අද දවස වනවිට බොහෝදෙනෙක් තමන්ගෙ ජීවන වෘත්තිය විදිහට තෝරගන්න උත්සාහ කරන්නෙ රංගනය. ඒත් තෝරාගත් පමණින් කිසිකෙනෙකුට ඒ දේ කරන්න බෑ. මොකද රංගන ශිල්පියෙක් ශිල්පිනියක් කියන්නෙ දෙබසක් කටපාඩම් කරගෙන කාගෙහරි කීමකට ශරීරය හසුරුවන රූකඩයක් නෙමෙයි. පිටපතක් කියෙව්වම ඒ චරිතය තමන්ට ආරූඪ වෙන්න ඕනෙ. එවැනි ශිල්පීන් අද අඩුයි. ඒත් නැත්තෙමත් නැහැ. මේ ඉන්නෙ එහෙම කෙනෙක්. නමින් ධර්මප්‍රිය ඩයස් වුණාට දැන් හැමෝම ඔහුව හඳුන්වන්නෙ ආනන්ද කියල. ඒ දෙවෙනි ඉනිම නිසා. ඒ විදියට ඉහළ ප්රේක්ෂක ප්‍රතිචාර අතර වැජඹෙන ඔහුව අපි සෙනෙහසේ නවාතැනට කැදෙව්වා.
මම ඉපදුනේ හැදුනෙ වැඩුනෙ වගේම අද ජීවත් වෙන්නෙත් කැස්බෑව කියන සුන්දර ගම්මානයේ. ගම මැද බොහොම ලස්සන වැවක් තියෙනවා. අවුරුද්දකට වතාවක් ඒ වැව කිට්ටුවට වෙන්න පොල් කොටන් හිටවලා හදන වේදිකාවක නාට්‍ය පෙන්වන එක සිරිතක් වෙලා තිබුණා.ගමේ අසල්වැසි පවුල්වල උදවියම තමයි ඒ හැම නාට්‍යයකම නළු නිළියන් වුණේ. පුංචි අපිට මේ දේවල් හරි අපූරු අත්දැකීමක් වුණා. ඔය කියන කාලෙ වෙද්දි මට අවුරුදු හත අටක් විතර ඇති. නාට්‍ය බලාගෙන ඉඳල ඇවිත් එදා ඉඳල ලබන අවුරුද්දෙ නැවත නාට්‍ය දර්ශන පෙන්වනකම් අනේ මටත් කවදහරි ඒ විදියට රජ්ජුරුවො වෙන්න ඇත්නම් හේවායෙක් වෙන්න ඇත්නම් කියල අනන්ත අප්‍රමාණව හීන මවනව. ඒ විදියට හීන මවල විතරක් නිකම් හිටියෙ නෑ කවද හරි මාව චරිතයකට තෝර ගත්තොත් මගේ ඇඳුම් පැළඳුම් හදාගන්න කියල ජටාවලට හරියන රතු රෙදි පටි, මාල, කරාබු කෑලි වගේ දේවල් එකතු කරගෙනත් හිටිය.
කොහොමහරි ඉතින් දවසක් හිතපු නැති වෙලාවක මට දහම් පාසලේ නාට්‍යයක මම හීන මවපු හේවායකුගෙ චරිතයක් කරන්න අවස්ථාව උදාවුණා එකතු කරපු රතු රෙදි පටි මාල කරාබු කෑලිත් ප්‍රයෝජනයට අරගෙන. එතනින් පස්සෙ මුතුහර ළමා සමාජයට බැඳුණා. ඒ හරහා අපේ දක්‍ෂතා පෙන්වමින් වැඩිපුර නාට්‍යවල පෙනී සිටින්නට අවස්ථාව උදාවුණාට පස්සෙ මිනිස්සුන්ගෙ ආදරය අවධානය වැඩි වශයෙන් ලැබෙනව කියන එක මට හොඳින් තේරුණා.
අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් ගෙදරින් මාව කැස්බෑව කනිෂ්ඨ විද්‍යාලයේ හෝඩියේ පංතියට ඇතුළත් කළා. මූලික අධ්‍යාපනයට පස්සෙ කොළමුන්න සර් ජෝන් විදුහලට ඇතුළත් වෙලා සාමාන්‍ය පෙළ පංතිය දක්වා එහි අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ හදාරන්න පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට තමයි ගියේ. එතෙන්දි තමයි මම දැනගත්තෙ උසස් පෙළ විෂය නිර්දේශයට නාට්‍ය හා රංග කලාව කියල විෂයක් තියෙන බව. චිත්‍ර, නැටුම්, සංගීතය කියල විෂයන් තුනක් තියෙනව කියල දැනගෙන හිටියට පාසල්වල නාට්‍ය හා රංග කලාව උගන්වනව කියල දැනගත්තම පුදුමයක් වගේම ආසාවකුත් ඇති වුණා. පස්සෙ මම ප්‍රේමකුමාර කරුණාරත්න ගුරුතුමා යටතෙ ඒ විෂය ඉගෙන ගත්තා.ඔහු ඒ විෂය සම්බන්ධයෙන් හිටපු ඉතා දක්‍ෂ ගුරුවරයෙක්. පාසල් කාලෙන් පස්සෙත් මම එතුමා සමග අවුරුදු පහ හයක් අලුතින් නාට්‍ය හදමින් අලුත් චරිත ගැන විවිධ අධ්‍යයනයන් කරමින් බොහෝ දේ ඉගෙන ගත්තා. ඇත්තටම අපි ඒ කාලෙ නාට්‍ය කණ්ඩායමක් විදියට එකතුවෙලා අපි අපිම කරන චරිත ගැන විවේචන ඉදිරිපත් කරමින් වැරදි නිවැරදි කරගනිමින් ගොඩනැගෙන්න උත්සාහ කළා.
උසස් පෙළින් පස්සෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා චිත්‍ර මූර්ති අංශයෙන් ඩිග්‍රි එක ගත්තා. චිත්‍ර අංශයෙන් උපාධිය හිමිකරගත්ත මට චිත්‍ර ගුරුවරයෙක් විදියට පත්වීමකුත් හිමිවුණා. නමුත් ඒ වෙද්දි මම ලොකු රංගන පිපාසයකින් හිටියා කිව්වොත් හරි. නළු උණ එහෙමත් නැත්නම් ගාය ඉහවහා ගිහින් තිබුණ ඒ කාලෙ තමයි බන්දුල විතානගේ මහත්මයගෙ රෝමය ගිනිගනී කියන වේදිකා නාට්‍යයේ සහය වේදිකා පරිපාලකයෙක් විදියට නලින් මාපිටිගම මහත්මය මාව සම්බන්ධ කරගත්තෙ. මගේ මතකයේ හැටියට ඒ 1996 අවුරුද්දෙ. එතන ඉඳලා කේ. බී. හේරත් මහත්මයගෙ දෝන කතිරිනා නාට්‍යයෙන් පසුව බිහිවූ හැම නාට්‍යයකමත් ජයලත් මනෝරත්න, චාමික හත්ලහවත්ත, පූජිත ද මෙල්, රාජිත දිසානායක, නීල් අලස්, සරත් කොතලාවල වැනි නාට්‍යකරුවන්ගෙ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවීම මගේ ජීවිතේට ලැබුණ හොඳම අත්දැකීම් විදියට තමයි මම සලකන්නෙ.
ඒ කාලෙ වැඩි වශයෙන් වේදිකාවෙ ගැවසුන චරිතයක් හැටියට පුංචි තිරයට පය තියන්නත් මට අවස්ථාව උදාවෙනවා. ඒ විමලරත්න අධිකාරි මහත්මය අධ්‍යක්‍ෂණය කළ ඉංගම්මාරුව ටෙලි වෘත්තාන්තය හරහා. වසර දෙකක් පුරා විවිධ අත්දැකීම් ලබමින් ශ්‍රියානි අමරසේන, එච්. ඒ. පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි ප්‍රවීනයන් සමග උරෙන් උර ගැටෙමින් චරිතයක් නිරූපනය කරන අතරතුර රූපවාහිනි මාධ්‍යය හොඳින් ග්‍රහණය කර ගනිමින් විෂය තේරුම් ගන්න හොඳ තෝතැන්නක් වුණා ඉංගම්මාරුව.නාලන් මෙන්ඩිස් කියන්නෙ වේදිකා නාට්‍ය බලන්න එන ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ පතාක යෝධයෙක්. අපි හරි ආසයි එතුමා අපි ඉන්න නාට්‍යයක් බලන්න එනවනම්. හේතුව වේදිකාවෙ හොඳ විසේ තියෙන එකෙක් දැක්කොත් එතුමා කොහොමහරි ඔහුගෙ නාට්‍යයකට සම්බන්ධ කරගන්නවා. අන්න ඒ විදියට තමයි මට සත්පුර වැසියෝ ටෙලිනාට්‍යයේ වීදි නාට්‍ය කණ්ඩායමක සාමාජිකයෙක් විදියට එතුමා අවස්ථාව ලබාදුන්නෙ.ඒ රඟපෑම් වලින් පස්සෙ ටෙලිනාට්‍ය හරහා එකිනෙකට වෙනස් ප්‍රේක්‍ෂකයන්ට බොහෝ සෙයින් සමීප චරිත නිරූපනයට අවස්ථාව උදාවෙනවා.
ටෙලිනාට්‍ය ජීවිතය ගැන කතාකරද්දි ඉතින් ඊට පස්සෙ ටෙලිනාට්‍යය ගැන කතානොකරම බැහැ. ඒක කොල්ල කාලෙ ඇබ්බැහිවෙලා කියවපු චිත්‍ර කතාවක්. නාට්‍යයේ කොටස් 50ක් විතර ගියාට පස්සෙ තමයි බලදේව කියන මගේ චරිතය එන්නෙ. විශේෂය තමයි ඒක එදා චිත්‍ර කතාවේ නොතිබුණ චරිතයක් වීම. එහෙම වුණත් ඒ චරිතයට ඉහළ ප්රේක්ෂක ප්‍රතිචාර හිමි වුණා.රංගන ශිල්පියකුට ශිල්පිනියකට තම තමන් නියැලෙන මේ කලාව තුළ ලබන්න පුළුවන් ඉහළම සම්මානය ජනතා සම්මානයයි. අද දවස වනවිට දෙවැනි ඉනිමේ ආනන්ද ලෙස අති ප්‍රබල අයුරින් ඒ සම්මානයෙන් පිදුම් ලබන ඔහු ගැන වෙනස් කෝණවලින් බලන අයත් මේ සමාජයේ ඉන්නවා. දැන් ඒක දෙවෙනි ඉනිම නෙමෙයි හයවැනි ඉනිම. ධර්මප්‍රිය වැනි ශිල්පියෙක් දීර්ඝ නාට්‍යයකට සම්බන්ධ වීම අපරාධයක් යනුවෙන් ප්‍රේක්‍ෂක ජනතාව දරණ විවිධ වූ මත ඔහු බාරගන්නෙ කොහොමද කියලත් මේ කතාබහේදි අපි ආදරණීය ධර්මප්‍රියගෙන් අහල බැලුවා.
ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒත් මට කියන්න තියෙන්නෙ බලන කෝණය වෙනස් නොවන තාක්කල් දකින රූපය දෝෂ සහිතයි කියන එක. මට තියෙන හිතවත්කමට ලෙන්ගතුකමට ඒ ආදරණීයයන් එවැනි මත දරනව ඇති. ඒත් මේක ව්‍යාපාරයක් විදියට තමයි චැනල්වලින් බලන්නෙ. මොකද ඔවුන්ට කිසිම ටෙලිනාට්‍යයක් කලා කෘතියක් විදියට බැලුව කියල වැඩක් වෙන්නෙ නෑ. ඔවුන්ට යහපතක් වෙන්නෙ ඔවුන්ගෙ විවර්ස්ල වැඩිවුණ තරමට. දිගින් දිගට විකාශය වෙන මෙවැනි නිර්මාණවල ගුණාත්මක බව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් දෙවැනි ඉනිම අවුරුදු 6 ක් පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත්වෙමින් ඉහළ ප්‍රතිචාර ලබන නිර්මාණයක්.කලාත්මක සහ වාණිජ කියන්නෙ දෙකක්නෙ. ඒ අතරේ දෙවැනි ඉනිම හුදු ජනප්‍රිය කතාවක්. එවැනි දේත් මිනිස්සුන්ට අවශ්‍යයි. ඒ අතින් බලන කොට මේ නාට්‍යය බොහොම හොඳින් කෙරුණු නිර්මාණයක්.
ඒ හරහා මට දවසින් දවස බොහෝ දෙනාගේ ආදරය වැඩි වැඩියෙන් ලැබෙන්න පටන්ගත්තා. ඒ විදියට උදාවෙලා තියෙන්නෙ රංගන ශිල්පියෙක් විදියට මම බොහොම කැමති තත්ත්වයක්.කෙනෙක් හිතනවනම් දෙවැනි ඉනිමෙ ආනන්ද වුණාට පස්සෙ මට ආයෙ චරිතයක් කරන්න බෑ කියල ඒක මෝඩ අදහසක්. සමහර චැනල් වලිනුත් ඔය ගොංකම කරනව. මොකක් හරි ජනප්‍රිය නාට්‍යයක නළුවෙක් නිළියක් ඉන්නවනම් මෝඩ ලොක්කො ඒ අයව ඊළඟ එකට ගන්නෙ නෑ. ඒක මම දකින්නෙ සැඟවිච්ච මෝඩකමක් හෝ කුහකකමක් විදියට. එහෙම නැත්නම් කාගෙ හරි ලණුවක් කාල. ඔය වගේ ගොං පාට් ඉතින් අපේ මේ ඉන්ඩස්ටි්‍ර එකේ තියෙනව. මොනව කරන්නද?සිනමාවට මගේ තියෙන සම්බන්ධය ගැන කියනවනම් මම සිනමාපට අතලොස්සකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නෙ. ඉදිරියේදී කිහිපයක් විකාශය වීමටත් තියෙනවා. ඒ අතර මචං චිත්‍රපටය තමයි මගේ ජීවිතේ මාව අනිත් පැත්ත හරවපු චිත්‍රපටය. නැවත එවැනි රංගන අවස්ථාවක් හමුවෙයි කියල හිතන්න අමාරුයි.
ඒත් හමුවෙනවනම් මම හරිම කැමතියි. මොකද ඕනම ශිල්පියකුගෙ වගේම ශිල්පිනියක් තුළ අතෘප්තිමත් බව තියන එක තියෙනවාමයි. ලොකු තෘප්තියකින් චරිතයක් නිරූපණය කරල ඉවර වුණාට පස්සෙ ඒ ගැන ඉබේම හිත්වල අතෘප්තිය උපදිනවා. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒකට තමයි රංගන පිපාසය කියන්නෙ. මා තුළත් ඒ පිපාසය නෑ කිව්වොත් ඒක බොරුවක්.ගෙදර දොර ජීවිතේ ගැන කතා කරනවනම් මගේ දයාබර බිරිඳ අනෝජා, රංගන ශිල්පියෙක් විදියට මේ දුර යන්න මට අවස්ථාව උදාකරල තියෙන්නෙ ඇය. එදිනෙදා ජීවිතේ මගෙන් වෙන්න ඕන යුතුකම් කොටසින් මාව නිදහස් කරමින් ස්වර්ණ රාවණ ඩයස්, ප්‍රවර භාෂණ ඩයස් කියන අපේ ආදරණීය පුතුන් දෙදෙනා වගේම මම වගේ එකෙක් බලාගන්න එක අමාරු ජොබ් එකක්. වැටුපක් නැති වුණත් ඇය ඒ ජොබ් එක නිවැරදිව කිරීම තමයි මට තියෙන ලොකුම සැනසීම.
ධම්මික හේවාවසම්