දෙමළ චරිතයක් ලැබෙන තුරු ආසාවෙන් බලා ඉන්නවා -විරාජ් පෙරේරා




මියුසික් වීඩියෝ හරහා රංගනයට පිවිස ඒ තුළින් ලද ආදරණීය ප්‍රේක්ෂක ජනාදරය සමඟින් පුංචි තිරයට ආ විරාජ් පෙරේරා පාර දිගේ ටෙලිනාට්‍යයත් සමඟ අද වෙද්දි පුංචි තිරයෙන්ද ඉහළම ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්. ඔහුගේ නවතම තොරතුරු දැන ගන්න පසුගිය දිනෙක ඔහු හා කතා කළා.


 

කොහොමද පාර දිගේ රෙක්සිට ලැබෙන ප්‍රතිචාර?


පාර දිගේ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර තරම්ම රෙක්සිට ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි. රෙක්සි කියන චරිතය හොඳ යාළුවෙක් විදියට ප්‍රේක්ෂකයා දකිනවා. හැම ප්‍රශ්නයකටම සිනහවෙන් උත්තර ගේන යාළුවෙක් විදියට ඒ චරිතය මට ආදරණීයන් අතරට ගෙන යන්න හැකි වුණා. ශිවගුරුනාදන් මහතාට, සද්ධා මංගල මහතාට සහ චාමර සමරවික්‍රම මහතාට මම ස්තුතිවන්ත වෙනවා මට ඒ චරිතය ලබා දුන්නාට. රෙක්සි හරි ජනප්‍රියයි. මම විශ්වාස කරනවා ආදරණීයයන් අතරට විරාජ් පෙරේරා කියන නම රඳවන්න හැකි දෙයක් මම ඒ තුළින් එකතු කළා කියලා.


පාර දිගේට අමතරව මේ කාලේ දකින්න ලැබෙන අනෙක් නිර්මාණ මොනවාද?


ප්‍රදීප් රසාංග පෙරේරා අධ්‍යක්ෂණය කරන මහේෂ් රත්සර මද්දුමඅාරච්චි ලියන හිත ළඟ හිනැහුණා නාට්‍යයේ ප්‍රශාන් විදියට ප්‍රේක්ෂකයා අතරට එනවා. ඒක ටිකක් විලන් පැත්තට බර චරිතයක්. තවම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට හඳුනාගන්නට බැහැ ඒ චරිතය. ඒ නිසා ප්‍රශාන් හරියටම කවුද කියලා මඟ තොටේදි මගෙන් අහනවා. නාට්‍යය දෙකම බලන කෙනෙක්ට තේරෙයි මම කොහොමද ඒ චරිත දෙකම මෙහෙයවන්නෙ කියන එක. චරිතාංග නළුවෙක් විදියට මම හිතනවා මගේ රංගනය ගැන හොඳම සාක්ෂියක් මම දෙනවා කියලා. ඊට අමතරව මම කරපු නාට්‍යය කිහිපයක් එන්නත් තියෙනවා. මීමුරේ කරපු ඉරේෂ් ලොකුබණ්ඩාරගේ වැඩක් එන්නත් නියමිතයි. ඒ එක්කම මේ අවුරුද්ද තමයි මගේ වාසනාවන්තම අවුරුද්ද කියලා මට හිතෙනවා. මගෙ චිත්‍රපට දෙකක් එන්න නියමිතයි. ඒ 69 සහ ජිගලෝ. මේ දෙකම නිෂ්පාදනය කරන්නෙ උදාර පල්ලියගුරු.


ඒ හැරුණ විට ඔබ කරන්න ආසාවෙන් ඉන්න චරිත මොනවාද?


එහෙම විශේෂයක් නැහැ. ඕනෑම චරිතයක් චරිතාංග නළුවෙක් විදියට හැඩගන්වන්න මම භාර ගන්න කැමතියි. මම කොහොමත් විනයගරුකව කලට වෙලාවට වැඩ කරන කෙනෙක්. මට හොඳට දෙමළ බස කතා කරන්න පුළුවන්. මම මේ කියන්න යනදේ මගේ හිතළුවක් නෙවෙයි. මගෙ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන දෙයක්. මගෙ හැඩරුව දමිළ තෙළිඟු ඒ පැත්තට බරයි කියන එක. ඒ නිසා මම ආසාවෙන් ඉන්නව දෙමළ චරිතයක් කරන්න. ඇත්තම කිව්වොත් මම දමිළ චිත්‍රපට පිස්සෙක්. පොඩි කාලේ ඉඳලාම මට දෙමළ බස කතා කරන්න පුළුවන් වුණේ මම ඉපදුන වටපිටාවේ හිටියේ දෙමළ සහ මුස්ලිම් මිතුරන්. මම හිතනවා ඒ අවස්ථාව මට ලැබුණොත් චිත්‍රපට හෝ ටෙලිනාට්‍යය හෝ වේවා මම මෙතෙක් කවදාවත් කිසිම කෙනෙක් නොකරපු සළකුණක් තියනවා. ඒ නිසා ආසාවෙන් බලන් ඉන්නව දෙමළ චරිතයක් මට ලැබෙයි කියලා.


රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය කියලා හිතන්නෙ මොන නිර්මාණය ද?


මෙතෙක් කරපු හැම නිර්මාණයක්ම මගෙ හැකියාවන් දියුණු කරගෙන ආවේ. තව ඉස්සරහට මට චරිත ලැබෙයි. ඒවා මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් කරාවි කියලා මම අනාගතයට ඒ කතාව භාර දෙනවා. මේ මොහොතේ රෙක්සි සහ හිත ළඟ හිනැහුණා නාට්‍යය මට විශේෂයි. ඒ එක්කම ඉස්සරහට එන්න තියෙන සිනමා නිර්මාණත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යක් වේවි.


ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක් වෙලා අවුරුදු කීයක් ද?


අද වන විට අවුරුදු අටක් නවයක් වෙනවා. මම රැකියාව කළේ AMW සමාගමේ. එතැන මම වසර 15ක් වගේ සේවා කාලයක් ඉඳලා ඒ වෘත්තීයට සමුදීලා තමයි වෘත්තීය රංගන ශිල්පියෙක් විදියට මේ වැඩ කරන්නෙ. දැන් අවුරුද්දක විතර කාලයක් වෙනවා පූර්ණ කාලීනව කලාවට සම්බන්ධ වෙලා. මැරෙනකම්ම මේ සතුට මම විඳිනවා.


නමුත් වර්තමානයේ වෘත්තීය මට්ටමින් රංගනය කරන්න පහසු ද?


රටේ තත්ත්වය අනුව මොන රැකියාවක් කළත් ජීවත්වීම පහසු නැහැ. මම හිතනවා තමන්ට කියලා තව දෙයක් පැත්තකින් තියාගෙන යනවා නම් ජීවිතේ ගත කරන්න පහසුයි. නමුත් වෘත්තීය මට්ටමින් තමන්ගේ කාර්ය සාධාරණව අවංකව ක්ෂේත්‍රයට ආදරයක් ඇතිව කරන රංගන ශිල්පීන් ශිල්පිනියන්ට සොබාදහමත් උදව් කරනවා. ඒ නිසා ජනප්‍රිය තලයක් අල්ලගන්න මට උනන්දුවක් නැහැ. දක්ෂතාව හදාගනිමින් අදටත් මම දෙයියනේ කියලා වැඩ ටික හොඳින් කරන් ඉන්නවා.


පවුලේ අලුත් විස්තර මොනවාද?


මමයි මගේ ආදරණීය බිරියයි දුවයි පුතයි තමා මගේ ලෝකය. ඒ අය නුවර ඉන්නෙ. මගේ බිරිය චතූ විජේසිංහ. ඇය වෘත්තීයෙන් නුවර සෙන් ඇන්තනීස් කොලේජ් එකේ නර්තන ගුරුවරියක්. මගේ දුව ඉරුෂි පෙරේරා. එයා ඉගෙන ගන්නෙ නුවර හිල්වුඩ් කොලේජ් එකේ. පුතා රයන් රන්දිව්. එයා ඉගෙන ගන්නෙ චන්දානන්ද බෞද්ධ පෞද්ගලික පාසලේ. ඒ අය තමයි මගේ ජීවිතේ.


විරාජ් කොහෙද ඉන්නෙ


මම දැන් ඉන්නෙත් නුවර. ෂූටින් තිබ්බොත් විතරයි කොළඹ ඉන්නෙ. දැන් මට වැඩ ගොඩක් තියෙනවා. දරුවන් ඉස්කෝලේ දාන්න ආයේ ගන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තියෙනවා. කොළඹ ආවත් හිත තියෙන්නේ නුවර. ඉපදෙමි මියෙමි යළි උපදිමි නුවර. නුවර තරම් සුන්දර තැනක් මේ රටේ කොහෙවත් නැහැ.‍


දරුවොත් කවදා හරි කලාවට සම්බන්ධ වෙනව නම් කැමති ද?


එයාලා එනවා නම් කවදා හරි එයි. ඊට කලින් තාත්තා කෙනෙක් විදියට මට කරන්න ගොඩක් වැඩ තියෙනවා. මේ වෙලාවේ ඒ අයගේ අධ්‍යාපන කටයුතු සලසන එක තමයි ලොකුම දේ. කරාටේ, පිහිණුම් වගේ බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කරලා තියෙනවා. එයාලා කවදා හරි කලාව තෝරාගත්තොත් අකමැති වෙන්නෙ නැහැ. කලාව කියන්නෙ හරි පූජනීය සුන්දර හැමෝටම නොලැබෙන තැනක්.


අනාගත බලාපොරොත්තු මොනවාද?


ජීවිතේ ලස්සනට ඉවර කරගන්න තමයි කැමති. මගේ පාසල් සමයේ ආදරයක්. මමත් මගේ බිරියත් එකතු වෙලා තමා ජීවිතේ දින්නෙ. කවදා හරි දවසක හොඳ තාත්තා කෙනෙක් විදියට දරුවන්ට කළ යුතු යුතුකම් ටික කරලා සමාජයට වැදගත් අය විදියට දායාද කරලා වගකීම් සහගත පියෙක් විදියට ඇස් පියාගන්න තමයි හිතන් ඉන්නෙ. ඒ අතරතුර ප්‍රේක්ෂකයන් ආදරණීයන් මාව ප්‍රතික්ෂේප නොකර මාව දිගටම කලාවේ තියාගෙන හිටියොත් මම කැමතියි ජීවත් වෙන තෙක් කලාව තුළ රැදෙන්න. මේ යන විදියට පෙම්වතා, අයියා, මාමා, තාත්තා සහ සීයා වෙලා චරිත වලින් විතරක් නෙවෙයි ජීවිතෙන් යන්න තිබ්බොත් ඇති.


රංගන ජීවිතේ තුළ තෘප්තිමත් ද?


තෘප්තිමත්. දුක හිතුණ වැටුණ තැන් වැඩියි. රංගන ජීවිතේ තුළ මේ ලැබුණු දේවල් ගැන මම සතුටුයි. උරුම දේවල්වලට වඩා දේවල් උරුම කර ගන්න මම මහන්සි වෙනවා. ඉදිරියටත් දුක සතුට ගලාගෙන එයි. මම මගේ මහන්සියෙන් අඩුපාඩු හැමදේම හදාගෙන හොඳ දක්ෂ නළුවෙක් වෙයි කියලා මට මගේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.


ප්‍රේක්ෂක ආදරේ කොහොමද දැනෙන්නේ?


ක්ෂෙත්‍රයේ ආදරේ වෙනයි ප්‍රේක්ෂකයන්ගේ ආදරේ වෙනයි. ලොකු තර්කයක් මම ගේන්නෙ. හරියට එළියට බැහැල ජනප්‍රියත්වය හොයනවා නම් ඒ ජනප්‍රියත්වය තමයි හරි ජනප්‍රියත්වය. කැම්පේන් නෙවෙයි. අපි ඒක ඔක්කොම දන්න වෙන කතාවක්. ඒක ගැන කතා කරන්න අවශ්‍යත් නැහැ. ප්‍රේක්ෂක ආදරය විරාජ් පෙරේරා කියන කෙනාට කොහොමත් වැඩියි. මියුසික් වීඩියෝ කියලා කියන්නෙ ලංකාවේ අපේ අවුරුදු 18,19 කෙල්ලො කොල්ලො ඇතුළු එක ලේයර් එකක්ම තෘප්තිමත් කරමින් තමයි ලංකාවේ මියුසික් වීඩියෝ කරපු වැඩිම කෙනා විදියට මම මියුසික් වීඩියෝ කිං කියන ලේබල් එක ගන්නෙ. එහෙම ඇවිත් පුංචි තිරයට සහ දැන් චිත්‍රපටවලටත් ඇවිත් ඉන්නවා. මේ මම මහන්සියෙන් ආව ගමන තුළ මට තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළයි. ඒ ගැන ආඩම්බරයකට වඩා සතුටක් තියෙනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර එදා වගේම අදටත් ඉහළයි. ඒ නිසා මම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය කෙනෙක්.












Previous Post Next Post