පාසල් කාලය තුළ ගායනය, නර්තනය, රංගනය යන කලාවේ විවිධ අංගයන් ඔස්සේ ඉදිරිපත් වීමේ හැකියාව ඇය කලාවට යොමු කළාය. දෙරණ රූපවාහිනි නාළිකාවේ 2019 අවුරුදු කුමරිය තරඟයෙන් අවසන් වටයේ දොළොස් දෙනා (12) අතරට පැමිණිමෙන් පසු ඇයට රංගනයට මඟ පෑදෙන්නීය. තම මවගේ අරමුණ වුයේ ද දියණිය කලා ශිල්පිනියක් වනු දැකීමය. ඇය වේ වන විට තම මවගේ අරමුණ ද ඉටුකර හමාරය. මේ දිනවල යුගයේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් වන ස්වර්ණවාහිනියෙන් සතියේ දින පහේම රාත්‍රි 8.30 ට විකාශනය වන “පාර දිගේ ” ටෙලි නාට්‍යය තුළින් ඇය අපේ ආලින්දය සරසන්නීය.රංගන ශිල්පිනියක් මෙන්ම ගායන ශිල්පිනියක් ලෙසින් ද ඇයට ඕනෑම ගීතයක් ගායනා කළ හැකිවීම සුවිශේෂ වන්නීය. මෙවර අපේ කතාබහට එක්වන්නේ කලා ශිල්පිනි නිත්‍යා දේවින්දිය.
මුලින්ම සම්පූර්ණ නම කිව්වොත් ?
රංචාගොඩ ආචාරිගේ නිත්‍යා දේවින්දි
ඉන්නේ කොහෙද?
මගේ ගම අහංගම. දැන් පදිංචිය අතුරුගිරිය.
අධ්‍යාපනය ලැබුවේ ?
එකේ සිට පහ වසර දක්වා (1- 5) අහංගම ධර්මාරාම කනිෂ්ඨ විද්‍යාලයේ. අනතුරුව මං ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා ගාල්ල, හෘදය ශ්‍රී කන්‍යාරාමයට තමා ගියේ උසස් පෙළට ගණිත අංශයෙන් අධ්‍යාපනය ලැබුවේ.
පාසලේදීත් කලා කටයුතුවලට දායක වුණා ද?
ඔව් ඒවාට මං ඒ කාලේ ඉඳලම දායක වුණා. සින්දු කියන්න. නටන්න, නාට්‍යවල රඟපෑම වැනි බාහිර වැඩවලට ප්‍රමුඛ වුණා කියලා කිව්වොත් හරි අයියේ.
ඒ කාලේ ඉඳලාම කලාවට සම්බන්ධ වෙනවා කියලා අරමුණක් තිබුණ ද?
ඇත්තටම එහෙම අරමුණක් මට තිබුණේ නෑ. හැබැයි අපේ අම්මට ලොකු වුවමනාවක් තිබුණා මාව කලාව පැත්තට යොමු කරන්න. මගේ අම්මයි, අයියයි නිසා තමා අද මං කලාවේ මේ තැන ඉන්නේ. මගේ තාත්තා ජීවතුන් අතර හිටියේ නෑ. සමහර විට හිටියා නම් එහෙම වෙන්නත් නොවෙන්නත් ඉඩ තිබුණා.
පවුලේ විස්තර කොහොමද?
අම්මයි, තාත්තයි, අයියයි, මමයි, නංගියි. අම්මා ගෘහණියක්. තාත්තා ජුවලරි සම්බන්ධ රැකියාවක් තමා කළේ. තාත්තා දැන් ජීවතුන් අතර නැ දැන් අයියා තමා ඒ රැකියාව කරන්නේ.
මේ දවස්වල ඔබට අපිට දකින්න ලැබෙන්නේ?
ස්වර්ණවාහිනියෙන් සතියේ දින පහේම රාත්‍රී 8.30ට යන ‘පාර දිගේ’ කියන ටෙලි නාට්‍යයෙන් මං පේ‍්‍රක්ෂකයන් හමුවෙනවා.
පාර දිගේ ටෙලි නාට්‍යයේ රුචිනි මේ දිනවල හරිම ජනපි‍්‍රයයි. ඔබට ඒ ටෙලි නාට්‍යය සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
ඔව් ඇත්තටම මං නොසිතූ විරූ ලෙස තමා පාර දිගේ එකෙන් ජනපි‍්‍රය වුණේ. මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතා තමයි ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේ. ඇත්තටම ඒ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ශිවා සර් (ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්) හරිම දක්ෂ අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම දක්ෂ තිර කතා රචකයෙකු වන සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා තමා මේ නාට්‍යයේ රචකයා. ඔවුන් තුන්දෙනාටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මොකද ඒ අය නිසා තමා මං මෙහෙම ජනපි‍්‍රයත්වයක් ලැබුවේ.
ඔබ එහි රඟපාන චරිත ගැනත් කියමු.
ස්වර්ණවාහිනියේ යන ‘පාර දිගේ’ ‘රුවිනි’. එහි රුචිර අලුවිහාරේ හා රොහාන් අලුවිහාරේ ලෙස රඟපාන උද්දික පේ‍්‍රමරත්න අයියගේ නංගි ලෙස තමා මං එහි රඟපාන්නේ. ඒක ටිකක් විතර නපුරු ස්වභාවයේ චරිතයක්. ඒ නාට්‍ය කණ්ඩායමේ පිරිසගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මෙහිදි මං මතක් කරන්න ඕනේ එහි මගේ අම්මා ලෙස රඟපාන ප්‍රවීණ රංගන ශිල්පිනි මල්කාන්ති ජයසිංහ මහත්මිය. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පී උද්දික පේ‍්‍රමරත්න ඇතුළු ජනපි‍්‍රය නළු නිළියන් සියලු දෙනාම මට එහිදී විශාල සහයෝගයක් ලබාදෙනවා.
රඟපෑමේදී අමතක නොවන දේවල් එහෙමත් සිදු වෙලා ඇති නේද?
ඇත්තටම පාර දිගේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සියල්ලම වාගේ අමතක නොවන අත්දැකීම්. විශේෂ දෙයක් කියලා කියන්න අමාරුයි. ප්‍රවීණ නළු නිළියන් අධ්‍යක්ෂකවරුන් ඇතුළු සියලු දෙනාගේ ගුරුහරුකම් හා මඟ පෙන්වීමෙන් ඒ ටෙලි නාට්‍ය වල රංගන වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ඇත්තටම ඒ සියල්ලම වාගේ මගේ ජිවිතේට විශේෂයි.
නිත්‍යා වෘත්තීය රංගන ශිල්පිනියක් ද?
එහෙමම කියලා කියන්න අමාරුයි.
රංගනය ගැන හැදෑරීමක් කරන්න අදහසක් නැද්ද?
මං විශ්වාස කරනවා සියයට හැත්තෑ පහක් අසූවක් (75% -80%) ප්‍රායෝගිකව කටයුතු කරමින් ඉගෙන ගන්න එක තමා සාර්ථකම ක්‍රමය කියලා. මං මෙතනදි කියන්නේ නෑ පාඨමාලා කරන්න එපා කියලා නමුත් ප්‍රායෝගිකව කටයුතු කරමින් ලබන අත්දැකීම් කාමරයක් තුළ පුටුවක ඉඳගෙන දේශනයෙන් පොත පත තුළින් ලබන දෙයට වඩා සාර්ථකයි කියලා මට හිතෙනවා.
ඔබ විවාහකයි, සැමියා ගැන විස්තර කිව්වොත්?
ඔහු ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක්. මේ දවස්වල සියත රූපවාහිනියේ යන රේස් කියන ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා ඔහු තමයි.
ඔයාලා දෙන්නා හමුවුණේ කොහොමද?
කාලයකට පෙර එයා විසින් කරපු වැඩසටහනක් තිබුණා රාගම රණවිරු සෙවණට ගිිහිල්ලා ඒකට තරුණ ආර්ටිස්ට්ලා ගොඩකට ආරාධනා කරලා තිබුණා. ඉතින් මටත් ඒකට එන්න කියලා තිබුණා. එදා තමා අපේ පළමු හමුවීම අපි දෙන්නා එදා සාමාන්‍ය විදිහට කතාබහ කරලා හිටියා පස්සේ දෙන්නට දෙන්නා ආදරවන්තයෝ බවට පත්වුණා. ඊට පස්සේ ගෙවල්වලට කියලා අපි දෙන්නා කල් නොයවාම විවාහ වුණා.
දැන් විවාහ වෙලා කොච්චර කල් ද?
දැන් අවුරුදු දෙකකට ආසන්න වෙනවා.
මහත්තයා දැන් ඔයාට කියන්නේ නැද්ද කලා කටයුතුවලින් ඈත් වෙන්න කියලා?
එහෙම කියන්නේ නෑ. එයා මට මේ කටයුතු වලට විශාල සහයෝගයක් ලබාදෙනවා. එයා මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් ලැබූ අයෙක් ඔහුගේ මඟ පෙන්වීම මට විශාල සහයෝගයක් හා ශක්තියක්. එයාට කලා වැඩ කටයුතු ගැන හොඳ අවබෝධයක් තියෙනවා. නිතරම ඉන්නේ කලා ශිල්පිනියන් ශිල්පීන් එක්ක. ඉතින් මට කලාවෙන් ඈත් වෙන්න නම් කියලා නෑ.
පාර දිගේ ටෙලි නාට්‍යයෙන් පස්සේ දැනට වෙනත් නිර්මාණ වලට ආරාධනා ලැබිලා නැද්ද?
කිහිපයකටම කතා කලා. ඒවායින් එකක් මං තෝරාගෙන වැඩ කරන්න භාර ගත්තා.
නිත්‍යා දක්ෂ ගායිකාවක් වෙලා නේද?
ඇත්තටම මං පාසල් කාලයේ ඉඳලම පෙරදිග සංගීතය හැදෑරුවා. හැබැයි විශාරද දක්වාම නම් වැඩිදුර ඉගෙන ගන්න ලැබුණේ නෑ. මට ඒ කාලයේ ඉඳලම හොඳට සින්දු කියන්නත් පුළුවන්. මෑතකදී මගේ ඒ දක්ෂතාව ප්‍රකට වෙලා කරළියට ආවේ රංගන අයියා නිසා. (ස්වර්ණවාහිනි විධායක අධ්‍යක්ෂ රංගන ද සිල්වා) එයාගේ හිත ඉල්ලන තරු වැඩසටහනෙන් පස්සේ මගේ ගායනය ගැන ගොඩක් දෙනා ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කළා. ඉතින් රංගන අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබාදුන්නට.
නිත්‍යා දේවින්දි කියන ගායන ශිල්පිනිය තමන්ගේම ගී නිර්මාණතුළින් ගායන කරළියට එන්නේ කවදාද?
ඇත්තටම මං දැන් ඒ ගැන අවධානය යොමු කරලයි තියෙන්නේ. ඉදිරියේදී මගේම ගී නිර්මාණයක් තුළින් මං ගායන ක්ෂේත්‍රයටත් එක් වෙවි.
අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ මොනවා ද?
මේ දක්වාම මං ආපු ගමනේ මට හොඳ නරක කියා දෙමින් මාව යහ මඟට ගත්ත මගේ අම්මා මංගලිකා දේවගේ අද ජීවතුන් අතර නැති වුණත් මගේ තාත්තා වන ලලිත් කුමාර, අයියා වන දිලුම් ශලංක ඒ අයගේ සහයෝගය මඟ පෙන්වීම නිසා තමා අද මං මේ තැන ඉන්නේ. ඔවුන්ගෙන් පස්සේ අද දක්වා මගේ මහත්තයා ලබාදෙන සහයෝගයත් මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. ඒ වගේම අද දක්වාම මාව නිර්මාණ වලට දායක කර ගත්තු අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු සියලු දෙනාටමත් විශේෂයෙන් ස්වර්ණවාහිනියේ රංගන අයියටත්, ගොඩාක් ස්තුතියි.