මට ජෝතිපාල කියන නම පටබැඳිලයි තිබුණෙ - සුගත් ජනක



පසුගිය දිනක සුගත්ට හදිසි අනතුරකට මුහුණ දෙන්න සිදු වුණා. ඇත්තටම මොකද වුණේ?


සැප්තැම්බර් මාසෙ තිස් වැනිදා උදේ මම ගාමිණී ෆොන්සේකා මහතාගේ අනුස්මරණය වෙනුවෙන් පැවැත්වුණු ලේ දන්දීමේ වැඩසටහනකට සහභාගි වුණා. නාරාහේන්පිට පැවති ඒ වැඩසටහනට සහභාගිවෙලා මම දහවල් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අම්මලා තාත්තලා වෙනුවෙන් පැවැත්වුණු වැඩසටහනකටත් සහභාගි වුණා. ඒ අම්මලාගේ තාත්තලාගේ මානසික තත්ත්වය සුවපත් කිරීමට හැකි අයුරින් දායක වෙමින් මමත් ඒ වැඩසටහනේදි ගීත හතරක් ගායනා කරලා ගෙදර එන්න පිටත් වුණා. ඒ එන අතරතුරේ මහබාගේ වැලිසර අතරෙදි ඉතා වේගයෙන් එකපාරටම පාර හරහා ගිය ත්‍රීවිල් රථයක් නිසා මම අනතුරකට ලක් වුණා.


ඒ වෙලාවේ ඔබ ගමන් කළේ මෝටර් බයිසිකලයෙන්?


ඔව්.. වැස්ස තිබුණු නිසා ඒ වෙලාවේ මම හයියෙන් ආවෙත් නැහැ. එකපාරටම මගේ බයිසිකලයේ වැදුණු ත්‍රීවිල් එක ඒ ආපු වේගයට මම වීසිවෙලා ගිහින් වැටුණා. ත්‍රීවිල් එක පැදගෙන ආපු මනුස්සයා ඒ වෙලාවේ බීමත්වයි හිටියේ. කෙළින් හිටගෙන ඉන්නවත් ඒ මනුස්සයට බැහැ. ඒ වගේම ඔහුට ආදායම් බලපත්‍ර තිබුණෙත් නැහැ. මම දවස් දෙකක් රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තා. මට කිසිම තුවාලයක් නොතිබුණාට වම් උරහිසේ අස්ථියක් බිඳීම හේතුවෙන් අදටත් මම ප්‍රතිකාර ගන්නවා.


 ඒ කියන්නෙ මේ වෙද්දි සුගත්ට සම්බන්ධ වෙමින් හිටපු නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න බැරිවෙලා තියෙනවා?


ඔව්.. මම ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම්වලට සහභාගි වෙමින් හිටියා. නමුත් අපරීක්ෂාකාරී රියදුරුගේ රිය පැදවීම නිසා අද ඒ සියලු වැඩ කටයුතුවලට සහභාගි වෙන්න මට බැරිවෙලා තියෙනවා. හර්ෂ උඩකන්දගේ 'ලොක්කි - 1' සහ සනත් අබේසේකරගේ 'දළදා ගමනය' ටෙලිනාට්‍යයටත් මම සම්බන්ධවෙලා ඉන්නවා. ඒ වගේම මගේ මෝටර් බයිසිකලයට ලොකු හානියක් වෙලා තියෙනවා. ඒ හැම දෙයක් නිසාම අද මට මේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න බැරිවෙලා තියෙනවා.



සුගත් නළුවෙක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද?


පාසල් අවධියෙ ඉඳන්ම මම රංගන ශිල්පියෙක් වෙන හීනය දැක්කා. පුංචි කාලේ ඉඳන් මම පුදුම විදිහට චිත්‍රපට බැලුවා. මගේ ගම රාගම. දවසක් ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පී විජය කුමාරණතුංග මහතා දායක වුණු රූගත කිරීමක් බලන්න මට අවස්ථාව ලැබුණා. විජය කුමාරණතුංග මහතා දිහා එදා මම ඈත ඉඳන් ඇහිපිල්ලම් ගහන්නෙ නැතිව බලාගෙන හිටියා. ඒ රංගනය හරි අපූරුයි. ඔහුගේ රංගනය දැකීමත් එක්ක මටත් රංගනයට එකතු වෙන්න ආසාවක් ඇතිවුණා.


පාසලේදී ඔබට ජෝතිපාල කිව්වෙ ඇයි?


පාසලේදි මට ජෝතිපාල කියන නම පටබැඳිලයි තිබුණෙ. පාසලේ මම ගායකයා. විවේක කාලෙදි මා ලවා සින්දුවක් කියවාගන්න ගුරුවරු පවා මාව ගෙන්වා ගත්තා. මම හපුගොඩ ශාන්ත මරියා විදුහලෙන් ඉගෙන ගත්තා. ඒ කාලේ මම හරි වසයි. මට වඩා වැඩිමහල් අයියලා එක්ක පවා පාසලේදි මම රණ්ඩු කළා. ඒ නිසාම අපේ අම්මට කිහිප වතාවක්ම පාසලට එන්නත් සිදු වුණා. සමහරු මට සමච්චලේට 'ඒයි.. ජෝති' කියා විහිළු කළා. ඒ නිසා මට කේන්ති ගිහින් ඒ කොල්ලන්ට ගැහුවා. සමහරු මාව කේන්ති ගස්සවන්න හැංගිලා ඉඳලා 'ජෝතිපාල' කියලා කෑගහලා දුවපු අවස්ථා අනන්තවත් තිබුණා. අදටත් ගමේ, පාසලේ යාළුවෝ මාව නම කියනවාට වැඩිය ජෝති කියනවා නම් තමයි වැඩිපුර දන්නෙ. ඒ තරම් ඒ නමින් බොහෝ දෙනා මාව හඳුනා ගත්තා.



සුගත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවාට දෙමව්පියන්ගෙන් ලැබුණු ආශිර්වාදය කොහොමද?


මගේ අම්මා කලාවට හරිම ආදරය කරන කෙනෙක්. මගේ පවුලේ මට අක්කලා හතරදෙනයි. මම එකම පිරිමි දරුවා. ඒ නිසාම එකා යකා වුණා. හැමෝගෙම ආදරයත් එක්ක ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා. ඒ ආපු ගමන් මඟ ගැන අද මට ගොඩක් සතුටුයි. පුංචි කාලෙ මගේ එක හීනයක් තිබුණ. ඒ "කවදා හරි මම රංගන ශිල්පියෙක් වෙනවාමයි* කියලා. ඒ හීනය තමයි මාව අද මෙතනට අරගෙන ආවේ.


ඒ හීනය හැබෑ වුණේ කොහොමද?


ඒ හීනයට යන්න ගොඩක් කැපවීම් කළා. මහන්සි වුණා. ඒකට හිතේ ආසාව වගේම කලාවේ වටිනාකමත් දැනගන්න ඕනෙ. ඒ වෙනුවෙන් යම් වාසනාවකුත් තියෙන්න ඕනෙ කියලා මම විශ්වාස කරනවා. පසුගිය කාලෙදි මම රඟපෑ ටෙලිනාට්‍ය හතරක් විකාශය වුණා. 'දියණි', 'මහ විරු පණ්ඩු', වෙස් ගත්තෝ' සහ 'හිතුවක්කාරි' ඒ ටෙලිනාට්‍ය හතරයි. මම එහි රඟපෑ චරිත එකිනෙකට වෙනස්. එකම රාමුවකට කොටු නොවී චරිත හතරකම රඟපාන්න ලැබීමත් වාසනාවක් කියලා මම විශ්වාස කරනවා.


සුගත් වෘත්තියෙන් කලාකරුවෙක්ද?


ඔව්.. මම වෘත්තියෙන් කලාකරුවෙක්. අද වෙද්දි මම රංගන ශිල්පියෙක්. ගායන ශිල්පියෙක්. ඒ වගේම නර්තන ශිල්පියෙක්. නන්ද කුමාර් මාස්ටර් සහ ෂෙල්වින් මාස්ටර් යටතේ මම බැලේ, හිපොප් නර්තන හැදෑරුවා.


ඔබගේ ගීත නිර්මාණ සම්බන්ධව කතා කළොත්?


මගේ මුල්ම ගීතය 'ඔබ මගේ වෙලා' ගීතයයි. ළඟදි මගේ දෙවැනි ගීතය වන 'ආදරය මතකයන්' ගීතය සහ වීඩියෝව එළිදැක්වුවා. ආදරය කියන්නෙ සල්ලි නෙවෙයි. සල්ලි කියන්නෙ ආදරය නෙවෙයි. අපිට බලාගෙන ඉන්න දෙයක් තියෙනවා. ඒ විශ්වය සහ තමන් අදහස ආගමයි. ඒ නිසා කලාකරුවෙක් වීම ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්..


දිශානි ජයමාලි 





Previous Post Next Post