සනත් ජයසුරිය එක්කත් අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා සමහරු මට කිව්වා - අමිලා නදිශානි

 


රියැලිටියෙන් ජීවීතයට පන්නරය ගත් ඈට තිබෙන්නේ රිදි තිරයට ඔබින හඬක්. අදටත් සංගීතය එක්කයි කාලය ගත කරන්නේ. කාලයක් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් බවට පත් වූ ඈ අමිලා නදිශානි. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන අමිලා එක්ක ඇගේ අලුත් තොරතුරු කතා කරන්න හිතුවා. ඇය විතරක් නෙමෙයි ඇගේ ගමනට ශක්තියක් වූ ඇයගේ සැමියාවත් මේ කතාබහ ට එකතු කර ගත්තා. මේ ඒ ගැනයි


කොහොමද අමිලා මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ..?


රටේ ප්‍රශ්න එක්ක ඉස්සර හිතුණු ගමන් කරපු දේවල් කරන්න බැහැ දැන් . ඒ නිසා තියෙන විදිහට හැම දෙයක්ම බැලන්ස් කරගෙන ජීවිතේ ගෙවනවා. නමුත් අපි අපේ ජීවිත සතුටින් ගෙවනවා කියන්න පුළුවන්


 ගායනය පැත්තකින් තියලා බිස්නස් කරනවා කියලා ආරංචියි ..?


ගායනය පැත්තකින් තිබ්බේ නැහැ. කලාකරුවන්ට ඒ ලැබෙන මුදල්වලින් විතරක් ජීවත් වෙන්න බැහැ. ඒකයි බිස්නස් කළේ. මුල ඉදලම බිස්නස් කළා. නමුත් අපේ රටේ තියෙන වාතාවරණය එක්ක බිස්නස් කරන්න බැහැ. ගායිකාවක් හැටියට වඩා ව්‍යාපාර නිසා මම වෙහෙසට පත් වුණා . ඒ නිසා ඒවා පැත්තකින් තියලා ඔන් ලයින් සාරි බිස්නස් එක විතරක් කරගෙන නිදහසේ ජීවත් වෙනවා සරල විදිහට.



සංගීත ප්‍රසංගවලට දැන් ඇරයුම් නැද්ද?


පසුගිය කාලේ නම් වැඩිය ප්‍රසංග තිබ්බේ නැහැ. නමුත් දැන් ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. රටේ කාලගුණය එක්ක තිබ්බ ෂෝ එකකුත් කැන්සල් වුණා. මට නම් හිතෙන්නේ නැහැ ප්‍රසංග වේදීකා සංවිධායකයන්ට මාව අමතක වෙලා කියලා. ලැබෙන ඇරයුම්වල අඩුවකුත් නැහැ


 

දරුවෝ දෙන්නත් දැන් ලොකුයි, අමිලා නදිශානි කියන්නේ ගොඩක් දුක් මහන්සි වෙලා මෙච්චර දුර ගමනක් ආ කෙනෙක් , ඒ වගේ කටු කන්න දරුවන්ට බැරිව ඇති ..?


පුතා වගේ ම දුවත් ලස්සනට සිංදු කියනවා. ගොඩක් අය අහනවා ඇයි රියැලිටි තරගයකටවත් යොමු කරන්නේ නැත්තේ කියලා, ඇත්තටම කිව්වොත් මමයි සමන්තයි කාපු කට්ට ඒ දෙන්නට කන්න බැහැ. ඒ වගේම තමයි මගේ තියෙන කාර්යබහුල කම එක්ක සමන්ත මට දුන්නු හයිය උදව් මට එයාලට දෙන්න බැහැ. අපි උදේ පාන්දර නැගිටලා බස්වල හිර වෙලා කොළඹ ඇවිත් තරගයට සහභාගි වුණේ. ඇඳුම් පැලඳුම් නැතුව ඉන්න තැන් නැතුව මමයි සමන්තයි ලොකු දුකක් විඳපු කාලයක් තියෙනවා. ඒ කට්ටෙන් දශමයක්වත් එයාලා විඳලා නැහැ.


 

ඔබේ ආර්ථික ප්‍රශ්න දරුවන්ට විඳින්න නොදුන් අම්මා කෙනෙක් ඔබ..?


මුල් කාලේ තිබ්බා ආර්ථික ප්‍රශ්න. නමුත් පුතාට ඒවා දැනෙන්න ඉඩ නොදි පුළුවන් විදිහට එයාව බලාගත්තා. ඒ නිසා පුතාට සමාජය එක්ක ඔට්ටු වෙන්න පුළුවන්. නමුත් දුවට නම් කිසිම ආර්ථික ප්‍රශ්නයක් දැනුණේ නැහැ. උපරිම සැප දුන්නා. උණුවතුරෙන් නාන්න, දාඩිය නොදා සැපට නිදාගන්න ගමන් බිමන් පහසුකම්, කෑම බීම හැමදේම එයාට ලැබුණා . නමුත් පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන අද තියෙන දේ හෙට නැති වෙන්න පුළුවන්. ඒ නිසා ගමනක් ගියත් පොඩි ටොයිලට් එකකට යන්න වුණොත් ඒකට යන්න ඉඩ දෙන්නේ. ගමේ ගෙදර ගියත් ඒ ජීවිතේ විදින්න ඉඩ හරිනවා. දුකක් නොදුන්නත් ඇතැම් අවස්ථාවල ජීවත් වෙන්න පුරුදු කරනවා.


 

එකම ඇඳුම දෙතුන් වතාවක් ඇන්ද කාලෙකුත් ඔබට තිබ්බා, ඒ නිසාද ඇඳුම් ව්‍යාපාරයක්ම කරන්නේ..?


එකම ඇඳුම දෙතුන් වතාවක් නෙමෙයි, එක දිගට දවස් ගණන් ඇදගෙන ඉදලා තියෙනවා. ඒ නිසා නෙමෙයි සාරි බිස්නස් එක පටන් ගත්තේ මම කැමතිම ඇඳුම සාරිය නිසා. ඒ වගේම සමන්තත් හරි ආසයි සාරියට ඒකයි. ඒ වගේම කියන්න ඕන දැන් නම් එච්චර විලාසිතා පස්සේ දුවන්නේ නැහැ කියන එක. අවශ්‍ය ම අවස්ථාවක් ඇරුණම ඇඳුම් මිලදී ගන්නත් මම නම් හිතන්නේ නැහැ. තියෙන ඇඳුම් හොඳටම ඇති.


 

සැමියා නොහිටියා නම් මෙච්චර දුර ගමනක් එයිද..?


කොහෙත්ම නැහැ. එයා නැත්තම් අද මම මේ විදිහට දකින්න නැහැ. මාව බිහි කරන්න ‍ෙහ්තුවක් වුණු ප්‍රධාන කෙනා සමන්ත. මට ලැබුණු ඒ හයිය මගේ පුතාට එයා කසාද බදින කෙනාගෙන්වත් ලැබෙයිද දන්නේ නැහැ. සමන්ත ළඟින් හිටපු එක මට ලොකු හයියක්.


 

අමිලාටත් කට කතා හැදිලා තියෙනවා. නමුත් ඔබේ සැමියා යන එන හැම ගමනකම ඔබ පිටුපසින් ඉන්නවා..?


මගේ තනියට එයා එන්නේ. එයා එන්නෙත් දැන් එයාට වැඩ අඩු නම් තමයි. ඕන තරම් කතා හැදිලා තියෙනවා. මාත් එක්ක සමන්ත ඉන්නකොට එයාට කෝල් ඇවිත් තියෙනවා ඔයාගේ වයිෆ් අහවල් තැන අහවලා එක්ක ඉන්නවා කියල. සමන්ත මම ගැන හොඳින් දන්න නිසා ඒ මොන කතාවත් අහලා අනිත් කනින් පිට කරලා නිහඬව ඉන්නවා.


 සැමියත් සංගීතයට දක්ෂයි, පවුලම එකතු වෙලා ගීතයක් කරන්න අදහසක් නැද්ද.?


අදහසක් තිබ්බා. සමන්තට සිංදු කියන්න පුළුවන් හොඳට ඒත් එයා ඒකට අදිමදි කරනවා.


ඇයගෙන් පසුව ආදරණීය සැමියා කතාබහ ට එකතු වුණා,



අමිලා ජනප්‍රිය වුණාට පස්සේ ඔබ ඇයි සංගීතය අත හැරියේ..?


එයාගේ කාර්යබහුලකම එක්ක එයාට උදව් කරපු නිසා කෙටි කාලයක් මම සංගීත වැඩ පැත්තකින් තිබ්බා. නමුත් දැන් ආයෙමත් සංගිත කණ්ඩායමේ වැඩ කරගෙන යනවා. මම බේස් ගිටාර් වාදකයෙක් එදා වගේම. සින්දු කියන්න පුළුවන්. ඒත් කියන්නේ නැහැ.


 

පස්සෙන්ම ඉන්නේ අමිලා වැරදි මඟ යයි කියලා බයටද ..?


අනේ නැහැ. සමහර අවස්ථා තියෙනවා එයා එක්ක යන්න සිදු වෙන. ඒ අවස්ථා මඟ හරින්න බැහැ. ඒකයි එතැනදි එයාට උදව්වක් වෙන්නේ. එහෙම නැතුව අමිලා නොමඟ යයි කියලා ආරක්ෂා කරන්න නෙමෙයි. නොමඟ යන කෙනා කොහොම හිටියත් නොමඟ යනවා. මම අමිලව හොඳින් දන්නවා. ඇය එහෙම නැහැ. අනිත් එක මට තනියම වැඩක් කරගන්න අපහසුතාවයක් තියෙනවා, අමිලා මෑතකදී ජොබ් එකකටත් ගියා. අන්තිමට මම නිසා නතර වුණා . කොහොමත් අපි දෙන්නා එකටම තමයි ඉන්නේ.


 

ජනප්‍රිය වුණට පස්සේ ඇය ඔබව අත හරියි කියලා හිතුණේ නැද්ද ඒ කාලේ..?


අනේ නැහැ. එකට කට්ට කන්න පුළුවන් නම් සැපත් එකට විඳින්න ඕන කියලයි අමිලා නිතරම කිව්වේ. කවදාවත් එයා මට වරදක් කරලා නැහැ, කරන්නෙත් නැහැ. ජනප්‍රිය වුණට පස්සේ මාව අත ඇරියා නම් එතැන බැඳීමක් තිබිලා නැහැ . අපි අතර තියෙන්නේ නොකැඩෙන බැඳිමක් කියලයි එදත් හිතුණෙ.


 

දෙන්නා මුණගැහෙන්නෙත් සංගීතය නිසා. ඒ සුන්දර අතීතය ගැනත් කියමු..?


ඔව්. සංගීතය තමයි අපිව මුණගස්සන්නේ. රත්නපුර තුරුණු ශක්ති දිස්ත්‍රික් සංචිතයේදි තාරුකා කියන සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා මම, එයා ගායිකාවක් විදිහට සම්බන්ධ වුණා. එතනදි තමයි අපේ හිත් නොදැනිම එකතු වෙන්නේ. ඒ කතාබහ දුර දිග ගිහිං විවාහ සහකාරිය විදිහට මම ඇයව තෝරා ගන්නවා. ඒ කාලේ හරිම කටුක කාලයක්. දැඩි ආර්ථික ප්‍රශ්න මැද්දේ ජීවිතේ ගැට ගහගත්ත කාලෙක තමයි අපි මුණගැහෙන්නේ. කොහොම හරි ජීවිතේ ජය ගත්තා. තවම ඒ බැදිම් එහෙමමයි. වෙනස් වෙලා නැහැ. පරිණත වෙලා විතරයි තියෙන්නේ


 

නදිශා ගැන දැන් මොකද හිතෙන්නේ..?


විශේෂ දෙයක් නැහැ. ආ මඟ ගැන සතුටුයි. මොකද මම හැමදාම හිතුවේ එයාගේ ගමන ගැන. මටයි ඕන වුණේ එයාගේ ගායන දක්ෂතා එළියට දාන්න. ඒ නිසා ඇගේ ගමන ගැනයි විවාහ ජීවිතේ ගැනයි මම සතුටු වෙනවා.


 

යුතුකම් ඈ ඉටු කරනවද..?


අම්මා කෙනෙක් බිරිඳයක් හැටියට ඇයට පුළුවන් උපරිම දේ පවුල රැක ගන්න, සතුටින් තියන්න ඈ කරනවා. ඇත්තටම යුතුකම් නොපිරිහෙලා ඉටු කරන භාර්යාවක් මට ඉන්නේ. ජනප්‍රියයි කියලා ඒ ජීවිතේ ලෝකෙට පේන්න මේන්ටේන් කරගෙන විතරක් ඉන්නෙ නැහැ ,


 

දුප්පත් වෙලා පොහොසත් වුණු නිසා පවුලට කුහකකම් කරන අයත් ඇති..?


ඕන තරම් අවස්ථා විදලා තියෙනවා. ඊර්ෂ්‍යාව, කුහකකම තියාගෙන කතාබහ කරන අයත් ඉන්නවා. නමුත් අපිට ඒවා වැඩක් නැහැ. අපේ ගමන අපි පාඩුවේ යනවා.


 

අමිලා නදිශානි තවමත් ඉස්සර වගේමද, ඈ වැඩිපුර උපයන නිසා ඔබට යටත් වෙලා ඉන්න සිදු වෙනවද..?


නැහැ. ඇය වගේම මමත් උපයනවා. සල්ලි හම්බ කළා කියලා උඹ මට ඕන විදිහට හිටපං කියලා ඉන්නේ නැහැ. අපි දෙන්නට අපි දෙන්නා නැතුව බැහැ. ඒක යටත් වීමක් නෙමෙයි


කතාව අපි අවසන් කරමු මේ ප්‍රශ්නයට උත්තර දීලා,


 

අමිලාට සනත් ජයසුරියගේ නම පට බැදිලත් කට කතා හැදුණා. ඒ වගේ අවස්ථාවල දුක දැනුණේ නැද්ද..?


සනත් ජයසුරිය එක්කත් අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා සමහරු කිව්වා. ඒ විතරක් නෙමෙයි තව කතා කියලා තියෙනවා. අහලා තියෙනවා. නමුත් මම ළඟ ඉන්න මගේ බිරිය වෙන අය ළඟ ඉන්නවා කියලා කියද්දි ඒක බොරුවක් කියලා හොඳින් දන්නවනේ. එයාගේ ජනප්‍රියත්වයට වඩා ආර්ථිකය ශක්තිමත් වුණු වේගය නිසයි එයාට කතා හැදුණේ කියලා මම දන්නවා. ඇත්ත දන්න නිසා කිසිම දුකක් නැහැ මට. අවිශ්වාසයකුත් නැහැ.


 





 




Previous Post Next Post