නිමි චිත්‍රපට‍ෙය් රිචඩ් හාමු වෙනස්ම චරිතයක් - රොෂාන් රණවන




සිනමාවෙන් ඔබ අප හදවත් ආමන්ත්‍රණය කළ අහිංසක ප්‍රේමවන්තයා රොෂාන් රණවනගේ අලුත්ම චිත්‍රපටය නිමි මේ දිනවල තිරගත ‍ෙවනවා. කලකට පසුව තිරගතවන චිත්‍රපටය ගැන රොෂාන්ගෙන් අහන්න අපි හිතුවා. චිත්‍රපටය ගැන වගේම ඔහුගේ පෞද්ගලික තොරතුරුත් අපිට කියන්න රොෂාන් හඬ අවදි කළේ මෙලෙසින්.


 

ඔබ රංගනයෙන් දායක වුණු නිමි චිත්‍රපටය තිරගත වෙනවා?


ඔව්. බොහොම සතුටුයි ඒ පිළිබඳව. මේ චිත්‍රපටය සමඟ මම රඟපෑ චිත්‍රපට හතක් තිරගතවීමට තිබෙනවා. ඇත්තටම සතුටුයි. කාලෙකට පසුවනේ මාව රිදි තිරයේ දකින්න ලැබෙන්නේ. බොහෝ දෙනෙක් ඇහුවා ඒ ගැන. රටේ පවතින වාතාවරණය හමුවේ චිත්‍රපට පෙන්වීම ප්‍රමාද වුණාට චිත්‍රපටවල වැඩ නොකර සිටියා නොවෙයි. මට ආදරේ කරන ප්‍රේක්ෂකයා බලාගෙන සිටියා මගේ චිත්‍රපටයක් එනකම්. ඒ අයට නිමි බලන්න පුළුවන් දැන්.



වෘත්තීය නළුවෙක් වුණාට රොෂාන් ඔබ තෝරාබේරාගත් නිර්මාණවල පමණයි දකින්න ලැබෙන්නේ?


මම හැම නිර්මාණයම භාරගන්නේ නෑ. චිත්‍රපට වුණත් භාර නොගත් ඒවා තිබෙනවා. වෘත්තීමය වශයෙන් නළුවෙක් නම් චිත්‍රපට පමණක්ම කරන්න අපහසුයි. වර්තමානයේ සිනමාව මුහුණ දී තිබෙන තත්ත්වය එක්ක කොහොමත් එහිම පමණක් නියැළෙන්න අපහසුයි. අනෙක් අතට ටෙලිනාට්‍යයක හෝ වේවා ඕනෑම නිර්මාණයක යමක් කරන්න පුළුවන් චරිතයක් අතහරින එක අපරාධයක්. ඒ නිසා මට ගැළපෙන චරිතයක් ටෙලිනාට්‍යයක හෝ වේවා චිත්‍රපටයක හෝ වේවා තිබුණොත් මම එය භාරගෙන කරනවා.


 

ඔබ සහ පූජා ( පූජා උමාශන්කර්) දෙදාහෙන් පසුව සිනමාවේ ජනපි‍්‍රය තරු යුවළ. මතක් කරමු ඒ අතීතය?


ඇත්තටම වාසනාවේ බලපෑමෙන් වුණු දෙයක් එය. සැබෑ ජීවිතයේදී සහකරු හෝ සහකාරිය ලැබෙනවා වගේ තමයි. අපි කොයිතරම් ගැළපෙනවා කියලා රඟපෑවත් වැඩක් නැහැ. එය ප්‍රේක්ෂකයා භාරගන්නත් ඕන. ඔවුන් තමයි පූජටයි මටයි ආදරේ කළේ. අපි දෙන්නගේ ගැළපීම ප්‍රේක්ෂකයා ආදරෙන් වැළදගත්තා. පූජාගේ පළමුවැනි චිත්‍රපට මම සමඟ නොවෙයි චන්න සමඟයි කරන්නේ. නමුත් චන්න- පූජා ගැන කතා කරන්නේ නැහැනේ. පූජා සමඟ මම චිත්‍රපට තුනකයි රඟපෑවේ. ඒත් ප්‍රෙක්ෂකයාට අපි යුගයක් නිර්මාණය කළා බදු හැඟීමක් තිබෙනවා.


 

රොෂාන් ඔබට ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණයින් එක්ක වගේම අද නවක නළු නිළියන් එක්කත් වැඩ කරන්න ලැබෙනවා. කොහොමද ඒ වෙනස දැනෙන්නේ?


ඉතාම ලොකු වෙනසක් තිබෙනවා පරම්පරා පරතරය තුළ. ප්‍රවීණයන්ගේ තිබෙන විනය අද නවකයන්ගේ හරිම අල්ප වශයෙන් දකින්න පුළුවන්. විශේෂයෙන්ම වෙලාවට වැඩකිරීම වගේ දේවල්. වෘත්තීයභාවය දකින්නම නැහැ නවපරපුරේ. විනය සහ වෘත්තීයභාවය ඇති අය නැතිව නොවෙයි. නමුත් බහුතරයක් එහෙමයි. ප්‍රවීණයින්ගේ සහ නවපරපුර ගත්තම තාක්ෂණික දැනුම අතින් නවපරපුර ඉදිරියෙන් ඉන්නවා. විශේෂයෙන්ම අධ්‍යක්ෂවරු. ඒ අය හිතන විදිහ. බලන විදිහ. නිර්මාණ කරම විදිහ වෙනස්. අපේ බහුතරයක් ප්‍රවීණයින්ගේ තිබෙන අඩුවක් තමයි ඔවුන් කවදාවත් අප්ඩේට් වෙන්න කැමැති නැහැ. ඉන්දියාව ගෙන බැලුවොත් 80 90 දශකවල චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂවරු අදකරන නිර්මාණයක් ගෙන බැලුවොත් ඒක වෙනමම තැනක තිබෙන්නේ. ඒ තරම් ඔවුන් අප්ඩේට්. ලංකාවේ එහෙම අය අඩුයි. අපේ අය ඒ රාමුවෙන් එළියට එන්න කැමැති නැහැ. ලෝකය වෙනස් වෙද්දි අපි එයට අනුගත විය යුතුයිනේ. තාක්ෂණය එක්ක යන්න පුළුවන් නම් අපේ ප්‍රවීණයින්ට ලෝකයක් කතා කරන නිර්මාණ කරන්න පුළුවන්.


 ඔබ රඟපෑ අනෙක් චිත්‍රපට අතරින් නිමි විශේෂවන්නේ ඇයි?


නිමි කියන්නේ කලින් රඟපෑ චරිතවලට වඩා වෙනස් චරිතයක්. රිචඩ් හාමුගේ චරිතය. චිත්‍රපටයේ සීමිත දර්ශන ප්‍රමාණයක සිටියට තවත් වෙනස් චරිතයක් කරන්න ලැබුණු අවස්ථාවක් මෙය. චිත්‍රපටය නැරඹු ප්‍රේක්ෂකයාත් එය කිව්වා. මම මෙතෙක් කළ චරිතවලට වඩා වෙනස් චරිතයක් නිරූපණය කර ඇතිබව. මේ චිත්‍රපටත් වෙනස්ම තේමාවක් සහිත වෙනමම තැනක තියන්න පුළුවන් චිත්‍රපටක්.


 

කොහොමද ඉසුරු එක්ක කළ ගනුදෙනුව? ඔහු නවක අධ්‍යක්ෂවරයෙක්?


ඔව්. ඇත්තටම මේ චිත්‍රපටය ඉසුරු කළේ එක්ස්පරිමන්ට් එකක් විදිහට. ඉසුරු එක්ක වැඩ කරන්න හරිම ලේසියි. අප්ඩේට් වුණු අධ්‍යක්ෂවරයෙක්. රැල්ලට යන්න හදන අධ්‍යක්ෂවරයෙක් නොවෙයි. ඒකනේ අපිටත් ඕන. මාව හොඳට හසුරවන්න පුළුවන් මගේ සැඟවුණු හැකියාවක් තිබෙනවා නම් එය මතු කර එළියට ගන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක් ඔහු. මේ චරිතය හරහා මගේ වෙනසක් දකිනවානම් එහි ක්‍රෙඩිට් එක ඔහුටත් අයිතියි.


 

අනෙක් අතට රෂිබපා සංදීපනිගේ ප්‍රථම චිත්‍රපටය මෙය. රොෂාන්, ඔබ වැනි අත්දැකීම් බහුල රංගන ශිල්පියෙක්ට ඇගේ රංගනය කොහොමද දැනුණේ?


ඇය ඉතාම දක්ෂ නිළියක්. ඇයගේ පළමු චිත්‍රපටය වුණත් ඉතාම සාර්ථකව ඒ චරිතය නිරූපණය කළා ඇය. මට වුණත් ලොකු සහයෝගයක් ලබා දුන්නා චරිත නිරූපණය කරද්දි. නව පරපුරේ මම දුටු ඉතාම හොඳ නිළියක් ඇය. ඇත්තටම මමත් සතුටු වුණා ඇය එක්ක රඟපාන්න. මේක ටීම්වර්ක් එකක්නේ. අනෙක් චරිතවලටත් සහයෝගය ලබාදෙන්න ඕන. එහෙම වුණොත් පමණයි අපිට නිර්මාණයක් වුණත් සාර්ථක කරගන්න පුළුවන්.


 

රොෂාන් අපි දකිනවා ක්ෂේත්‍රයට පැමිණ කාලයක් ගතවුණාම අධ්‍යක්ෂණයට හෝ නිෂ්පාදනයට යොමුවෙනවා. රොෂාන්ට හිතිලා නැද්ද එහෙම නිර්මාණ කරන්න?


තවම නැහැ( සිනාසෙමින්). රංගනය තුළ තවත් වෙනස් චරිත නිරූපණය කළ යුතුයි. මට ලොකු ආසවක් තිබෙනවා මීට වඩා අභියෝගාත්මක චරිත නිරූපණය කරන්න. තව හොඳ වැඩ ටිකක් කරන්න කැමැතියි. තවමත් මම එහෙම චරිත හොයමින් ඉන්නවා වගේම චරිත පිපාසය හොඳටම දැනිලා තියෙන්නේ.


 

බැඳලා දරුවෙක් ලැබුණම පෙම්වතාගේ චරිතයෙන් මිදිලා වැඩිහිටි චරිත නිරූපණය කරන්න ලැබෙනවානේ. හැබැයි රොෂාන් තවමත් පෙම්වතා?


ඔව් ඔව් තවමත් මාව එතැනින් ඉවත් කරලා නැහැ. එත් මේ ළඟදි ලොක්ඩවුන් කියලා චිත්‍රපටයක් කළා. එහිනම් තාත්තා. කෙනෙක්ගේ චරිතයක් කරන්න ලැබුණා ප්‍රථමවතාවට. චරිත නිරූපණය කරන්නේ මම සහ චුලක්ෂි. පොඩි දරුවෙක් වටා ගෙතුණු කතාවක් එය. ඒකත් වෙනස් චරිතයක්.


 සැබෑ ජීවිතයේදී තාත්තා කෙනෙක්නේ. කොහොමද ඒ භූමිකාව සැබෑවටම රඟපාන්නේ සහ දැනෙන්නේ?


පුතා එක්ක ගෙවන කාලය හරිම සුන්දරයි. දැන් එයා ඉස්කෝලේ යනවා. එයා ඉපදුණු දවසේ ඉදලම ගොඩක් එයා එක්ක කාලය ගත කරන්න ලැබුණා මට. දැන් පුතාට අවුරුදු තුනක්.


 ඔබ බිරිඳටත් හොඳ සහයෝගයක් ලබා දෙන සැමියෙක්.


ඇය මට ලබාදෙන සහයෝගය තරම් නම් මම ඇයට උදව් කරන්නේ නැහැ. මට හොඳ නිර්මාණයකට දායක වෙන්න පුළුවන් මම ගෙදර හොඳීන් හිටියොත්. මානසික නිදහස හොඳට තියෙන්න ඕන. නිර්මාණයක චරිතයක් වුණත් අපි දෙන්නම කතා කරලා ෂූටින් තියෙන දවස් මට මතක් කරලා දීලා හොඳ නරක එයත් බලලා අඩුවක් නැතිව මගේ හැමදේකටම උදව් කරනවා ඇය.


 

මේ දිනවල රංගන කටයුතුවල නියැළෙනවද?


ඔව් හිරු නාළිකාවේ දළඳාගමනය ටෙලිනාට්‍යයේ රඟපානවා. ඊට අමතරව ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයක් ස්වාධීන රූපවාහිනී නාළිකාවෙන් නුදුරේදීම බලන්න පුළුවන්. එහිත් වෙනස්ම චරිතයක් මා නිරූපණය කරන්නේ.


 

 තිළිණි රාජපතිරණ





Previous Post Next Post