කිසිම තැනක එයාගේ නමට අපහාස කළේ නෑ - රන්ජන් රාමනායක




නිව්යෝර්ක් ප්‍රසංගය කළේ ඔබේ සහෝදර නිළිය ඩිලානි අබේවර්ධන විසින්. ඒ ප්‍රසංගය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද.?


අනේ ඔව්. ඒ ප්‍රසංගය ඉතා සාර්ථකයි. ඒ බව ඔයත් දැක්කනේ. මගේ ගේම් චිත්‍රපටය ප්‍රදර්ශනය කළා. ඉන් පස්සේ තමයි අර මුලින් කියපු නගරවලට ගියේ. ඉන් පස්සේ මගේ හිතවතුන් කීප දෙනකුගේ ඉල්ලීම මත ප්‍රසංග කීපයක ආරාධිතයා ලෙස ආයෙත් නිව්යෝර්ක්වලට ආවා. දැන් නිව්යෝර්ක්වලින් ආපහු කැන්සස්, කෙන්ටකි ගිහින් ආයෙත් ලොස් ඇන්ජලිස් යන්න තියෙනවා. ඉන් පස්සේ ඩුබායි, ඔස්ටේ්‍රලියා, ජපන්, රුමේනියා සහ ඉතාලි යන්න තියෙනවා.


ඇමෙරිකා ප්‍රසංග මාළාවේ පළමුවැන්න වන නිව්යෝර්ක් ප්‍රසංගයෙන් පසුව ඔබ සහ එහි සංවිධායිකාව වන ඩිලානි සමග යම් යම් මත ගැටුම් ඇති වන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ අදත් අප දකිනවා. ඇත්තටම මොනවද මේ වෙන්නේ.?


මම ඇමෙරිකාවට ආවේ ප්‍රශ්න ඇතිකර ගන්න නොවේ. අවුරුද්දකුත් මාස හතක් හිරේ දුක් විඳලා මම ආවේ මානසික සහනයක් බලාපොරොත්තුවෙන්. අනෙක මගේ ප්‍රශ්න මාධ්‍යයට කියන්න, සමාජ මාධ්‍යයට කියන්න මම කොහොමත් සූදානම් නැහැ. මට කවුරු හරි එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඒ තැනැත්තා හෝ තැනැත්තිය සමග දුරකථනයෙන් විසඳා ගන්න පුළුවන්. ඇයි සයිබර් අවකාශයේ ඒ ප්‍රශ්නය මුදාහරින්නේ. මම ඇයි එය ලෝකයට පෙන්වන්නේ. ඒ ස්ටයිල් එක මගේ නැහැ. මම දූෂිත දේශපාලනඥයන් ගැන කතා කරනවා. කලා ලෝකයේ මගේ හිතවතුන් සමග ප්‍රශ්න ඇතිකර ගන්න මම සූදානම් නැහැ. අනෙක මම මාධ්‍ය හරහා ගහගන්න පුද්ගලයෙක් නොවේ. ඔහු හෝ ඇය සමග සතරකම්මන්ත්‍රණයක් වුණාම මට ප්‍රමාණවත්.


නිව්යෝර්ක් ප්‍රසංගය වෙනුවෙන් නියමිත මුදල නොලැබුණු බවට ඔබ කිහිප දෙනකු සමග ප්‍රකාශ කර ඇති බවට ඩිලානි පවසනවා. එහෙත් නියමිත මුදල් ගෙවූ බවට අදාළ සාක්ෂි ඇය ඉදිරිපත් කරනවා?


මම කලින් කිව්වේ, මගේ ප්‍රශ්න මම මාධ්‍ය සමග හෝ සමාජ ජාලා සමග කියන්න සූදානම් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් මම එයා එක්ක ගිහින් කතා කරලා විසඳා ගන්නවා. සමාජ ජාලාවලින්වත් ‘දිවයින’ පත්තරේවත් නෙවෙයිනේ මගේ ප්‍රශ්න ඇති කළේ. ප්‍රශ්නය ඇති කරගත් පාර්ශ්වය සමග එයාගේ ගෙදර ගිහින් හරි සුහදව එය විසඳා ගන්නවා මිසක් මාධ්‍ය ආයතන එක්ක ඒ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්නේ නැහැ. මම ඒ පහත් තත්ත්වයට පත්වන්නේ නැහැ.


එහෙම සුහදව සාකච්ඡා කරන්න ඔබ සූදානම්ද.?


ඔයා හාර හාර ගන්න හදනව නේද? ඒ චැප්ටර් එක ක්ලෝස්ඩ්. ඒක ඉවරයි. අපි ප්‍රසංගයකට ඈත රටකට එන්නේ ලොකු ආදරයක් ගෞරවයක් හිතවත්කමක් බලාපොරොත්තුවෙන්. ඒ හිතවත්කම ආදරය ගෞරවය සහ මිත්‍රත්වය දිගටම පවත්වා ගෙන යෑමට තමයි කලාකරුවෙක් කැමැති. ඉතින් මමත් ආස කරන්නේ එහෙමයි. කෑම අඩුවුණා, බීම අඩුවුණා වගේ සිල්ලර ප්‍රශ්න මාධ්‍යයට මුදා හරින්න මම කැමැති නැහැ. මට ඇමෙරිකානු සංචාරයේදී විශාල ආදරයක් ලැබුණා. පිළිගැනීමක්, ආදරයක් වගේම තෑගි බෝගත් ලැබුණා.


ඇමෙරිකාවට ඇවිත් ඔබ මේ විදිහට ආදරය ලබා ගන්නේ පැමිණි කාරණය අමතක කර දුක අලෙවි කරමින් බවටත් චෝදනා එල්ල වෙනවා.?


ඔයා ප්‍රශ්න අහන්නේ ඩිලානිගෙ පැත්ත අරගෙන හරියට මගෙත් එක්ක තරහෙන් වගේ. මම ආවෙ නම් සිංදු කියන්න. හිරේ දුක් විඳල තමයි ආවේ. ඒක ලෝකෙම දන්නවා. ඒකේ අලෙවි කරන්න දෙයක් නැහැ.



මීට වඩා හොඳයි රන්ජන් ලංකාවට ගිහින් හිඟාකෑව නම් කියමින් සමාජ මාධ්‍යය ඔස්සේ ඩිලානි අබේවර්ධන ප්‍රකාශයක් කර තිබුණා.?


ඒ ප්‍රකාශය ගැන මම කනගාටු වෙනවා. මගේ ක්ෂේත්‍රයේ සහෝදරයකුට මම කවදාවත් ඒ වගේ දෙයක් කරලත් නැහැ කරන්නෙත් නැහැ. රන්ජන් ලේන්සුවක් දාගෙන හිඟාකෑව නම් හොඳයි කියලා කිව්වේ කවුද කියන්න මම දන්නෙ නැහැ. මම කවදාවත් හොරකමක් කරලා නැහැ. මම මෙහෙට ආවා රෙඩ් කාපට් එක දාලා ගෙනැවිත් මල් මාලා දාලා පිළි අරගෙන හොඳ හෝටල්වල නවාතැන් දුන්නා. ඉස්තරම් කෑම බීම ඇඳුම් පැළඳුම් ලබා දුන්නා. හොඳ යාන වාහනවල මාව ගෙනිච්චා. ඔය කියන විදිහට හිඟාකෑමක් නම් වුණේ නැහැ. ඒ ප්‍රකාශය කළ කෙනාට ඒ විදිහට පේනවා ඇති.


ඩිලානි අබේවර්ධන සහ රන්ජන් රාමනායක කියන්නේ චිත්‍රපට කිපයකම පෙම්වතුන් ලෙස රඟපෑ දෙදෙනෙක්. නිව්යෝර්ක් ප්‍රසංගයට පැමිණෙන තුරු ඔබ දෙදෙනා සැබෑ ජීවිතයේත් බොහෝ සමීප මිතුරන්. කලාකරුවන් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ එකිනෙකා සමග මේ ආකාරයට වාග් ප්‍රහාර එල්ලකර ගැනීම කොතෙක් දුරට සුදුසු ක්‍රියාවක්ද.?


ඔයානෙ දැන් මේ ඒක කරන්න යන්නෙ.


නැහැ. මම නෙවෙයි. මම දැන් මේ ගැන අහන අවස්ථාව වෙද්දී ඒ ඔක්කොම සිදුවෙලා අවසන්. ඒ සිදුවූ දේ ගැනයි මම මේ අහන්නේ ?


නැහැ. මම කිසිම තැනක එයාගේ නම කියලා නැහැ. අපහාසයක් කරලා නැහැ. ඔයානේ මේක දැන් ඇදල අරන් ඒක නිමිත්තක් කරන්න යන්නේ. ඒ පාර්ශ්වයෙන් තමයි ඔය ප්‍රශ්නය අහන්න ඕනේ. ඔයා කොච්චර උත්සාහ කළත් ඒ පාර්ශ්වයේ නම ගන්න මම නම කියන්නෙ නැහැනේ. ඒ පාර්ශ්වය තමයි මගේ නම කියමින් හිඟාකන්නා කියලා කියන්නේ. මම තාමත් නම කියන්නේ නැහැ. ඒ හික්මීම අපිට තියෙනවා. පාර්ලිමේන්තුවේ අන්ත දූෂිතයන්ගේ නම් ගම් එක්ක මම කතා කරනවා. රන්ජන් කියන මගේ නමේ තේරුම එන්ටර්ටේන් කියන එක. මම එන්ටර්ටේන් කරන කලාකාරයෙක් මිසක් කලහකාරයෙක් වෙන්න කැමැති නැහැ. ඒ වගේම නළාකාරයෙක් වෙන්න කැමැතිත් නැහැ.


ඔය කියන පාර්ශ්වය සමග ඔබට ඉදිරියේදී රඟපාන්න වුණොත්?


අනේ නැහැ. මම නම් ඒක කරන්නේ නැහැ. මගේ වචනෙ චවනෙම තමයි.


අජිත් අලහකෝන්






Previous Post Next Post