මම හොයන්නේ මට හයියක් වෙන්න පුළුවන් කෙනෙක් - අශානි දිනුත්තරා

 


අශානි දිනුත්තරා ඔබට දකින්නට ලැබුණේ කැලුම් පාලිත මහීරත්න මහතා අධ්‍යක්ෂණය කරන ලද අටපාස් හි කල්පි ලෙසින්. ඇය රංගනයට එන්නෙ නිරූපණ ක්ෂේත්‍රය තුළින්. අශානි ගැන වැඩි විස්තර දැනගන්න අපි ඇය සමඟ කතාබහ කළා පසුගිය දිනෙක.


 

පාසල් කාලයේදි ඔබ කලා කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා ද?


ඇත්තටම කිව්වොත් මම පාසලේදි නාට්‍යය හා රංග කලාව විෂයවත් හදාරලා තිබ්බෙ නැහැ. මගේ කලා විෂය වුණේ චිත්‍ර.


 

ප්‍රසිද්ධ කලා මාධ්‍යයට සම්බන්ධ වෙන්නෙ කොහොමද?


මම උසස්පෙළ කළාට පස්සෙ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ එක්කම මියුසික් වීඩියෝ කිහිපයකට දායක වුණා. මම රංගනයට එන්නෙ විශ්ව ලංකා අයියා දෙරණට නිර්මාණය කරපු “ගිලිහුණු අතැඟිලි“ කියන ටෙලි නිර්මාණයෙන්. විශ්ව අයියාට මාව හඳුන්වා දුන්නෙ මගේම සහෝදරියක් වගේ ඉන්න දමිතා අබේරත්න අක්කා. “ගිලිහුණු අතැඟිලි“ ටෙලි නිර්මාණයට පස්සෙ මට රංගනය ගැන වැඩිදුරටත් හදාරන්න ඕනේ වුණා. ඒ නිසා මම මහේන්ද්‍ර පෙරේරා සර්ගෙ රංගන පාසලට සම්බන්ධ වුණා. මම තවමත් එහි රංගනය පිළිබඳ හැදෑරීම් සිදුකරනවා. ඔය අතරේ තමයි කැලුම් පාලිත මහීරත්න මහතාගේ “අටපාස්“ ටෙලි නිර්මාණයේ කල්පි කියන ප්‍රධාන චරිතය මට ලැබෙන්නේ.


 

කවදා හරි නිළියක් වෙන්න ද ආස කළේ?


පාසල් යන කාලේ නම් නිළියක් වෙන්න ඕනේ කියලා අරමුණක් තිබුණේ නැහැ. නිරූපණ ක්ෂේත්‍රයට ආවට පස්සෙ රංගනය හදාරන්න ඕනේ වුණා. එතැනදි තමයි මට නිළියක් වෙන්නෙ ඕනේ කියලා ලොකු ආසාවක් ආවේ. මම ඒ සඳහා ඉගෙන ගන්න පටන් ගත්තා. තවමත් ඉගෙන ගන්නවා. දැන් ලොකු ආසාවක් තියෙනවා කවදා හරි දක්ෂ ජනප්‍රිය නිළියක් වෙන්න.


 

මේ දවස්වල මොකද කරන්නේ?


මේ කාලය මම යොදවලා තියෙන්නේ රංගන ගැන තවදුරටත් හැදැරීම් කරන්න. ඒ අතර සුපුරුදු විදියට නිරූපණ කටයුතු කරගෙන යනවා.


 ඔබ නිරූපණයට ද රංගනයට ද වැඩි කැමැත්ත?


නිරූපණ ක්ෂේත්‍රයට තමයි මම මුලින්ම සම්බන්ධ වෙන්නෙ. දැනටත් මම නිරූපණ කටයුතු කරනවා. නමුත් රංගන ක්ෂේත්‍රයට තමයි මම ගොඩක් ආස. ඒ නිසා රංගනය පැත්තෙන් තමයි මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නෙ.


ඒ වගේම මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා සිනමා රංගනයට දායක වෙන්න.


 

රංගනයට එකතු වෙන්න ලැබීම ගැන අද මොකද හිතෙන්නෙ?


අද වෙද්දි මට මගේ ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. මේ ගමන එද්දි විවිධ ප්‍රශ්න ඇවිත් තියෙනවා. දුක් විඳලා තියෙනවා. ප්‍රතික්ෂේපවීම් වෙලා තියෙනවා. විශ්වාස කරලා ළඟින්ම ඇසුරු කරපු මිතුරියන්ගෙන් පවා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ හැමදේම දරාගෙන ආව ගමනක්. මම තාම මගෙ ගමන යන්න පටන් ගත්ත විතරයි. තව ගොඩක් දුර යන්න තියෙනවා. ලොකුම බලාපොරොත්තුව ඉදිරියටම යන එක.


 

ආදරේ දකින්නෙ කොහොමද?


ආදරේ හරිම සුන්දරයි. අපි හැමෝම කැමතියි ආදරේ ලබන්න. මටත් ජීවත් වෙන්න ආදරේ ඕනේ. දැනට මට ඒ ආදරේ දෙන්නෙ මගෙ අම්මා තාත්තා සහ පවුලේ අය. ඉතින් මම ඒ ආදරේ එක්ක ජීවත් වෙනවා.


 මේ වෙද්දි ආදරවන්තියක් ද?


නැහැ.


 

මොනවගේ කෙනෙක් ද හොයන්නෙ


මම හොයනා කෙනා මගේ ජීවිතේ ට ලොකු හයියක් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මට ලොකු බලාපොරොත්තු තියෙනවා. ඉතින් මම මේ යන ගමනේදී මට උදව් කරගෙන මා එක්ක ඉන්න පුළුවන් ගොඩක් අවංක කෙනෙක්. ඒ එක්කම මට ගොඩක් ආදරේ කරන කෙනෙක් වෙන්න ඕනේ.


 






Previous Post Next Post