත් අපිට අවස්ථාව ලැබෙන විදියටනේ හැම දේම වෙන්නෙ. පසුතැවීමක් නැහැ. නමුත් ඒ දේවල් ඉදිරියට සාර්ථක කර ගන්න පුළුවන් විදියට මහන්සි වෙනවා.
අනාගත බලාපොරොත්තු මොනවාද?
රංගන කටයුතු තව තව දියුණු කරගෙන ඉදිරියට යන්න. ඒ වගේම මගේ නර්තන ඇකඩමිය සහ මගේ නර්තන කණ්ඩායමට මේ 2023 අවුරුද්දේ අවධානය යොමු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙ නර්තන උපාධිධාරිනියක්. ඉතින් මම ඉගෙන ගත්ත දේවල්වලින් අනාගත පරපුරට සේවයක් කරන්න තියෙනවා නම් ඒක තමයි ලොකුම සතුට.
නර්තන ශිල්පිනියක් විදියට හඳුන්වනවාට ද රංගන ශිල්පිනියක් විදියට හඳුන්වනවටද ඔබ වැඩියෙන් කැමති?
මම පුංචි කාලේ ඉඳන්ම නර්තන ශිල්පිනියක්. මම ප්‍රදීපා ආරියවංශ මිස්ගේ නර්තන කණ්ඩායමේ හිටියා. ඊට පස්සේ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ගියෙත් නර්තන අංශයෙන්. නර්තන හා නාට්‍යය කලා පීඨයට. ඒ තුළින් තමයි අද වෙනකම්ම නර්තනය මට දියුණු කරගන්න පුළුවන් වුණේ. හැබැයි රංගන ශිල්පිනියක් කියන එක ලොකු හීනයක් සැබෑ වීමක්. රංගන ශිල්පිනියක් වෙන්න මම ගොඩක් මහන්සි වුණා. අවුරුදු දෙකක් විතර ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලාව හැදෑරුවා. ඊට පස්සේ දුරුතු සිනමා පාසලේ පාඨමාලාව හැදෑරුවා. නර්තන ශිල්පිනියක් වෙනවට වඩා ගොඩක් අමාරුයි රංගන ශිල්පිනියක් වෙන්න. අදටත් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගනිමින් රංගන ශිල්පිනියක් විදියට ඉදිරියට එන ගමනක් තියෙන්නේ. තව ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ආස කරන චරිත තියෙනවා. ඒ දේවල් ඉස්සරහට ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලැබෙන දේ බොහොම සංතෝෂයෙන් භාර ගෙන හොඳින් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.