පවුල් ප්‍රශ්න එන්නේ පෙර වැරදි තිබ්බම තමයි - කැලුම් ශ්‍රි




මේ දවස්වල පුංචි තිරයේ ඉන්න ජනප්‍රිය අහිංසක පෙම්වතෙක් ඔහු. වැඩි චරිත සංඛ්‍යාවකට පෙම්වතෙක් වුණාට ඔහු විවාහකයෙක්. ඔහුගේ ආදරණීය බිරිය තමයි දුලී ප්‍රනාන්දු , ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්, ඔහුත් ඇයට නොදෙවෙනි වෙන්න නැටුවට ජනප්‍රිය නම් නළුවෙක් විදිහටයි. ඔහු කැලුම් ශ්‍රී, ඒ නමට වඩා මේ දවස්වල ජනප්‍රිය නම් විශාල් කියලයි. දිවිතුරා නාට්‍යට විශාල් වූ ඔහුගේ පවුලේ තොරතුරු ගැනයි මේ. කතාබහට මුලාරම්භය ගත්තේ ඔහු පිටුපස ඉන්න දුලී එක්කයි.



දුලී නටන්න දක්ෂයිනේ ඒ නිසා ඔබ ගැන මුලින් කතා කරමු..?


බබා ලැබෙන්න කලින් නම් නැටුවා. එතකොට බර 53යි , දැන් 67ක් වෙලා. තවම ඇඟ ටිකක් නටන මට්ටමට ගේන්න බැරි වුණා. කොච්චර ඩයට් කරත් තවම බරින් වැඩියි. ඒ නිසා නටන එක ඇග හදාගන්නකල් නතර කරලා. මම ගැන කිව්වොත් මට ඉන්නේ අම්මයි තාත්තයි අයියයි, නංගියි.


නැටුම නිසාම නේද ඔබට කැලුම්ව මුණගැහෙන්නේත්..?


ඔව්. මම එක්තරා රියැලිටි වැඩසටහනක නටන්න ගියා. ඒකේ මගේ මූණ පෙනුණේ නැහැ. වෙස් අරගෙන හිටපු නිසා. නමුත් එදා තමයි මුණ නොදැක්ක මට කැලුම්ට හිත ගිහිං තියෙන්නේ


ඊට පස්සේ ..?


ඊට පස්සේ අපි දෙන්නගෙම යාළුවෝ දෙන්නෙක්ගේ උපන් දින පාටියට එයා ආවා. එදා මට තේරුණා එයා විශේෂයෙන් මගේ දිහා බලනවා කියලා. ඒ වුණාට මම ගණන් ගත්තේ නැහැ .


ඒ ඇයි..?


එතකොටත් එයා ගොඩක් ලස්සනයි, හැම කෙල්ලෙක් දිහාම ඔය විදිහට බලනවා ඇති කියලා මම හිතුවා.


එදා මාව ගන්න මගේ අයියා ආවා. අපේ වාහනේම තව මගේ යාළුවෙක් ආවා. කැලුම් එයා එක්ක ආවා මාත් එක්ක කතා කරන්න ඕන නිසා. කැලුම්ගේ ගෙවල් නුවර. එයා නුවර යන්න මඟින් බහින්න අපිත් එක්ක ආවේ. එදා මඟදි වාහනේ පොලිසියෙන් ඇල්ලුවා. අයියයි යාළුවයි වාහනෙන් බැස්සා වාහනේ හිටියේ මායි කැලුම් විතරයි, එයා කතාවට ආවත් මම කතා කළේ නැහැ හ්ම් කිව්ව හැමදේකටම .


ඔහු ජංගම දුරකතන අංකය ඉල්ලද්දී ඔබ නොදුන්නේ..?


බොරු කාරයන්ට රැවටෙන්නේ ඇයි කියලා හිතුණා. මගේ නම්බර් එක දුන්නේ නැහැ, ඊට පස්සේ එයා ෆේස් බුක් එකෙන් මැසෙජ් කරන්න පටන් ගත්තා.


ආදරේ හිතුණේ ඊට පස්සෙද..?


නැහැ. මාස තුනක් විතර ගියාට පස්සෙ එයා මට කිව්වා මට කැමතියි කියලා, මමත් ඒ වෙද්දී කැමැත්තෙන් හිටියේ, ඒ නිසා මම කිව්වා මම කැමති වෙන්නේ ගෙදර කැමැත්ත එක්ක මමත් කැමතියි කියලා. ඊට පස්සේ දෙන්නා හැමෝටම හොරෙන් ආදරේ කළා. සමහර ගැහැනු ළමයි මම ඉස්සරහා කෑම කවනවා එයාට. මාව රිද්දන්න. එයාට කැමැත්තෙන් හිටපු කෙල්ලො ගොඩක් මාත් එක්ක තරහයි. සමහරු මාව රිද්දුවා, ඒ වගේ දේවල් ඉවසන්නත් වුණා


අන්තිමට 2019 අවුරුද්දේ ජුලී 11 විවාහ වුණා . ආදරේ ප්‍රකාශ කළේ 2014 අවුරුද්දේ නොවැම්බර් 14


තවමත් ඔහු අවිවාහකයි කියලා හිතලා ගැහැනු ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා ඇති..?


බැදලා කියලා සමහර අය දන්නේ නැහැ . ගැහැනු ළමයි වගේම පිරිමි ළමයිනුත් එයාට ආදරේ යි.


මුල් කාලේ පුංචි තිරයෙන් කැලුම් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා ..?


ඔව්. නාට්‍ය වල ප්‍රධාන චරිත වලට කියලා ස්ක්‍රීන් ටෙස්ට් වලට කතා කරලා ගිහිං, ඒවට වෙන අය අරන් තියෙනවා ඕන තරම් . නාට්‍ය 50 ක් වගේ එහෙම වෙලා තියෙනවා.


ඔහු රඟපාන නාට්‍ය ඔබ නරඹනවද .?


දිවිතුරා නාට්‍ය නම් මම ආසාවෙන් බලනවා.


විශාල් ඊෂාට ගොඩක් ළං වෙද්දී ඔබට දුකක් හිතන්නේ නැද්ද ..?


මමත් ගැහැනියක්නේ. දුකක් ඊර්ෂ්‍යාවක් දැනෙන්නේ නැහැ . නමුත් හිත හරි වෙනස් රොමෑන්ටික් දර්ශන බලද්දී


ඒවා බලලා රණ්ඩු කරන්නේ නැද්ද ..?


මම රණ්ඩු කරන්නේ නැහැ. මගේ යාළුවොත් අහනවා කොහොමද ඔහොම බලාගෙන ඉන්නේ කියලා. මගේ මිනිහා ඔහොම හිටියා නම් මම මොනා කරයිද දන්නේ නැහැ කියලා, ගොඩක් අය කියනවා. නමුත් මම එහෙම නැහැ. ඒකට හේතුව එයා ඔය තත්ත්වය ට එන්න කාපු කට්ට දන්නේ අපි දෙන්නා විතරක් නිසා. ජීවිතේ තේරුම් අරන් ඉන්නේ. අනිත් එක එයා කවදාවත් මාව රවට්ටන්නේ නැහැ


ඔබට ඔහු හමු වූ පසුව ඔහු වෙන ප්‍රේම සම්බන්ධතා පවත්වලා නැහැ කියලා ද කියන්නේ..?


ඔව්. එයාට එහෙම කරන්න බැහැ. නිතරම එයා කියන්නේ එයාගේ ලෝකේ මම කියලා. ඒක බොළඳ කතාවක් වුණත් ඒක තමයි ඇත්ත.


නාට්‍ය වල තරම්ම ඔහු සෑබෑ ජීවිතේදීත් අහිංසක ද..?


අනේ ඔව්. ඕනවටත් වඩා පවුලට කිට්ටු කෙනෙක්. ගැහැනු බලාපොරොත්තු වෙන පවුලක තියෙන ගති පැවතුම් එයාට තියෙනවා. මම බැන්නත් කට වහගෙන ඉන්නවා


ඔබ ආඩම්බර චරිතයක් කියන්නේ අැත්තද..?


මගේ පෙනුම නිසා එහෙම හිතනවා හැමෝම. ඒත් මම එහෙම කෙනෙක් නෙමෙයි. ළඟින් ආශ්‍රය කරන අය ඒක දන්නවා


කැලුම් , ඒ කාලේ නාට්‍ය වලින් ප්‍රතික්ෂේප වුණාට දැන් ඉල්ලුම වැඩියි නේද ..?


වයිෆ් කිව්වා වගේ මේ ගමන මම ආවේ ලොකු කට්ටක් කාලා, හරියට මාව ප්‍රතික්ෂේප වුණා. මුල් කාලේ ලැබෙන හැම වැඩක්ම භාර ගත්තා තැනක් හදා ගන්න . දැන් නම් එහෙම නැහැ, තෝරා ගෙන සම්බන්ධ වෙන්නේ. මේ දවස්වල දිවිතුරා නාට්‍යයේ ඉන්නවා, ඊට අමතරව ඇස් නාට්‍යයේ වගේම ආර්‍යවංශ නාට්‍යයේ ඉන්නවා. ආරාධනා ගොඩක් ලැබෙනවා


දිවිතුරා විශාල් ඔබව වෙනස් කරාද ..?


දිවිතුරා නාට්‍යයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ නාට්‍ය හා හිරු මෙගාස්ටාර් තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. මාව ජනතාව අතරට ගියේ. මට දිවිතුරා නාට්‍යට කතා කරන්නේ විරාජ් වැලිවත්ත. ඒ වගේම හිරු නාලිකාවේ ප්‍රධානි රෙනෝ මහත්තයා වගේම විධායක නිලධාරි විල්සන් සිල්වාව මතක් කරන්න ඕන .


ගැහැනු ළමයින්ගෙන් එන එස්. එම්. එස් කියවන්නත් බැරි තරම් වැඩියි කියන්නේ..?


ඉස්සර නම් කියවලා ප්‍රතිඋත්තර යවනවා. දැන් සීන් කරන්නෙත් නැහැ. මොකද උත්තර නොදි සීන් කරලා හිත් කඩන්න බැරි නිසා . සමහර අය බැණලා කමෙන්ට් කරනවා. අචිනිට බණින්නේ නැහැ කියලා


ඇත්තටම අචිනි කියන චරිතෙ එක්ක වැඩ කරද්දී තරහා යන්නේ නැද්ද ..?


සමහර වෙලාවට මට ඒ ගර්ල් එක්ක තරහා යනවා. ඒ වෙලාවට කැමරාව ඉස්සරහ ඇරියස් එක අල්ලනවා. තරහටත් එක්ක බණින අවස්ථා තියෙනවා


ශනුද්‍ර එක්ක වැඩ කරන්න ලේසියිද..?


හරිම ලේසියි . ඒකේ රොමෑන්ටික් දර්ශන වලට ගොඩක් අය ආදරෙයි. ඒ නිසා අපි දෙන්නා කතා බහ කරලා රියසල් දෙක තුනක් කරලා තමයි කැමරාව ඉස්සරහට එන්නේ.


ඔබට ගී ගයන්න පුළුවන් ද..?


නාට්‍යයේ මගේ හඬට ගී ගයන්නේ අමිල කාවින්ද. හිරු ස්ටාර් ආපු ගායකයෙක්. ශනුද්‍ර නෙමෙයි සිංදු කියන්නේ එයාගේ හඬට සමාන කෙනෙක්. බොහෝ අය හිතන්නේ ඒ අපි දෙන්නා කියලා. මම සිංදු කියන්න දක්ෂ නැහැ


දැන් නර්තනය අත හැරිලද..?


ඔව්. රංගන වැඩ එක්ක ඒක මඟ හැරිලා ගොඩක් දෙනෙක් මගෙන් නර්තන අංග කරන්න කියලා ඉල්ලනවා. ඉදිරියේ දි පොඩි කවර් කරලා මගේ යූටියුබ් නාලිකාවට දාන්න හිතාගෙන ඉන්නවා. මගේ වයිෆ් වත් හවුල් කරගෙන


ඔබ කොයිම වෙලාවකවත් විවාහ ජීවිතේ හංගන්නේ නැද්ද ..?


නැහැ. මම විවාහකයි කියලා ගොඩක් අය දන්නේ නැහැ. මම ශෝෂල් මිඩියා ෆොටෝස් දානවා. මගේ තනි ෆොටෝස් වලට වඩා ෆැමිලි ෆොටෝස් වලට ප්‍රතිචාර වැඩියි. ඇතැම් අය පුදුම වෙනවා මට පුතෙක් ඉන්නවා කියලත්. මම අවිවාහක කෙනෙක් කියලා හිතන්නේ


දැන් වැඩිපුර කාර්යබහුල නිසා පවුල මග හැරෙනවා ඇති ..?


දවස් හතම වැඩ කරන දවස් තියෙනවා . සතියට දවස් දෙක තුන එක දිගට ගෙදර ඉන්න දවස් තියෙනවා. ඒ දවස්වලට බිරිය හා පුතා එක්ක එළියට යනවා. පුතා බීච්, පාර්ක් එහෙම යන්න ආසයි. සමහර දවස් තියෙනවා ගෙදර ඇවිත් පැයක් දෙකක් ඉදලා යන . ඒ වගේ දවස්වලට නිදා ගන්න වෙලාවක් නැති නිසා මමයි බිරියයි ෆිල්ම් එකක් බලලා කාලය ගත කරනවා.


ඇත්තටම ඔබේ ජනප්‍රියත්වය එක්ක බිරිය ඔබව සැක කරන්නේ නැද්ද ..?


පවුල් ප්‍රශ්න එන්නේ පෙර වැරදි තිබ්බම තමයි. ඒකට බිරිය ට බැණලා දොස් කියලා වැඩක් නැහැ. අපි වැරදි හදා ගන්න ඕන. මගේ පෙර වැරදි නැති නිසා තවම නම් එහෙම ප්‍රශ්න ඇවිත් නැහැ. හැබැයි කොහේ ගියත් යන්න අවසර ගන්න ඕන


අවසර දෙනවද ..?


සමහර දවස්වලට අමාරුවෙන් අවසර දෙනවා.


වැඩිපුර බැණුම් අහන්නේ..?


එයාගෙන්ම තමයි. මට කැත පුරුද්දක් තියෙනවා . ගත්ත දේ ගත්ත තැනින් තියන්න බැරි ඔක්කොම ඇදලා දාන ඒවට තමයි බණින්නේ


හර්ෂණී වීරරත්න





Previous Post Next Post