කාලයත් එක්ක අපේ ජිවිතේ ගොඩක් දෙවල් වෙනස් වෙනවා - විශ්ව කොඩිකාරගේ ආදරණීය බිරිය එරන්දි කියයි

 



විශ්ව කොඩිකාර කියන්නෙ රසික ආදරය ඉහළින්ම හිමි අපූරු රංගන ශිල්පියෙකි. බාල, තරුණ, මහලු මේ කවුරුත් වයස් භේදයකින් තොරවම ඔහුට පෙම් බඳී. නමුත් ඔහුගේ ආදරය හිමිවූයේ ඇයට පමණකි. ආදරණීය සැමියෙක්, පියෙක් ලෙසින් විශ්ව තැනූ ප්‍රේමණීය කැදැල්ලේ අග මෙහෙසිය එරන්දි. ඇය සෙනෙහෙබර සැමියා පිළිබඳ කතාබහට මෙලෙස සිය හඬ අවදි කළාය.


එරන්දි කොහොමද මේ දවස්වල ජීවිතේ?


"මේ දවස්වල නම් ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නෙ. දැන් දරුවෝ දෙන්නම පාසල් යනවා. ඉතින් එයාලගේ වැඩ කටයුතු සියල්ලම හොයලා බලලා කරන්න ඕනේ. ඊට අමතරව මම පුංචි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. එහි වැඩ කටයුතු වාගේම විශ්වගේ වැඩ, නිවෙසේ වැඩ මේ හැමදේම සමබරව පවත්වාගෙන යනවා."


 ඒ කියන්නෙ විශ්වගෙන් කිසිම උදවුවක් නැතිද?


"අනේ එහෙම නෑ. එයා ගෙදර ඉන්නවා නම් හැමදේම හොයලා බලලා කරනවා. මාත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. එයා ගෙදර ඉන්නවා නම් දෙන්නත් එක්කම තමයි දරුවෝ පාසල් ගෙනියන්නෙ, ගේන්නෙ. මගේ ව්‍යාපාරයේ වැඩ කටයුතුවලටත් මාත් එක්ක යනවා එනවා."


 විශ්වට උයන්න පුළුවනිද?


"එයාට රසට කෑම හදන්න පුළුවන්. කුකුළු මස් කරිය එහෙම රසටම හදනවා. එයාටම ආවේණික ක්‍රමයකට. ඒ වාගේම ටිකක් සැරට උයනවා.


 දුව නම් එයාගේ කෑමවලට හරිම කැමැතියි. හැබැයි මම නම් එයා කුස්සියට එනවාට වැඩියේ කැමැති නෑ. මොකද මම සතියකට ප්ලෑන් කරලා ගෙනෙන බඩු ටික එයා දවසින් දෙකෙන් ඉවර කරන නිසා."


 ඔයාගේ මහත්තයා කන්න කැමැතිම කෑම ගැන කිවුවොත්....


"එයා තුන්වේලටම බත් කන්න කැමැති කෙනෙක්. ගොටුකොළ සම්බෝල, කරවල බැදුම්, මස්, පරිප්පු, පොල් සම්බෝල, මැල්ලුම් වර්ග, කිරි කොස් මේ වාගේ දේවල් ගළපලා කන්න හරිම කැමැතියි. ගමේ කෑමබීමවලට වාගේම කැඳ වර්ග, සුප් ආදියටත් විශ්ව කැමැතියි. හැබැයි කවදාකවත් අරවා මේවා හදන්න කියන්නෙ නෑ. තියෙන දෙයක් කනවා."


 ඒ කියන්නෙ පිටතට ගිහින් ආහාර ගන්නෙ නැද්ද?


 "විශ්වට වඩා ඒ කටයුත්තට කැමැති මම තමයි. විවිධ කෑම වර්ග රස බලන්න මම ආසයි. ඒවාගේ තැන් හොයන්නෙත් මම තමයි. අපරාදේ කියන්න බෑ දුවත් මේ වැඩේට මට හරියට සපෝට් කරනවා. අපි ඉතින් කල් තියා එහෙම තැන් හොයලා ප්ලෑන් කරහම විශ්ව අනිවාර්යයෙන් අපිව එක්කගෙන යනවා."


 

විශ්ව ඇඳුම් පැලඳුම් ගැන උනන්දුවක් දක්වනවාද?


"සාමාන්‍යයෙන් විශ්ව හැම තිස්සෙම උත්සාහ කරන්නෙ තැනට ගැළපෙන්න අඳින්නයි. ඉස්සර එයා ඇන්දෙ ඒකාකාරී විදිහට. දැන් එහෙම නෑ. එයාගේ ප්‍රතිරූපයට හානි නොවෙන්න ලස්සනට අඳිනවා. අපි දෙන්නම එකතු වෙලා තමයි ඇඳුම් තෝරන්නෙ. ෂර්ට්, ටී ෂර්ට්, සරම්, ඩෙනිම් මේ ඕනෑම විලාසිතාවක් එයාට ගැළපෙනවා."


 කොහොමද එයාගේ ගතිගුණ?


 "විශ්ව කියන්නෙ හරිම හොඳ කෙනෙක්. හරිම ආදරණීයයි. මම ගැන දරුවෝ ගැන හැම තිස්සෙම හොයා බලනවා. එයාගේ නෑයෝ, යාළුවෝ වාගේම මගේ නෑදෑයෝ හිත මිතුරෝ මේ කාත් එක්කත් හරිම සුහදව කටයුතු කරනවා."


 ඒ කියන්නෙ මහත්තයාගෙ කිසිම වැරැද්දක් අඩුපාඩුවක් නෑ කියන එකද?


 අම්මෝ.... එහෙම කියන්න බෑ. විශ්ව කියන්නෙත් සාමාන්‍ය පුද්ගලයෙක්නෙ. එයාගෙත් අඩුපාඩු තියෙනවා. එයාට ක්ෂණිකව කේන්ති යනවා. හැබැයි මොහොතකින් ඒ කේන්තිය ඉවරයි. අපි හැමෝගෙම පවුල් ජීවිත ඇතුළේ පුංචි පුංචි මතගැටුම්, නොගැළපීම්, පරස්පර අදහස් නැතුවාම නෙවෙයිනේ. ඉතින් ඒවා ගළපගෙන එකට යන ගමනක්නේ මේ විවාහය කියන්නෙම."


 දැන් ඔයාලගේ විවාහ ජීවිතයට අවුරුදු 09ක්. ගෙවුණු කාලවකවානුව ගැන මොකද හිතෙන්නේ?


 "අවුරුදු 09ක් ගත වුණා කියලා දැනුනෙවත් නෑ. විවාහයට කලින් අපි අවුරුදු දෙකක් ආදරය කළා. මේ විවාහ ජීවිතය තුළ දුක, සැප, සතුට හැමදේම තියෙනවා. මුලදි වාගේ නෙමෙයි දැන් අපි මේ ජීවිතය තුළ පරිණතයි. ඉතින් එකිනෙකා පිළිබඳ හොඳ අවබෝධයක්, තේරුම් ගැනීමක් තියෙනවා. කාලයත් එක්ක තමයි මේ තේරුම් ගැනීම සිදු වුණේ. ගැටලුවක් ආවත් දෙන්නත් එක්ක කතා කරලා විසඳනවා. දරුවන්ගේ අනාගතය වාගේම අපි දෙන්නගේ ඉදිරි වැඩ කටයුතු එකතු වෙලා සැලසුම් කරනවා. ඒවා සාර්ථක කරගන්නත් මහන්සි වෙනවා."


 

 චම්පා වරුසප්පෙරුම





Previous Post Next Post