මාව හෑල්ලු වෙන චරිත භාර ගන්නේ නෑ - භූමි හරේන්ද්‍ර



භූමි හරේන්ද්‍ර කියන්නේ සමාජය තුළ වඩාත් කතාබහට ලක් වුණු චරිතයක්. ඒ නිසාම භූමි ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. කාලෙන් කාලෙට විවිධ වූ මාතෘකා ඔස්සේ ජනතාවගේ ආදරය ලබන භූමීගේ ජීවිතේ විශේෂිතම වූ දින කිහිපයක් මේ ගතවෙන්නේ. භුමිගේ රංගනය ඇතුළත් ගීතමය වීඩියෝවක් මේ දිනවල අතිශය ජනප්‍රිය වී තිබෙනවා. ඒ අභිෂේකා විමලවීර ගයන ‘තවම පණ තියෙනවා’ ගීතයේ රූප රචනාව.


‘කිරි වරම් නෑ නේද අහනවා

කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා

මුගුරක් අරන් ඇනපන් තදින්

භුමියට තාම පණ තියෙනවා’


මෙහි එන පද පෙළ සහ එයටම අනුරූපිව ගොඩ නැගුණු රූප පෙළ ගීතයේ ජීවයට හරි අපූරු පණක් ලබා දී තිබෙනවා. ඒ නිසාම ‘පිනිපලස’ මේ සොඳුරු වූ කතාබහ භුමි සමග…


කොහොමද භුමිට මේ සඳහා ඇරයුම ලැබෙන්නේ…


මීට අවුරුදු එකහාමාරකට විතර කලින් චැනල් එකක ගිය මගේ ඉන්ටව් එකක් දැකලා අභිෂේකා අක්කා මට සින්දුවක් ලියලා තිබ්බා. ඒක මම දැනන් හිටියේ නැහැ. එක දවසක් රෑ 8.30 -9.00 අතර අභිෂේකා අක්කාගෙන් මට කෝල් එකක් ආවා. නංගි මම අභිෂේකා විමලවීර කිව්වම මම එක පාරටම ගැස්සුණා. මොකද මම බලාපොරොත්තු වුණේ නැහැනේ. කතා කරලා කිව්වා මම ඔයාට සින්දුවක් ලිව්වා කමක් නැද්ද කියලා. ඒ කියලා සින්දුවේ පළමුවැනි පද පේලි හතර මට කිව්වා.


‘ආදරේ හිතෙනවද අහනවා

ඔව් මටත් ආදරේ හිතෙනවා

හාදු මට දැනෙනවද අහනවා

ඔව් මමත් උණුහුමක් හොයනවා’


මට ඇත්තටම ආස හිතුණා. මම කිව්වා ගොඩක් ස්තුතියි අක්කේ කියලා. එතකොට එයා කිව්වා මට මම මේකෙන් සින්දුවක් කරනවා කියලා. අභි අක්කා මගේ තියෙන පෞරුෂයට කැමතියි. මම එයාට ආදරේට කියන්නේ අභී කියලා. ඔහොම තමයි මුල පුරන්නේ. හැබැයි කීපවතාවක්ම මියුසික් වීඩියෝ එකක් කරන්න අක්කා උත්සාහ කළත් ගැළපෙන ප්ලොට් එකක් නැති නිසා කල් ගියා. කොහොම හරි අවුරුදු එකහාමාරක් වගේ කාලයක් ගිහින් මේකට ගැළපෙන ස්ක්‍රිප්ට් එකක් කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් නිර්මාණය කරලා තිබ්බා.



ඔබේ පෙම්වතා ලෙස රංගනයෙන් දායක වුණේ අශාන් ඩයස්?


අශාන් කියන්නේ මගේ ලොකු ක්‍රෂ් එකක්. ඔහු එක්ක රඟපාන්න ලැබුණාම මගේ බඩේ සමනල්ලුත් පියෑඹුවා. මම මගේ ජීවිතේ දැකපු නිහතමානීම නළුවන්ගෙන් එක්කෙනෙක්. මම මීට කලින් ජෙහාන් අප්පුහාමි සහ දසුන් පතිරණ එක්ක වැඩ කරලා තියෙනවා. ඒ දෙන්නත් දක්ෂ නළුවන් දෙන්නෙක්. ඒ දෙන්නා විතරයි මට රඟපාන්න ලැබිලා තියෙන්නේ. අද වෙනකොට ජෙහාන් සහ දසුන් කියන්නේ හදවතේ කොටස් වගේ. ඒ තරම් අපි සමීපයි. අශාන්ව ජීවිතේට දැක්කෙත් පළමු වතාවට. මොකද මම අශාන්ගේ නමින් හඳුනාගෙන තිබ්බේ නැහැ. මම ගොඩක් නළු නිළියන්ව නමින් දන්නේ නැහැ.


ඉතින් වැඩ කරද්දී මට මාර සතුටක් දැනුණා. මම ලොකුවට රඟපාලා අත්දැකීම් නැහැ. කසුන් හීනටිගල මට කලින් පිටපත එවලා තිබ්බා. මම කියෙව්වම මට ආස හිතුණා. ඒත් මම කල්පනා කළා කොහොමද අඬන දොඩන ඒවා රඟපාන්නේ කියලා. සයපෙති කුසුම සහ මෑතක කරපු කෙටි චිත්‍රපටයක් ඇරෙන්න කවුරුත් මට එහෙම වැඩක් කරන්න පුළුවන් පිටපතකට කතා කරලා තිබ්බේ නැහැ.


ඒ නිසා මම කල්පනා කළා මම කොහොමද කරන්නේ කියලා. හැබැයි අශාන්ගෙන් මට ලැබුණු සහයෝගය මට වචනවලින් කියලා විස්තර කරන්න බැහැ. හරිම නිහතමානී, වැඩ කරන්න පහසු කෙනෙක්. එක පැත්තකින් මම ආඩම්බර වෙනවා සහ සතුටු වෙනවා එකක් මගේ ක්‍රෂ් එක. අනිත් අතට හරිම නිහතමානී සුපර් ටැලන්ටඩ් නළුවෙක් වීම. එක දවසින් අපි මේක ෂූට් කළා. ඒ තිබ්බ Dedication එක emotional support එක ගැන කියන්න වචන නැහැ. මේකේ එක කෑල්ලක් තියෙනවා අර මනුස්සයගේ ඔළුව වැදිලා වැටෙන කෑල්ල. ඒක අපි කිහිපවතාවක්ම ෂූට් කළා. මට මතකයි අශාන් ඒ පුද්ගලයාට පුංචි පුංචි ටෙක්නික් වගයක් කියලා දීලා මම මෙහෙම තල්ලු කරන්නම් කියලා කියනවා. ඒ වෙලාවේ තිබ්බ මොරාල් එකට හත් අට වතාවක් වැටුණට පහුවදා තමයි අතපය අමාරුව තේරුණේ.



භුමිට පෞද්ගලිවක ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මම මානව හිමිකම් ක්ෂේත්‍රයට ඇවිත් මේ දෙසැම්බර් පළමුවැනිදට අවුරුදු 12ක් වෙනවා. මේ ඊයේ පෙරේදා කල්පනා කරපු දෙයක් තමයි කතාබහට ලක්වීම මගේ ජීවිතේ පීක් එකක් එනවා මිසක් කවදාවත් ඩවුන් එකක් වෙලා නැහැ. ඒ ගැන කතාබහ යටපත් වේගෙන යද්දී තව මොකක් හරි එකක් මගේ ජීවිතේට එනවා. ඒ වගේ මගේ ජීවිතේ බ්ලාස්ට් කීපයක් තියෙනවා. එකක් Frangipani (සයපෙති කුසුම) චිත්‍රපටයේ රඟපාපු එක. අනිත් එක මට සම්මාන ලැබීම. ළමයි වෙනුවෙන් වැඩ කරන්න පටන් ගැනීම. ඒ එක එක දේවල් එක්ක ලැබුණු දේවල් එක්ක මෙගා බ්ලාස්ට් එක තමයි මේ සින්දුව. මම හිතුවේ නැහැ මෙච්චර ලොකු ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.


භුමිට රංගනයට යළි ඇරයුමක් ලැබුණොත් ඒ චරිතය භාර ගන්න ඕනෙම වෙලාවක සූදානම්ද?


මට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙන නිර්මාණයකට දායකත්වයක් දෙන්න මම ඇත්තටම අකමැත්තක් නැහැ. මට රංගන අවස්ථාවන් කිහිපයක්ම ආවා. ඒවා ඔක්කොම නිකම් මාව හෑල්ලුවට ලක්වෙන විකට චරිත. ඒ නිසා ඒවා බාර ගත්තේ නැහැ. මම යම් කිසි ප්‍රතිපත්තියක යම් අරමුණක ගමන් කරන කෙනෙක්. මම යම් කිසි ප්‍රජාවකගේ අභිමානය වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. ඉතින් එහෙම වැඩ කරන මම මගේ ප්‍රජාවම හාස්‍යයකට ලක් කරනවා කියන්නේ ඒක මම මට කරන අසාධාරණයක්. ඒ නිසා ඒ හැමදේම ප්‍රතික්ෂේප කළා.


මේ කාලයේ මොන වගේ දේවල් එක්කද කාර්යබහුල වෙලා ඉන්නේ?


මම ව්‍යාපාර කීපයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන කැපිටල් එක හොයාගන්න බැරුව ඉන්නේ. කීපදෙනෙක්ට කියලා තියෙනවා ඒ සඳහා මට උදව් කරන්න කියලා. තවම ප්‍රතිචාරයක් මට ලැබුණේ නැහැ. ඒ ව්‍යාපාර පටන් ගැනීමේ මූලික අරමුණ වෙලා තියෙන්නේ අපි නියෝජනය කරන ප්‍රජාවේ මූල්‍යමය ස්ථාවරත්වය හදන්න. අපි මොන දේ කළත් වැඩක් නැහැ කෙනෙක්ට ආදායම් මාර්ගය නැත්නම්.


සමාජයේ ඉන්න අනෙකුත් පොදු ජනතාවට වගේ නෙවෙයි ලිංගික සංක්‍රාන්තිකයන්ට රස්සාවක් හොයාගන්න එක හරිම අමාරු දෙයක්. මේ දවස්වල ගොඩක් අය අහන ලොකුම දේ තමයි රස්සාවක් හොයලා දෙන්න බැරිද කියන එක. ඒ නිසා මම හිතුවා අනිත් අයට කතා කරලා රැකියා අවස්ථාවන් උදාකරනවා වගේම මට පුළුවන් නම් රැකියා අවස්ථාවන් ලබා දෙන්න ඒක විශාල දායකත්වයක් වෙයි කියලා. එතකොට අපේ ප්‍රජාව වෙනුවෙන් මම දැන් වැඩ කරන ආයතනය එක්ක වැඩපිළිවෙළක් කරන්න සැලසුම් කරගෙන යනවා. තව දෙයක් තමයි ලිංගික සංක්‍රාන්තිකයන්ට සිදුවන හිංසනයන් අවම කරන්න ඒ වෙනුවෙන් කටයුතු කරන්න වෘත්තීය සංගමයක් පිහිටෙව්වා.


භූමිටම විශේෂ වූ ආදරයක් තියෙනවද?


නැහැ. ඇයි ඔයා මම සතුටින් ඉන්නවට කැමති නැද්ද? මට අවුරුදු පහමාරක කාලයක් තුළ මට ආදර සම්බන්ධයක් තිබුණා. බලන් ගියාම ඒක ඒකපාර්ශ්වීය ආදරයක්. මොකද මම විතරයි ආදරේ කරලා තියෙන්නේ. ඒක බොහොම සංකීර්ණ සම්බන්ධයක්. මම ඒ ගැන වැඩි විස්තර නොකියා ඉන්නම්. මොකද ඒ පුද්ගලයාගේ පුද්ගලිකත්වයට මම හානි කරන්න කැමති නැහැ. කොහේ හෝ කා එක්ක හරි සතුටින් ඉන්නවා නම් ඒ ඇති. අදටත් සීමාවක් ඇතුව කතා බහකරනවා. සමහරක් දේවල් තියෙනවා තදින් අල්ලන් ඉන්න ඉන්න අපිට රිදෙනවා වැඩියි. ඒ වගේ දේවල් අතහරින්නයි ඕනේ.


අතහැරියා කිව්වට මම හිතන්නේ නැහැ තවමත් ඒ දේවල් සම්පූර්ණයෙන්ම අතහැරලා කියලා. එදා වගේම ඒ ආදරේ ඒ විදියටම තියෙනවා. හැබැයි මට එයාව අනිවාර්‌යෙන්ම ලැබෙන්න ඕනේ, මා එක්ක ජීවත් වෙන්න ඕනේ, වගේ ලොකු බලාපොරොත්තු නැහැ. මගේ ජීවිතේ පුද්ගලික ආදරයක් හෝ සම්බන්ධයක් හෝ බිඳවැටීමක් නිසා මගේ අරමුණට යන ගමන නතර කරගන්න බැහැ. බොහොම මෑතකදී තමයි මගේ හිතින් මම එයාට යන්න දෙනවාය කියන තීරණයට ආවේ.


දැන් මම, මම කියන පුද්ගලයාට ෆෝකස් කරමින් ඉන්නවා. එහෙම කරගත්තොත් තමයි මට මගේ ඉදිරි ගමන යන්න වෙන්නේ. ආයෙත් වතාවක් බිඳෙන්න බැහැ. බොහොම අමාරුවෙන් කෑලි ටික ගම් ගාලා අලව ගත්තේ. මම වඳින දෙවියන්ගේ ආශිර්වාදය ඇතුව කෑලි ටික එකතු කරගෙන මගේ ගමන හිටියට වඩා හයියෙන් යන්න පුළුවන් වෙලා තියෙනවා. ආයේ බිඳෙයි සමහර විට. මොකද අපි දන්නේ නැහැ ආදරයක් ඇතිවෙන නැතිවෙන වෙලාවල්.


ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?


ජීවිතේ ගැන මගේ ආකල්ප කීපයක් තියෙනවා. එකක් තමයි ඕනෙම දෙයකට මිලක් තියෙනවා කියලා. ඒ නිසා අද මම ඉන්න තැන ගැන බොහොම නිහතමානීව ආඩම්බර වෙනවා. මම ආපු ගමන තුළ කවදා හරි දවසක ඉතිහාසය ගත්තම යම් යම් තැන්වල මගේ නම කියැවෙන තැන් තියෙනවා. ඒ වෙනුවෙන් මම ගොඩක් දේවල් කැපකරලා තියෙනවා.


බොහෝ දේවල් මට අහිමි වෙලා තියෙනවා. අපි නොදන්නවා වුණාට ලිංගික සංක්‍රාන්තික කාන්තාවන් විවාහ වෙලා බොහොම ලස්සන ජීවිත ගත කරනවා. මගේ ඔෆිස් එක ගත්තම මමයි තව එක්කෙනෙක් විතරයි සිංගල්. ඉස්සර මම ඒ ගැන හිතුවා. මගේ යාළුවො විවාහ වෙලා ළමයි ඉන්නවා, පාටි දානවා, විනෝද වෙනවා මට ඒ දේවල් නැහැනේ කියලා. හැබැයි ආපස්සට හැරිලා බලද්දී මම අවංකවම මේ ජීවිතේට ස්තුතිවන්ත වෙනවා. අවංකවම මගේ දෙමාපියන්ට ස්තුතිවන්ත වෙනවා. මම කවදාවත් ඔළුව ඉදිමුවා ගන්නේ නැහැ.


මොකද අපි කවුරුත් වොන්ඩර් වුමන්ලා නෙවෙයි. හැම තිස්සෙම අපි අමතක කරන්න හොඳ නැති දෙයක් තමයි අපිට පහළින් වගේම අපිට ඉහළින් තව අය ඉන්නවා කියන එක. මේ විශ්වයේ ඉන්න මම තව එක පුද්ගලයෙක් විතරයි. ඒ දේ මම හැමතිස්සෙම ඔළුවේ තියාගෙන ඉන්නවා. මගේ ජීවිතේ තව දේවල් තියෙනවා කරන්න. මම තවම කරලා තියෙන්නේ 40%ක් විතරයි. තව 60%ක් තියෙනවා මටත්.


ඒ ගමන යන්න මම මාව සූදානම් කර ගන්න ඕනේ. මේ ළඟදී දවසක මම අභීට කිව්වා මොකක් ද මේ ජීවිතේ අපි හරියට ස්පොන්ච් සහ ඉටිපන්දම් වගේ නේ කියලා. මොකද ස්පොන්ච් එක කරන්නේ අනිත් අයගේ කුණු දූවිලි අයින් කරන එක,එතකොට ඉටිපන්දම කරන්නේ තමන්ව පුච්චගෙන අනිත් අයට ආලෝකය දෙන එකනේ කියලා. එතකොට අභී කිව්වේ ඒක හොඳයිනේ, අනිත් අය වගේ සාමාන්‍ය ජීවිතයක් ගතකරා නම් බෝරිංනේ නංගි කියලා.


අනූෂා රණසිංහ





Previous Post Next Post