කේසර මට මුලින්ම හම්බුණේ බැංකුවේදී -දමිත්‍රි සුබසිංහ




ඔන්න ඉතින් හා හා පුරා කියල 2023 අවුරුද්දේ විවාහ වුණ පළමු රංගන ශිල්පිනිය විදිහට දමිත්‍රි සුබසිංහ නම් කෙරුණා. අවුරුදු ගණනක ආදර කතාවක් තමයි මේ විදිහට විවාහය දක්වා දුරදිග ගියේ. ලැබෙන ආරංචිය හැටියට නම් ළඟ ළඟම තවත් කලාකරුවන් පිරිසක් මේ පෝලිමේ මේ අවුරුද්දේ ඉන්නවා කියලයි. අපි බලමුකෝ... එහෙම නම් ඉතින් මේ අලුත් ජීවිතේ දමිත්‍රගේත් කේසරගේත් සප්‍රයිස් මොනවද කියලා.

කේසර මට මුලින්ම මුණගැහුණේ මම සේවය කරපු බැංකුවෙමයි. එයාව මම මුලින්ම 2017 අවුරුද්දේ තමයි දැක්කේ. අපි දෙන්නම එකම බැංකුවක වැඩකළාට අංශ දෙකකයි හිටියෙ. ඉතින් අපේ තිබුණ එක්තරා වැඩ සටහනකදී තමයි මුලදී මම කේසරව දැක්කේ. අපි එදා නිකමට සාමාන්‍ය විදිහට කතාබහ කළා. විශේෂත්වයක් තිබුණේ නැහැ.

විවාහ උත්සවය දවසේ දමිත්‍රි පැමිණ සිටි ආරාධිතයින්ට අපූරු කතාවක් කළා. එදා දමිත්‍රි කිව්වේ නම් "ලෝකයේ දැකපු ලස්සනම ඇස් දෙක තියෙන්නේ කේසරට" කියලයි. හැබැයි ඔන්න දමිත්‍රි කියන්නේ දැකපු මුල් දවස්වල නම් ඒ ඇස්වල තිබුණ විශේෂත්වය එදා දැක්කේ නැහැ කියලයි. ඔන්න ඉතින් කේසර දමිත්‍රිගේ හොඳ යාළුවෙක් වුණා. ටික කාලයකට පස්සේ තමයි මේ දෙන්නා ආදරේ කරන්න පටන් අරගෙන තියෙන්නේ.

"පළමු මුණගැහීමේදී අපි අතරේ ආදරය නම් ඇතිවුණේ නැහැ. ඒ මුණගැහීම අපිට විශේෂ වුණේ නැහැ. අපි කාලයක් ගිහින් හොඳ යාළුවෝ වුණා. ඒ යාළුකම ආදරයකට පෙරළෙන්න යද්දී තමයි මම එයාගේ ඇස් දෙකේ ලස්සන දැක්කේ. ඇත්ත තමයි..." කේසර කියන්නේ ලස්සන ඇස් දෙකක් තියෙන කෙනෙක්.

මේ වෙද්දී නම් කේසර දමිත්‍රිටත්, දමිත්‍රි කේසරටත් හරි ලස්සන තෑගි බෝග හුවමාරු කරගන්නවා. හැබැයි කේසර ආදරය පටන්ගත්තට පස්සේ දීපු පුංචිම තෑග්ගට අදටත් දමිත්‍රි හරි ආසයිලු.

"කේසර මට මුලින්ම චූටි බෙයාර් කීටැග් එකක් දුන්නා. ඒක අදටත් මගේ ළඟ තියෙනවා. අපි දෙන්නගෙන් මුලින්ම ආදරේ කිව්වේ කවුද කියලා දෙයක් නැහැ. යාළුවෝ විදිහට ආශ්‍රය කරද්දී අපි දෙන්නගේම හිත්වල ඒ ආදරේ ඇතිවුණා. ඒක දෙන්නගේම හිත්වල ඉබේම ඇතිවුණ ආදරයක්. යාළුවෝ විදිහට අපි ආශ්‍රය කරද්දී ඒ යාළුකමේ විශේෂත්වයක් මමත් දැක්කා. එයත් දැක්කා."

"අපි ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ මම දවසක් කේසර වෙනුවෙන් චොක්ලට් බිස්කට් පුඩිමක් හදලා ඒක බැංකුවට ගිහින් දුන්නා. ඒක මම හදද්දී මගේ අම්මා "ඔය කාටද හදන්නේ" කියලත් ඇහුවා. මම ඉතින් පොඩි බොරුවකුත් අම්මට කිව්වා. හැබැයි ඒ වෙද්දී කේසර මගේ "හොඳ යාළුවෙක්" කියලා අම්මා දැනගෙන හිටියා. අම්මා මගේ බොරුව විශ්වාස කරන්නට නැතිව ඇති. හැබැයි මුකුත් වැඩිය ඇහුවේ නම් නැහැ."

ඔන්න ඉතින් කේසරටත් මාර සතුටුයිලු. තමන්ගේ පෙම්වතිය එයාම තමන්ටම හදපු චොක්ලට් බිස්කට් පුඩිම ගෙදර ගිහින් නිදහසේ කන්න හිතාගෙන හිටපු කේසර කොහොම හරි ගෙදර ගිහින් පුඩිම කන්න ලෑස්ති වෙලා. "කවදාවත් නැතිව ගෑනු ළමයෙක් දීපු පුඩිමක් මෙයා ගෙදර ගෙනාවේ මොකද?" කියලත් කේසරගේ අම්මටත් පොඩි සැකයක් ඇතිවෙලා. හැබැයි ඉතින් කේසර කියන්නේ නම් ඒ චොක්ලට් බිස්කට් පුඩිම මාරම රසයි කියලයි. පුඩිමට දමිත්‍රිගේ ආදරේත් එකතු වෙන්නත් ඇති.

දමිත්‍රිගේත් කේසරගේත් විවාහය සිදුවුණේ ජනවාරි මාසේ නවවැනිදා. මේ දෙන්නගේ ආදර කතාව ගැන දමිත්‍රි මුලින්ම කියලා තියෙන්නේ එයාගේ අම්මටයි. ඇගේ මව හැම මොහොතකම ඇය සමඟ සිටින ආදරණීය මවක්. ඉතින් ඒ වෙද්දීත් කේසරව දමිත්‍රිගේ මව දැනගෙන හිටිය නිසා ඒ ආදරේට අකුල් හෙළලා නැහැ. හැබැයි ඔය වෙද්දී කේසර ගෙදරට කියන්නත් කලින්ම කේසරගේ අම්මා නම් "පුතා ගෑනු ළමයෙක් ගැන විශේෂයෙන් හිතනවා" කියලා පොඩි සැකයකුත් තිබිලා තියෙනවා.

දමිත්‍රි රංගනයට එකතු වුණේ "අවුරුදු කුමරි" තරගයකින් ජයග්‍රහණය කළාට පස්සේ. මේ වෙද්දී දෙරණ නාලිකාවේ විකාශනය වන "ඉස්කෝලේ" ටෙලිනාට්‍යයේ ගුරුවරිය ලෙසින් රඟපාන දමිත්‍රි "පාවෙනා වලාකුළෙන්" ටෙලිනාට්‍යයෙන් තමයි රංගනයට එකතු වෙන්නේ. දමිත්‍රි නම් කියන්නේ කේසරගෙත් එයා රඟපානවාට කිසිම අකැමැත්තක් නැහැ කියලයි.

අපි ආදරය කරන්න පටන් ගනිද්දිත් මම රඟපාන්න එකතුවෙලයි තිබුණේ. කිසිම දවසක මට රඟපාන්න එපා කියලා කේසර කිව්වේ නැහැ. එයා මගේ වැඩවලට එයාට පුළුවන් උපරිමයෙන් සහයෝගය ලබලා දෙනවා.

ඔන්න දමිත්‍රිගේ උපන්දිනේ යෙදිලා තිබුණේ මාර්තු මාසේ තිස්වෙනිදා. ගිය වසරේ මාර්තු තිස්වෙනිදා කේසර දමිත්‍රිව සප්‍රයිස් කරන තෑග්ගක් දීලා තියෙනවා. කේසර දමිත්‍රිටත් හොරා එයාගේ යාළුවන්ට, ළඟම අයට ආරාධනා කරලා තියෙනවා. ඔන්න ඉතින් "ඔයාගේ බර්ත් ඩේ එකට අපි එළියට යමු" කියලා කේසර දමිත්‍රිව එළියට කියල එක්කගෙන ගිහින් තියෙන්නේ හරි ලස්සන උත්සවයකටයි. එදා නම් මාරම සප්‍රයිස් කියලයි දමිත්‍රි කියන්නේ.

"කේසරගේ උපන්දිනේ තියෙන්නෙත් ජූනි 19 වැනිදායි. එදා එයාව මම සප්‍රයිස් කළා. එයාට හොරා එයාගේ යාළුවන්ට කියලා මම සාදයක් ලෑස්ති කළා. දැන්නම් ඉතින් අපි හරිම සතුටින් එකට ජීවිතේ පටන් ගත්තා.


දිශානි ජයමාලි





Previous Post Next Post