වත්සලා දියලගොඩ කියන්නෙ කාලයක් පුංචි තිරයට නැතිවම බැරි වුණු දඟකාර චරිතයක්. මෑතක නම් ඇයගේ රංගනය අපිට දකින්න ලැබුණේ නැහැ. නමුත් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය නම් අඩුවක් නැහැ. මේ කාලේ මොකද වෙන්නේ, මොනවද කරන්නේ, 2023 දී වත් රංගනයෙන් නැවත දකින්න ලැබෙයිද? එකී මෙකී නොකී කතා බොහොමයක් දැන ගන්න අපි වත්සලාට කතා කළා.
වත්සලා මොකද වෙන්නේ
මේ දවස්වල කියන්න තරම් ලොකු වැඩක් නම් නැහැ. මෑතකදී ටෙලි නාට්‍යය මුකුත් කරෙත් නැහැ. සාමාන්‍ය විදියට ජිවිතේ ගත වෙනවා. ඒ අතරතුර ලැබෙන රූපවාහිනී වැඩසටහන්වලට යනවා.
අදහසක් නැද්ද නැවත මේ කාලේ නිර්මාණයක් කරන්න?
ඇත්තටම දැන් නම් ආසාවක් තියෙනවා ආපහු රඟපාන්න එන්න. මම අවුරුදු හතරකින් රඟපාලා නැහැ. ඒ නිසා අවුරුද්දකට එක නාට්‍යකවත් රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා.
ඒත් තවම ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය නම් අඩුවක් නැහැ නේද?
ඒක තමයි තියෙන විශේෂත්වය. මම ගොඩක් නාට්‍යය රඟපෑවේ නැති වුණත් මිනිසුන්ට මගේ නම කිව්ව ගමන් මතකයට එන චරිතයක් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන නම් මට ලොකු සතුටක් තියෙනවා. ඒ හදා ගත්ත නම තමයි අපිට කවදා හරි වටින්නේ. මම නිර්මාණ ගොඩක් කරලා නැහැ. නමුත් ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් චරිත මම කරලා තියෙනවා. ඒ නිසා තමා ප්‍රේක්ෂකයන් තවම මට ආදරේ.
වත්සලා එක්ක මේ ක්ෂේත්‍රයට ආව අය අද ඉන්න තැන එක්ක බලද්දී, කාලයක් නිහඬවෙන්න වීම ගැන කනගාටුවක් තියෙනවද?
එහෙම දුකක්, කනගාටුවක් නැහැ. මම ජීවිතේ හැමදේම සමබරව කරගෙන ආව කෙනෙක්. මගෙත් එක්ක ඒ කාලේ ආව අය අද වෙද්දී ජනප්‍රිය වෙලා තියෙනවා. හැබැයි මට තියෙන්නේ හරි හිමින් ගිය ගමනක්. සමහර කාලවලදී පෞද්ගලික ජීවිතේට මුල් තැන දීලා මගේ ගමන පොඩ්ඩක් නතර කරන්න වුණා. හැමදේම පරිස්සමෙන් කරගෙන යන්න ඕනේ නිසා මාව එක රැල්ලට දකින්න නැහැ.
පෞද්ගලික ජීවිතේ ගැන ගත්තොත් දුවට දැන් වයස කීයද?
දැන් අවුරුදු 9ක් වෙනවා. නම හිතෛෂී වෙනායා ගුණසිංහ.
දුවත් කලාවට හැකියාවන් පෙන්නුම් කරනවද?
එයා ඉගෙන ගන්න දක්ෂයි. ඒ වගේම කලාව කියන දේ එයාට උපතින්ම ලැබිලා තියෙනවා. ඒ හැමදේම එයාගේ තාත්තාගෙන් සහ මගෙන් ලැබෙන්න ඇති. ඒ නිසා ලස්සනට සින්දු කියන්න, නටන්න වගේම චිත්‍ර වලටත් දක්ෂයි. ඒ දක්ෂතා මම දකිනවා. හරි සතුටින් ඒ දේවල් බලාගෙන ඉන්නවා.
ඔබ කැමතිද දුවත් කලාවට සම්බන්ධ වෙනවට?
ඒක මෙහෙමයි? මම මගේ රංගන වෘත්තීයට හරි ආසයි සහ ආදරෙයි. මේ වෘත්තීය ලේසියෙන් කාටවත් කරන්න බැරි වෘත්තියක්. ඒ නිසා මම කැමැතියි එයා හොඳට ඉගෙන ගෙන යම් වෘත්තියක් කරන ගමන් කලාවට සම්බන්ධ වෙනවා නම්.
වත්සලාට සිනමාවෙන් නිසි ඉඩක් ලැබුණේ නැහැ නේද?
සිනමාවට නම් මට ඇත්තටම හරිම අඩුවෙන් තමයි ආරාධනා ලැබුණේ. ආරාධනා ලැබුණු කාලෙත් මට ඒවාට දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණෙත් නැහැ. ඇත්තම කිව්වොත් සිනමාව මඟ හැරුණා. ඉදිරියේදී නම් මට හිතෙනවා ලැබෙන ආරාධනා එක්ක වැඩ කරගෙන ඉන්න පුළුවන් කියලා.
වත්සලා ආවෙත් මෙගා නාට්‍යය කලාව එක්ක, දැන් තියෙන මෙගා නාට්‍යයකට ආරාධනා ලැබුණොත් බාර ගන්නවද?
මෙගා කියන්නේ කොටස් 100 නාට්‍යයවලින් ප්‍රේක්ෂකයන් අතරට ගිය කෙනෙක්. නමුත් දැන් මෙගා කියලා ඒ ඒ වෙලාවට ලියලා දෙන පිළිවෙළක් නැති මෙගා නාට්‍යය කරන්න නම් මම කොහොමත් කැමති නැහැ. මම කරපු මෙගා නාට්‍යය හරි පිළිවෙළට මුල මැද අග තියෙන නිර්මාණ.
මේ කාලේ ඉන්න අධ්‍යක්ෂකවරු අතරේ වැඩ කරන්න කැමති අය ඉන්නවද?
මම වැඩ කරන්න ආස අධ්‍යක්ෂවරු නම් ගොඩක් ඉන්නවා. මොකද මම මෙතෙක් වැඩ කරලා තියෙන්නේ සීමිත අධ්‍යක්ෂකවරු ප්‍රමාණයක් යටතේ. දැන් අලුත් දක්ෂ අයත් ඉන්නවා. බලමු ඉතින් ලැබෙන ආරාධනා අනුව ඉදිරියේදී වැඩ කරන්න.
වත්සලා ආපු කාලයට වඩා අද ගොඩක් අය මේ ක්ෂේත්‍රයට ඇවිත්, ඒ අයව කොහොමද දකින්නේ
අපි ආව කාලේ මේ තරම් සමාජ මාධ්‍යය ප්‍රබල වෙලා තිබ්බේ නැහැ. නමුත් අද ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් තමන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ රංගනය කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි කියලා. තාක්ෂණය කියන දේත් හොඳ විදියට ගත්තොත් තමන්ගේ දක්ෂතාවන් පෙන්නලා එතැනින් එහාට දෙයක් කරන්න පුළුවන් නම් සෝෂල් මීඩියා හෝ ටික්ටොක්වලින් වුණත් තමන්ගේ ගමන හදාගන්නයි ඕනේ. ඕනෙම කෙනෙක්ට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ජනප්‍රිය වෙන්නයි අමාරු. අද ඉන්න ගොඩක් අය නාට්‍යය විකාශය වෙන කාලේ විතරයි ජනප්‍රිය. එතනින් එහාට ඒ අයව කවුරුවත් දන්නේ නැහැ. කරන නිර්මාණ සංඛාව නෙවෙයි වැදගත්. එක නිර්මාණයක් හෝ දෙකක් හරි හොඳින් කරලා තමන්ගේ නමින් මතක හිටින දෙයක් කරන්නයි ඕනේ.
වත්සලා හැමදාම එක වගේ ලස්සනයි, මොකක් ද රහස
ඒ ගැන නම් හැමෝම කියනවා. ඒක හැබැයි ආවට ගියාට නිකම්ම ලැබෙන දෙයක් නෙවෙයි. මම හැමදාම මං වෙනුවෙන් ගොඩක් කැපවෙනවා. මාත් ආසයි හැමදාම ලස්සනට ඉන්න. ව්‍යායාම කරනවා. කෑම බීම වුණත් පාලනයක් ඇතුවයි ගන්නේ. විටමින් ගන්නවා. හැම මොහොතකම පිරිසිදුව පිළිවෙළට ලස්සනට ඉන්න උත්සාහ කරනවා.
කොහොමද මහත්තයාගෙන් ලැබෙන සහයෝගය, නැවත රංගනයට එකතු වෙනවට ඔහු කැමති ද?
මගේ සැමියා ප්‍රසංගක් මේ ක්ෂේත්‍රයේම ප්‍රවීණයෙක්. ඔහුගේ විරුද්ධත්වයක් නැහැ. මම පෞද්ගලික ජිවිතේ වෙනුවෙන් අවශ්‍යම කාලේ අවශ්‍යම දේවල්වලට කැපකිරීම් කරලා ඒ වෙනුවෙන් මුල් තැන දීලා වැඩ කරලා තියෙන නිසා. කොහොම වුණත් මම රංගන ජීවිතයයි පවුල් ජීවිතයයි සමබරව ගෙනියන්න උපරිම උත්සාහ කරනවා.