අපි දෙන්නම ආදරේ විඳලා විඳවපු අය - විශ්ව කොඩිකාර




පුංචි තිරයටත් රිදි තිරයටත් රංගනයෙන් එකතු වෙන විශ්ව කොඩිකාර රංගනයට පිවිසිලා මේ වෙද්දී අවුරුදු 15ක් ගත වෙලා. මේ කාලය පුරාම නිර්මාණ එක්ක නිරන්තරයෙන් දැක ගත්ත ඔහුව මේ දිනවලත් නිර්මාණ කිහිපයකින්ම දැක ගන්න ලැබෙනවා. ඒ අතරින් ඔහුට කවුරුත් ආදරේ කරන්නේ ‘කියා දෙන්න ආදරේ තරම්‘ කියන නාට්‍යයේ ඔහු රඟපාන චරිතයටයි. අලුත් නිර්මාණ වගේම ඔහු ගැන කතා කරන්න රසඳුන කතාබහකට විශ්ව කොඩිකාර හා ඔහුගේ ආදරණීය බිරිය එරන්දි අනුරාධා සම්බන්ධ කර ගත්තා. මේ ඔවුන් ගැනයි.


 


විශ්ව මේ දවස්වල වැඩිපුර කතා කරන චරිතයක් බවට පත් වෙලා, ඒ කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය නිසා නේද ..?


ඒ නාට්‍යයේ මම රඟපාන චරිතයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා . ළඟදි දවසක මොන්ටිසෝරියක වැඩකට සම්බන්ධ වුණා , එතැනදි ළමයින්ගේ මවුපියෝ කතා කරෙත් ඒ නාට්‍යයේ චරිතය ගැන තමයි, සතුටුයි ඉතින් එහෙම ප්‍රතිචාර ලැබෙද්දි. ඒ වගේම අයිස් හා ගගන පියවර කියන නාට්‍යවලත් මාව දැකගන්න පුළුවන්.


නිර්මාණ කිහිපයක එකවර දකින්න ලැබීමත් සතුටක් වෙන්න ඇති, මොකද අලුත් පරපුරක අලුත් මුහුණු වැඩිපුර දකින කාලයක්නේ මේ..?


අලුත් නළු නිළියෝ ගොඩක් බිහි වුණු කාලයක්. ඒක ඇත්ත, ඒ වගේ කාලවකවානුවක නිර්මාණ බොහොමයකට ආරාධනා ලැබෙන එක ගැන සතුටු වෙන්න ඕන.


 


විශ්ව එකම රාමුවකට කොටු කරලා කියලා හිතන්නේ නැද්ද ..?


එකම චරිත ලැබෙන්නේ. නමුත් මම නම් කොයිම මොහොතක. වත් ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මට මේ චරිත එපා මේ වගේ චරිත දෙන්න කියන්න පුළුවන් කාලෙක නෙමෙයි ඉන්නේ, ආර්ථිකය එක පැත්තකින් වැටිලා. මට ලැබෙන චරිත මම කොහොමද වෙනස් විදිහට කරන්නේ කියලා විතරයි හිතන්න ඕන. කාල, බෝම්බ හා රෝස වගේ සිනමාපටවලින් මාව වෙනස් වුණා, ඒ වගේම ටෙලි නාට්‍ය දෙක තුනක වෙනස් චරිත කළා. ඉදිරියේ දී වෙනසක් කරන්න පුළුවන් චරිත ලැබුණොත් කරනවා. බිරියත් ආසාවෙන් ඉන්නවා මාව වෙනස් විදිහට පුංචි තිරයෙන් දකින්න.


රටේ ආර්ථික ප්‍රශ්න ඉබේම පවුලට දැනෙද්දී බිරිය කියලා නැද්ද රඟපෑම පැත්තකින් තියලා ඔස්ට්‍රේලියාවේ පදිංචිය තියෙන නිසා එහේ යමු කියලා ..?


ළඟදි දවසක ගෙදරට යාළුවෙක් ඇවිත් කිව්වා හැමෝටම සිටිසන් තියෙන එකේ නංගී මූව කොහොම හරි එක්කගෙන යන්න අපි මේ යන්න දඟලනවා කියලා, බිරිය කිව්වා මම නම් කවදාවත් විශ්වට එහෙම කියන්නේ නැහැ දමලා ගහලා එන්න කියලා, එයා මෙහේ ඉන්න ඕන කෙනෙක් කිව්වා. බිරිය දරුවෝ එක්ක පෙබරවාරි මාසේ ඔස්ට්‍රේලියා යනවා. එයා කවදාවත් මට බල කරලා නැහැ රංගනයෙන් ඈත් වෙන්න කියලා. ඒ පැත්තෙන් බැලුවම මම හරි වාසනාවන්තයි.


 


දරුවන්ගේ අනාගතේ ගැන හිතලා ඇයව හා දරුවන්ව විදෙස්ගත කරන්න දුකක් ඇති..?


අපි විවාහ වෙලා අවුරුදු 9ක් වෙනවා දෙසැම්බර් පස්වෙනිදාට. විවාහ වුණ දවසේ ඉඳලා අපි එකට හිටියේ. මම රූගත කරන්න ගිහිං එන්න පරක්කු වුණොත් එරන්දිට තරහා යනවා. මොකද මම එනතුරු එයයි දරුවෝ දෙන්නයි මඟ බලාගෙන ඉන්න නිසා. එයාලට මාවත් මට එයාලවත් මඟ හරිම දුකක්. නමුත් එරන්දි එයාගේ අධ්‍යාපන කටයුතුවලටත් එක්ක යන්නේ. තව අවුරුදු 10කින් විතර මමත් යයි. එතකල් ගිහිං එයාලව බලලා එන්න යන්න තමයි දැනට හිතාගෙන ඉන්නේ.


ගෙදර එන්න පරක්කු වෙද්දී රණ්ඩු කරනවා වගේ ගැහැනු ළමයින්ගෙන් ප්‍රතිචාර එද්දී රණ්ඩු කරලා නැද්ද ..?


නැත්තේ මොකද. ඉස්සර නම් රණ්ඩු කරලා තියෙනවා. දැන් නම් නැහැ. දැන් තේරුම් අරන් ඉන්නේ බොරු දේවල්වලට රණ්ඩු කරන්නේ කියලා.


 


පවුල් අවුල් නොවී කටකතා හදාගන්නේ නැතුව ඉන්න කලා පවුල් අතරට ඔබත් එකතුයි..?


පවුල් ඇතුළේ රණ්ඩු නැති පවුල් හොයාගන්න අමාරුයි. අපි දෙන්නත් ඕන තරම් රණ්ඩු කර ගන්නවා. නමුත් පවුල් ජීවිතේ අවුල් කරගන්නේ නැහැ. මගේ තාත්තා නිතරම කිව්ව දෙයක් තමයි “ගත්ත ගෑනි ගැළපෙන්නේ නැහැ කියලා ගෑනු මාරු කරාම වෙන්නේ හිටපු ගෑනිට වඩා ගත්ත ගෑනි ඊට වඩා අවුල්... කවදාවත් ගැළපෙන මිනිස්සු එකතු වෙන්නේ නැහැ...හොයා ගන්න බැහැ... ඒ නිසා ඉන්න කෙනා ගළපා ගන්න ඕන“ කියලා. මමත් ඒක විශ්වාස කරනවා. මගේ යාළුවෙකුට එහෙම වුණා. මම එයාට කිව්වා ගන්න කෙනාගෙන් පරිස්සම් වෙන්න කියලා. ඒ වගේම දෙවැනියට විවාහ වුණු බිරියත් අවුල්. දන්න කෙනා එක්ක ජීවත් වෙන්න ලේසියි. කවුරු මොනවා කිව්වත්, ඒක තමයි වැදගත්. රණ්ඩු වෙලා මම බිරියව යාළු කර ගන්න කොහේ හරි එක්කගෙන යනවා. නැත්තම් යාළු කර ගන්න බැහැ. බලෙන් කතා කරනවා. ඒ ජීවිතේ හරි සුන්දරයි. අපි විනෝදෙන් ජීවත් වෙනවා. පවුල ඇතුළේ එක තැනකදි එක්කෙනෙකුට නැමෙන්න වෙනවා. අපි දෙන්නම එහෙමයි ජීවත් වෙන්නේ. ඒකයි පවුල අවුල් කර ගන්නේ නැත්තේ.


 

තාත්තා වගේ සිනමා අධ්‍යක්ෂණයට යොමු වෙන්න අදහසක් නැද්ද ..?


අධ්‍යක්ෂණය කරන්න තව කල් තියෙනවා, පරිණත නැහැ. නමුත් ලොකු හීනයක් තියෙනවා නිෂ්පාදනය කරන්න. ඒ දේ නම් ඉදිරියට කරනවා.


විශ්ව කතාබහට සමු දුන් විට ඔහුගේ බිරිය අපිත් එක්ක කතාවට එක් වුණා.


 

ඇත්තටම එරන්දී ඔස්ට්‍රේලියාවේ පදිංචිය තියෙද්දි විශ්වට කියලම නැද්ද හැමදේම අත ඇරලා යමු කියලා ..?


නැහැ. එයාගේ හොඳම කාලේ හා වැඩ වැඩිම කාලේ එයා වැඩ කරන්න ඕන. ඒ නිසා මම කිව්වේ ඔයාට එපා වුණු දවසට එන්න ඉන්නම කියලා,


 

ඔයා හැදිලා වැඩිලා ඉගෙන ගෙන රැකියාවත් ඔස්ට්‍රේලියාව වගේ රටක කරලා විශ්ව වගේ නළුවෙක් නිසා හැමදේම අත ඇරියා කියලා හිතන්නේ නැද්ද ..?


මම කෙටි කාලයක් මියුසියස් විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔස්ට්‍රේලියා යනවා. පවුලේ හැමෝම ඉන්නේ එහෙ. මගේ පදිංචිය එහේ. විශ්ව එක්ක විවාහ වුණේ අපරාදේ කියලා හිතෙන්නේ නැහැ. එහේ සුන්දරයි. නමුත් නිදහස නැහැ. මුදල් හම්බ කරන්න නම් කාර්යබහුල ජීවිතයක් ගත කරන්න ඕන. නිදහස අඩු නිසා මම ලංකාවේ ඉන්න ආස කළේ. ඒ වගේම විශ්වට තිබ්බ ආදරේ නිසා සියලු දේ කැප කරලා ලංකාවට ආවා. මම හැමදාම ආදරේ කරේ ලංකාවට. නමුත් දරුවෝ ගැන හිතලා නැවත එහේ යනවා. මම පොඩි කාලේ ඉඳලා හැදුණේ වැඩුණේ, නිදහසේ ට්‍රිප් ගිහින් හිතුණු ගමන් එළියෙන් කාලා විනෝද වෙලා. ඒ සතුට මම දරුවන්ට දෙන්න ඕන. ඒකයි නැවත යන්නේ. නමුත් විශ්ව නිසා කිසිම දවසක පසුතැවිලි වෙලා නැහැ.


 

ඕස්ට්‍රේලියාවේ හිටියත් ලංකාවේ නාට්‍ය බැලුවා කියලා ආරංචියි , විශ්වගේ නාට්‍ය බලලා ඔහුට ආදරේ කරන්න ඇත්තේ..?


උපාධිය අවසන් කරලා ජොබ් එකක් කළා. ඒ අතරතුර තමයි ලංකාවට ආවේ. ඒ ඇවිත් මගේ යාළුවෙක් හිටියා රංගන ශිල්පියෙක්. ඔහුව මුණගැහෙන්න ගියා. එතකොට විශ්ව ඇවිත් හිටියා. විශ්ව එක්ක කතාබහ කරා. ඒ වුණාට මම තමයි විශ්වගේ නම්බර් එක ඉල්ලාගෙන එයාට කෝල් කළේ. ඒ දවස්වල මම එයා රඟපෑ පබළු නාට්‍ය බැලුවා. මම එයාගේ රසිකාවියක් විදිහට කතා කරේ. ඒ කතාබහ දුරදිග ගියා. මම ආයෙමත් ඔස්ට්‍රේලියා ගියා. එයා එහේ ඇවිත් මාසයක් හිටියා. ඊට පස්සේ ගෙවල්වලින් අවසර අරගෙන විවාහ වුණා. විවාහ වෙන්න මාස හයක් තියෙද්දි තමයි ලංකාවට ආවේ.


 

විශ්ව පෙම්වතා කර ගනිද්දි ඔබ පෙම්වතියක් වෙලා හිටියේ නැද්ද ..?


මම දෙන්නෙකුට ආදරේ කරලා කටුක අත්දැකීම් විදලා තිබ්බා. එයත් මට කලින් ආදරේ විඳලා විඳවලා තිබ්බ කෙනෙක්.


 

විශ්වට ලැබුණු ගැහැනු ළමයින්ගේ ප්‍රතිචාර නිසා එරන්දි නිතරම රණ්ඩු කරා කියන්නේ ඇත්තද ..?


මුල් කාලේ රණ්ඩු වෙලා සති දෙක තුන කතා නොකර ඉඳලා තියෙනවා. දැන් නම් රණ්ඩු වෙන්න වෙලාවක් නැහැ දරුවන්ගේ වැඩත් එක්ක කාර්යබහුල වෙන නිසා. පස්සේ රණ්ඩු වෙන එක නතර කරා. දැන් ටිකක් තරහා ගිය වෙලාවට කියනවා අර නිළිය එක්ක මෙහෙම හිටියා නේද කියලා ටිකක් අවුස්සනවා. ඒවා විහිළුට. ඉස්සර නම් රණ්ඩු වුණේ ඊර්ෂ්‍යාවට.


 

එරන්දි රණ්ඩු කරන නිසා ජනප්‍රිය නිළියෝ විශ්ව එක්ක රඟපාන්න බය ඇති ..?


අනේ එහෙම නැහැ , හැමෝම හිතවත්.


 


එරන්දිට හිතෙන විදිහට විශ්වට පුංචි තිරයේදි ගැළපෙන පෙම්වතිය කවුද ..?


ඉරේෂා සදමිණි හා තිසුරි යුවනිකා කියලා හිතෙනවා. ඒ දෙන්නා ගැලපෙනවා.


 


එරන්දි ගෘහණියක් විදිහට කාර්යබහුල වෙද්දී විශ්වගෙන් ගෙදර වැඩවලට උදව් ලැබෙනවද..?


දුව කාවින්ද්‍යා අවුරුදු හතයි, පුතා ඔනෙත්. එයාගේ වයස හයයි. මේ දෙන්නා රන්ඩුමයි. පොඩි පොඩි දේවල්වලට තමයි දෙන්නා රණ්ඩු වෙන්නේ. මේ දෙන්නගේ රණ්ඩු බේරන්න කාලේ හරි. විශ්ව ගෙදර හිටියොත් උදව් කරනවා. පුතා උදේට විශ්වට කියලා යන්නේ තාත්තී අද අපිව ඉස්කෝලෙන් ගන්න එන්න කියලා , මම කොච්චර ළඟ හිටියත් ආදරේ කරත් අගයක් නැහැ එයාලට. තාත්තිව තමයි ඕන. ඒ නිසා විශ්ව ගෙදර හිටියොත් ඒ දෙන්නගේ වැඩවලට එහෙම උදව් කරනවා.


 

දරුවෝ දෙන්නා තාත්තගේ නිර්මාණ බලලා මොකද කියන්නේ..?


තාත්තී ටී. වී එකේ ඉන්නවා කියලා දන්නවා. නාට්‍ය අපි බලන නිසා බලනවා. නමුත් ප්‍රතිචාර දක්වන්න තේරෙන්නේ නැහැ. දවසක් දුව ඇහුවා අම්මී ඉද්දි ඇයි තාත්තී අර ආන්ටි එක්ක ඉන්නේ කියලා. ආදරණීය චරිත විශ්ව රඟපාන මොහොතක දුව එහෙමයි ඇහුව්වෙ. එදා ඉඳලා තවම නම් මොකුත් ඇහුවේ නැහැ


ඒ විදිහට තමයි එරන්දිගේ කතාබහ අවසන් වුණේ.





Previous Post Next Post